වීරවිල වැවත් සමඟ මැවිලා තියෙන සුන්දර පරිසරය නිසා වීරවිල මේ වෙද්දී ක්‍රමයෙන් සංචාරක ආකර්ෂණය ලැබෙමින් පවතින ප්‍රදේශයක්. හම්බන්තොටට අයත් වීරවිල වැව සහ ප්‍රදේශය දෙබරවැවත් තිස්සමහාරාමයත් අතර පිහිටා තිබෙනවා. වීරවිල වැවට අමතරව ලුණුගම්වෙහෙර සහ බූන්දල වනෝද්‍යාන පිහිටා ඇත්තේත් මේ සමීපයේමයි.
Lavish Eco Jungle කියන්නේ වීරවිල වැව් තාවුල්ලේ ඉදිවෙලා තියෙන මේ සුන්දර පරිසරයට අනුගත වුණු අපූරු නිවාඩු නිකේතනයක්. අක්කර හතරහමාරක භූමි භාගයක් පුරා වවන ලද කැලයකින් යුතු මේ නවාතැන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වනාන්තර ස්වභාවය මුසුවුණු නිවාඩු නිකේතනයක්.
ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී ආරම්භ වුණු මේ නිවාඩු නිකේතනයේ හිමිකරු වන්නේ කාලයක් වැවිලිකරැවෙකු ලෙස කටයුතු කළ නන්දන ජයවර්ධන මහතායි. වැවිලි කර්මාන්තයට තමන් සතු ඇල්ම හා දක්ෂතාව කදිමට යොදාගනිමින් ඔහු විසින් නිර්මාණය කරන ලද කැලෑවක මෙම නිවාඩු නිකේතනය පිහිටා තිබීමත් විශේෂත්වයක්.
මෙය සතුව එක් බංගලාවක් හා එක් කබානා මාදිලියේ නවාතැනක් තිබෙනවා. බංගලාවේ අටදෙනෙකුට නවාතැන් ගන්න පුළුවන්. ඒ වගේම විසිත්ත කාමරයක්, කෑම කාමරයක් හා විවෘත ආලින්දයකුත් ඊට ඇතුළත්.
සොබාදහමට ආසන්න වන පරිදි නිර්මාණය කර තිබුණත් වායු සමීකරණ පහසුකම්, රූපවාහිනී පහසුකම් ආදියත් යාබද නාන කාමර ආදියත් සංචාරකයන්ගේ පහසුව තකා ලබාදී තිබෙනවා.
අවට ගහකොළ බහුල වීම නිසාම හම්බන්තොට වීරවිල උෂ්ණත්වය අධික කලාපයක් වුණත් ඒ බව නොදැනෙන තරම් සිහිලසක් නිකේතනය අවට පවතිනවා.
මේ නිවාඩු නිකේතනයේ බොහෝවිට පිළියෙල කෙරෙන්නේ දේශීය ආරේ කෑම බීමයි. ඒ ද ගෙවත්තෙන් නෙලා ගත් වස විස නැති කාබනික එළවළු හා පළතුරු යොදාගනිමිනුයි. අවට වෙසෙන ගොවි මහතුන්ට පවා කාබනික පොහොර යොදා හදපු එලවළු පලතුරු නිවාඩු නිකේතනයට අලෙවි කර අතමිට සරු කරගැනීමේ අවස්ථාවකුත් හිමිකර දී තියෙනවා.
දකුණු ලකේ සවාරියක් යන විශේෂයෙන්ම යාල, බූන්දල, සිතුල්පව්ව සහ කතරගම බලා යන සංචාරක ඔබට ගිමන් නිවන්නත් අලුත් වෙනසක් අත්විඳින්නත් මේ නවාතැන හොඳ තේරීමක් වේවි.
සනත් වීරසූරිය
සේයාරූ - රංජිත් පෙරේරා