වෛද්‍යවරයකු හමුවීමට පැමිණි, කනස්සලු මුහුණින් යුත් මැදිවියේ පුද්ගලයෙක්, මෙසේ කීවේය.
ඩොක්ටර්.. මගේ හිතේ කිසිම සතුටක් නෑ. මම හැමතිස්සෙම ඉන්නෙ කලකිරීමෙන්. මට මොනව හරි ප්‍රතිකාරයක් කරනවද?
රෝගියා පරීක්ෂාවට ලක් කළ, වෛද්‍යවරයාට කිසිදු රෝග ලක්ෂණයක් දැකගත නොහැකි විය.
මිස්ටර්ට කිසිම ලෙඩක් නෑ.. මේ දවස්වල නගරෙට ඇවිත් තියෙන සර්කස් එක බලන්න යන්න. ඒකේ ඉන්න ජෝකර්, නියම විහිළු කතා කියනවා. මිනිස්සු උඩ පැන පැන හිනා වෙනවා. ඒක බැලුවම, ඔයාගෙ හිතේ තියෙන කනස්සලු ගතිය ඉබේටම නැතිවෙයි.
ඒ අසා සිටි, රෝගියා මෙසේ කීවේය.
ඩොක්ටර්, මම තමයි ඒ සර්කස් එකේ ඉන්න ජෝකර්.
මෙය විහිළු කතාවක් වුණත්, එහි ඇතුළෙහි ඇත්තේ නම්, විහිළුවක් නොවේ.
මේ කතාව අසන්නකුට, අමෙරිකානු රංගන ශිල්පියකු මෙන්ම, සුප්‍රකට කවටයකු වූ රොබින් විලියම්ස් මතකයට නැංවෙනු ඇත. සිය ජීවිත කාලය පුරාම, මිනිසුන් සිනාගැන්වූ විලියම්ස්, 2014 දී, සියදිවි නසා ගත්තේය. රෝගී තත්ත්වයන් මෙන්ම, විවිධ මානසික පීඩාවන්ද ඊට හේතු විය.
1970 දී, රාජ් කපූර් නිපදවූ මේරා නාම් ජෝකර් චිත්‍රපටයේ සිටින කවටයාද, සැබෑ ජීවිතයේදී දිළිඳුකමින් පීඩා විඳින්නෙකි. චාලි චැප්ලින්ගේ චිත්‍රපට තුළින් ද දැක්වෙන්නේ, කඳුළ වසං කරගත් කවටයෙකි.
ටොඩ් පිලිප්ස් අධ්‍යක්ෂණය කළ ජෝකර් (2019) චිත්‍රපටයේ, විකට චරිතය රඟපෑ ජෝකින් ෆීනික්ස්ට, හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ද හිමි විය. චිත්‍රපටයේ දැක්වෙන, ජෝකර්ගේ භූමිකාව, නිමා වන්නේ, ඔහු සමාජ විරෝධී මිනීමරැවකු බවට පත් කරවමිනි.
මේ සියලු නිර්මාණ තුළින්, මතුකෙරැණේ, ජෝකර් නොහොත් කවටයා තුළ, කවටයකු නොවන, වෙනස් මිනිසකු ද ජීවත් වන බවය.
සිනාසීම වෘත්තියක් නොවුණත්, සිනා ගැන්වීම වෘත්තියක් වශයෙන් කළ හැකිය. මිනිස්සු සිනාසීමට බොහෝ ප්‍රිය කරති. එහෙත් එය ලෙහෙසි පහසු කටයුත්තක් නම් නොවේ.
කවටකම, උගැන්විය හැකි දෙයක් නොවේ. එය සහජ හැකියාවකි. එහෙත්, කවටයන් නොවන පුද්ගලයන්ද සමාජය සිනාගන්වන අවස්ථා ඉතිහාසය පුරාම දැකිය හැක.
ඇතැම්විට, රටක ප්‍රධාන පුරවැසියාම, දැනුවත්ව හෝ නොදැනුවත්ව කවටයකු බවට පත්වෙයි. ඊට හොඳම නිදසුන පසුගිය දිනවල අමෙරිකානු දේශපාලන කරළියෙහි, ඩොනල්ඩ් ට්‍රම්ප් රඟදැක්වූ &නාඩගම*ය.
තමන්ම කවටයකු වීමෙන් නොසෑහී, නම් දැරෑ කවටයන් ඇසුරට යාමද, රජ කාලයේ සිටම දැකිය හැකි, රජ සිරිතකි.
කාගේදෝ ලණුවක් කෑ, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති (උතුමාණන් වහන්සේ), නිහාල් සිල්වා ප්‍රමුඛ සාජන්ට් නල්ලතම්බි* නාට්‍ය කණ්ඩායම, රජ වාසලටම ගෙන්වා, නාට්‍ය ද නරඹා ඔවුනට සංග්‍රහ සත්කාර කළේය. ඉන්පසු, ප්‍රේමදාස ජනාධිපතිතුමාද, නල්ලතම්බිව ළඟට ගත්තේය. නිහාල් සිල්වා, දේශපාලන වේදිකාවේ සිට, රටේ ජනාධිපතිට කුක්කු පැටියා* යැයි ආමන්ත්‍රණය කරන විට, ජනතාව සිනාසුණේ, අත්පොළසන් දෙමිනි. ජනපති ද සිනාසුණේ, තමා ඇන්දෙන බව නොදැනය. කවට අන්දරේද රජතුමාට, &ඉබ්බෙකැ*යි කියමින් සරදම් කළ සැටිද මෙහිදී මතකයට නැගේ.
