2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

අවුරුදුදාම පැමිණි මහ සිකුරාදා

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 202

ධීවර සහ කෘෂි කර්මාන්තයෙන් තම දිවි පෙවත රැකගන්නා බහුතරයක් වෙසෙන වයඹ පළාතේ ජනතාව සෑම වසරකම සිංහල හින්දු අලුත් අවුරුද්ද මහත් උත්සවශ්‍රීයෙන් සැමරීමට පුරුදු වී සිටිති. කෘෂි කර්මාන්තය ගොඩ, මඩ ලෙස දෙවර්ගයකට බෙදී ඇති සේම ධීවර කර්මාන්තයද කරදිය, මිරිදිය ලෙස වෙන්කර ඇත. වෙරළාසන්න ජනතාව කරදිය මත්ස්‍ය කර්මාන්තයේ නිරතවනවා සේම ග්‍රාමීය ජනතාව මිරිදිය මත්ස්‍ය කර්මාන්තය වැව් ආශ්‍රිතව සිදුකරයි. 

ධීවර කර්මාන්තයේ නිරතවන පිරිස බහුතරයක් කතෝලික භක්තිකයන් වන අතර ජාතියක් ලෙස විශාල පිරිසක් සිංහල දෙමළ අවුරුදු සමරති. මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු එළඹෙන අප්‍රේල් (14) වැනි දිනම මහා සිකුරාදා දිනය යෙදී තිබීම නිසා කතෝලික භක්තිකයින්ට අවුරුදු සැමරීමට නොහැකි වී ඇත. බෞද්ධ භක්තිකයින්ට මෙන්ම හින්දු භක්තිකයින්ට අප්‍රේල් (14) සතුටුදායක දිනයක් වුවත් කතෝලික දහම අනුව එදින ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගසා මරා දැමීම සිහිපත් කිරීමේ දිනය යෙදී තිබීම කතෝලික භක්තිකයින්ට දුක් සහිත දිනයකි.

සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරීම සඳහා රස කැවිලි සකස් කිරීමට අමතරව ආහාර පිළියෙළ කර ගැනීමේදී මස් මාංශ එකතු කර ගැනීම නැදෑ හිතමිතුරන් එකතුවී මත්පැන් පානය කරමින් සතුටුවීම අවුරුදු සැමරිමේ එක් පැත්තක් ලෙස නම් කළ හැකිය. සිංහල හින්දු අවුරුදු ඒ ආකාරයෙන් සැමරුවත් පාස්කු දිනය එලෙස සැමරීම කතෝලික දහම අනුව පාපයක් ලෙස පෙන්වාදී ඇත. පාස්කු දිනයේදී මස් මාංශ අනුභවය විනෝද වීම කතෝලික දහම අනුව පාපයකි.
අප්‍රේල් හෙවත් බක් මාසයේ සමරනු ලබන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අතීතයේ සිට ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන සංස්කෘතික මංගල්‍යයකි. විවිධ විශ්වාසයන් මෙන්ම කෘෂිකාර්මික කටයුතු හා බැඳුණු විශ්වාස චාරිත්‍ර වාරිත්‍ර ආගමික විශ්වාස සිංහල අවුරුද්ද හා බැඳී පවතී. බෞද්ධ පරිසරයක් තුළ අලුත් අවුරුදු චාරිත්‍ර කිරීමට පටන් ගෙන ඇත්තේ බුදු දහම ශ්‍රී ලංකාවට හඳුන්වාදී වර්ෂ තුන්සියයක් පමණ ගතවූ පසුවයි.මෙරට බහුතර ජනතාවක් බෞද්ධයන් වීම හේතුවෙන් බෞද්ධ දර්ශනයට ප්‍රමුඛත්වය ලබාදෙමින් සිංහල අවුුරුදු චාරිත්‍ර ඉටු කිරීමට ලාංකික ජනයා පුරුදුව සිටී. පුරාතනයේ සිට හින්දු ආගමද බෞද්ධාගම හා බැඳී පැවතීම නිසා අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමේදී සිංහල හින්දු භක්තිකයන් අතර සිදු කරන අවුරුදු චාරිත්‍රවල විශාල පරස්පරතා හඳුනාගත නොහැක.

සිංහල හින්දු අලුත් අවුරුදු ළඟ ළඟම එන බව අපට කියන්නේ කොවුලාය. මෙය පරම්පරා ගණනාවක සිට ශ්‍රී ලාංකික සමාජයේ මුල් බැසගෙන ඇති මතයකි. කොවුලාගේ ප්‍රජනන සමය මාර්තු අප්‍රේල් මාසද ඇතුළත්වන ලෙස අගෝස්තු මාසය දක්වා යෙදීම නිසා මේ කාලය තුළ කොවුලන් අවට පරිසරයේ දැක ගත හැකිය. මේ කාලය තුළ මෙම පක්ෂියා ඉතා ඉතා මියුරැ හඬින් නාද කිරීම විශේෂ ලක්ෂණයක් වේ.
එරබදු ශාකයේ මල් පිපීම අවුරුදු සමයේ පමණක් සිදුවීම හා මල ඉතා අලංකාරවත් මලක් ලෙස පරිසරය තුළ පිපී නිසා එරබුදු මල අවුරුදු සමය සංකේතවත් කරමින් පිපෙන මල ලෙස සැලකේ. සතුට සාමය එකමුතුකම බැඳීම් අලුත් කර ගැනීම අහල පහල ගෙවල්වලට කැවුම් කොකිස් අතිරස වැනි කැවිලි භාජනවලින් සංග්‍රහ කිරීම තුළ සාමකාමී සාධාරණ සමාජයක් බිහිවීමට ශක්තිමත් පදනමක් ඇතිවේ.

පැණිවළලු, ආස්මි, කැවුම්, කොකිස්, අලුවා, මුංකැවුම්, කජු අලුවා, අග්ගලා, පැණිතලප, කළු දොදොල් වැනි රසවත් කැවිලි අසල්වැසියන් සමඟ බෙදාගෙන ආහාරයට ගැනීම සිංහල අවුරුද්දේ චාරිත්‍රයකි. මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්නට ඇතමෙකු සූදානමින් සිටී. තවත් කෙනෙකු බලාපොරොත්තුවෙන් සිටී. තවත් කෙනෙකුගේ බලාපොරොත්තු බිඳ වැටී තිබේ.

අවුරුදු සැමරීම සදහා රාජ්‍ය නිලධාරින් තම වැටුප මෙන්ම දීමනා ලැබෙන තෙක් බලා සිටින අතර රාජ්‍ය සේවයේ නොමැති වෙනත් කෙනෙකු යටතේ යැපෙන කම්කරුවා තම හාම්පුතාගෙන් ලැබෙන වැටුප බලාගෙන සිටී. දෛනිකව උපයා ගන්නා මුදලින් ජීවත්වන අය අවුරුදු සැමරීම සඳහා කීයක් හෝ ඉතිරි කරගෙන අවුරුදු සැමරීමට බලාගෙන සිටීම අතීතයේ සිට පැවත එන්නකි. එහෙත් ගොවියා එසේ නොව තමන් වගාකළ කෘෂි බෝග හෝ කුඹුරුවල අස්වනු නෙලා අෙලවිකර මුදල් උපයාගෙන අවුරුදු සැමරීමට බලා සිටී. පැවති (පවතින) අධික නියඟය හේතුවෙන් ඒ බලාපොරොත්තු හීනයක් බවට පත්වී ඇත.
නියඟයේ බලපෑම කෙසේද යන්න ඩබ්ලිව්.ඒ. චන්ද්‍රපාල මහතා මෙලෙස පැවසීය.

මේ කන්නයේ අපට වගා කර ගන්නත් බැරුව ගියා. ධීවර රැකියාව කළා. තබ්බෝව වැව හිඳිලා මාළුත් නැතුව ගියා. ගොම ටිකක් එකතු කරලා පොහොර වලට විකුණුවා. දැන් ගොමත් නැහැ. ජීවත් වෙන්නවත් විදිහක් නැතුව ඉන්නෙ. වෙන අවුරුදුවල අපි ගෙවල් දොරවල් සුද්ධ කරලා තීන්ත ගාලා වත්ත එළිපෙහෙළි කරලා අවුරුද්දට සූදානම් වෙනවා. මෙදා අවුරුදු තියෙනවද කියලවත් නැහැ. අවුරුදු සමරන්න නම් සල්ලි තියෙන්න ඕනා. නෑයෙක් ආවහම කන්න රසකැවිලි ටිකක් දෙන්න අවුරුදු කතා කරන්න යනකොට රසකැවිලි ටිකක් අරගෙන යන්න විදිහක් නැහැ. සල්ලි නැතුව කොහොමද ඒවා කරන්නේ අපිට නම් මෙදා අවුරුදු සරුවක් නැහැ.
රුපියල් ලක්ෂයක් විතර වියදම් කරලා ගොවිතැන් කළා රුපියල් පන්සියයක මුං ඇට තමයි ගත්ත අස්වැන්න. ඒ වෙච්ච ණය බේරන්න තවත් ණයට ගත්තා. උදේට නැගිටිනවා මොනවා හරි කරලා කීයක් හරි හොයා ගන්නවා. රෑට නිදා ගන්නවා උදේට නැගිටිනවා. ඔය විදිහට ජීවිත කාලය ගෙවිලා යනවා.