මේ කවුරු කවුරුත් විකට ජවනිකා නරඹන්නේත්, රඟදක්වන්නේත්, මහජනයාගේ උරහිස මත ඉදිවූ වේදිකාවක බව අමතක නොකළ යුතුය. ජනතාව සිනාසෙන විට උරහිස් ගැස්සෙයි. ඔවුන් ඕනෑවටත් වඩා සිනාසෙන්නට ගත් කල, වේදිකාව ඇලවී, ඒ මත සිටින්නෝ බිම ඇද වැටෙති. ඒ නිසා, ජනතාව හිනැස්සීමේද සීමාවක් තිබිය යුතුය.
දේශපාලනඥයන් අපට විහිළු කළද, අප ඔවුනට විහිළු නොකළ යුතුය. එසේ කළහොත්, ඇස් රතුවීමද බලාපොරොත්තු විය යුතුමය.
ඇතැම් විහිළුවකින්, සිනාවට වැඩි දෙයක්ද ලැබෙයි. හිස් සිනාවට වඩා වටින්නේ, එබඳු අර්ථවත් සිනා නගන කතාය.
වියපත් පුද්ගලයෙක්, බාබර් සැලුනයකට ගොස්, අසුන් ගත්තේය. ඔහුගේ හිසේ තිබුණේ, හිසකෙස් හත අටකි. එ දුටු, බාබර් උපහාසාත්මක සිනාවකින් යුතුව මෙසේ ඇසීය.
සර්, මම මේ කොණ්ඩෙ ගණන් කරන්ඩද, කපන්ඩද?
දෙකම එපා. මං ආවෙ කොණ්ඩෙ ඩයි කරගන්ඩ.
මෙහි යටි අරැත වන්නේ, එම වියපත් පුද්ගලයාගේ ආකල්පයයි. හිසේ තිබෙන කෙස් ගණනින් ඔහුට වැඩක් නැත. ඔහුට අවශ්‍ය වන්නේ, ඒ කෙස් ටික හෝ ලස්සන කර ගැනීමය. ශුභවාදී වීම මෙන්ම, ධනාත්මක චින්තනය ද මේ කතා සිඟිත්ත තුළ, මුතු ඇටයක් සේ සැඟව පවතී.
මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය දෙයක් වන සිනාව, කොරෝනාව නිසා වසං වී ඇත. මුව වැස්මට වැසී ගිය සිනාව, දැන් දැකගත හැක්කේ දෑස් තුළය. සිනාවෙන් හෝ කතාවෙන් මනින්නට බැරි යැයි කියූ මිනිසා, දැන් මැනිය යුත්තේ දෑසෙනි.
සිනා කතා අතරට, කොරෝනා ජෝක්ස් යනුවෙන්. අලුත්ම වර්ගයක්ද එක් වී ඇති අන්දම අන්තර්ජාලය තුළින් දැකගත හැකිය. අවිනිශ්චිත අනාගතයක් හමුවේ භීතියෙන් හා ආතතියෙන් පසුවන මිනිසාට, හාස්‍යය තුළින්, යම් තරමක හෝ මානසික සුවයක් අත්පත් වෙයි. එමගින් මිනිසාගේ ප්‍රතිශක්තිය පවා වැඩෙන බව,
පර් යේෂණ මගින් සොයාගෙන ඇත. සිනා සී තරවෙනු කීවේ කට කහනවාට නොවේ. දැන් එය, සිනා සී ජීවත්වෙනු යනුවෙන් වෙනස් කළ හැකිය.
කොරෝනාවෙන් අනාථ වි සිටි, අමෙරිකානු පවුලක සැමියා, ලෝක සිතියමක් බිත්තියේ එල්ලා, තම බිරිඳ අතට ඩාර්ට් ක්‍රීඩාවේදී යොදාගන්නා, කුඩා ඊතල කිහිපයක් දුන්නේය.
ඔබ කැමති තැනකට විදින්න.. ඊතලය වදින තැන මොකක් වුණත්, කොරෝනා ලොක්ඩවුන් එක ඉවර වුණාම මම ඔයාව, නිවාඩුවක් ගත කරන්න ගෙනියනවා.
බිරිඳ ද ඒ අනුව ඊය දමා ගැසුවාය. ඉන්පසු ඔවුහු, සති දෙකක් ශීතකරණය පසුපසට වී නිවාඩුවක් ගත කළහ! (කොරෝනාව පැතිර යාමත් සමඟම, තම අසල්වැසියා ගැන විමසිල්ලෙන් පසුවන්නැයි, එංගලන්ත පුරවැසියනට, රජයෙන් දන්වනු ලැබීය. බොහෝ දෙනා මුලින්ම කළේ, තමාට අසල්වැසියකු සිටීදැයි සොයා බැලීමය!
කපිල කුමාර කාලිංග