සුසන්ති පෙරේරා බෞද්ධ භක්තික කාන්තාවකි ඇයගේ අදහසයි මේ.
මම බෞද්ධ කාන්තාවක්. මගේ මහත්තයා කතෝලික භක්තිකයෙක්. මේ වසරේ සිංහල දෙමළ අවුරුදුයි පාස්කුයි එකම දවසෙ යෙදිලා තියෙනවා. එක පැත්තකින් සතුටු දවසක්. තවත් පැත්තකින් දුක්බර දවසක්. මේ දෙකම එක දවසක යෙදී තිබීම රටටත් අපටත් අයහපතක් වෙලා තිබෙනවා. රටක් විදිහට ගත්තහම ජාති ආගම් කුලමල කුමක් වුණත් එකම මවකගේ ශ්‍රී ලාංකික දරුවන් කියලා තමයි හඳුන්වන්නේ. ජාතීන් දෙකක ආගම් දෙකක සාමාජිකයින් එකට ජීවත්වන පවුල් ඕනා තරම් අපේ රටේ ඉන්නවා.

බොහෝ වෙලාවට දුක සතුට එක ලෙස බෙදා ගත්තත් මේ ආකාරයට දුක සතුට එකම දිනක යෙදී තිබීම තුළ එක්කෙනෙකුට දුකක්ද අනිත් කෙනාට සතුටක්ද සැමරීමට සිදුවීම තුළ පවුල්වල ඇති බැඳීම් පවා බිඳ වැටෙන්නට ඉඩ තිබෙනවා. මේ විදිහට දෙයාකාරයෙන් ක්‍රියාත්මක වන උත්සව එකම දිනයක නොයෙදෙනවා නම් රටට හොඳයි. 

අවුරුදු දවසේම පාස්කු දුක්ප්‍රාත්තිය සිහිකිරීමේ දවස යෙදිලා තිබෙනවා. ඒ පිළිබඳ කතෝලික බැතිමතුක වූ රෝෂාන් සිල්වා පැවසුවේ මෙවන් කතාවකි.
මේ රටේ ඉන්නෙ බහුතරයක් ඉන්නෙ සිංහල බෞද්ධ ජනතාව කියලා පිළිගන්නවා. සිංහල අවුරුදුවලට කතෝලික අපට ආරාධනා විශාල ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. මොකද අපි සමාජයේ ජනතාවත් එක්ක ගැවසෙන අය නිසා. ආරාධනා ලැබුණට කතෝලිකයින් විදිහට අපිට ගිහින් ඒ අයත් එක්ක අවුරුදු සමරන්න සතුටු වෙන්න බැහැ. එදාම තමයි අපිට පාස්කුවට පල්ලි යන්න තියෙන්නෙ. 
හැබැයි මේ අවුරුදුයි පාස්කුයි එකම දිනයේ යෙදෙන කොට එකක් වෙනත් දිනයකට වෙනස් කරන්න පුළුවන් නම් හොඳයි. ප්‍රයෝගිකව එහෙම කරන එක ගැටලුවක් නමුත් කරන්න පුළුවන් නම් ඊටත් වඩා යහපතක් වෙනවා. නැතිනම් එක පැත්තකින් පිරිසක් සතුටු වෙනවා පිරිසක් දුක් වෙනවා. අවුරුදු ගණනාවක ඉඳලා සිංහල අවුරුදු තියෙන්නෙ අප්‍රේල් 13,14. ඒක සම්මත පැවතෙන එකක් නමුත් පාස්කු දිනය යෙදෙන්නේ සිකුරාද දිනයක් වුණාට තීරණය කරන්නේ ශුද්ධ වූ සභාවෙන්. මේ වගේ වුණාම පාස්කු දවස වෙනස් කරන්න තිබුණා.

බෞද්ධයින් ඒ වගේම දෙමළ අය මේ අවුරුදු සමරනවා බහුතරයක් එහෙම ඉන්න කොට අවුරුදු වෙනස් කරන්න බැහැ. කරන්න හැකි නම් කළ යුත්තේ මහා සිකුරාදා දිනය වෙනස් කරන එකයි. මගේ විශ්වාසය අනුව මේ සැරේ අවුරුදු සමරන පිරිස අඩුයි මොකද නියඟය ඇවිත් ගොවිතැන් පාලුවෙලා මිනිසුන්ට සල්ලි නැහැ. මගේ විශ්වාසය අනුව අවුරැදුයි මහ සිකුරාදා පාස්කු දිනයයි එකට වැටුණ නිසා යම් විපිරියාසයක් වෙන්න ඇති කියලා හිතෙනවා.

 රෝවන් පෙරේරා පුත්තලම