2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

පාසල් දරුවන්ට සහ කතුන්ට අයහපත්

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 212

ග්‍රහ මණ්ඩලයේ මනාලිය වූ සිකුරු මෙම මාසය තුළදී පිට පිට තුන්වරක් යුද්ධ සංග්‍රාමයන්හි නිරත වීමක් සිදුවේ. 2021 පෙරබරවාරි මස 6 වැනි ශනි දින දහවල් 12 පසුවී විනාඩි 38ට මකර රාශියෙහි සඳුට අයත් සුවන නැකතේ ප්‍රථම පාදයෙහි සිකුරු ග්‍රහයාද සෙනසුරු ග්‍රහයන්ද යුද සංග්‍රාමයක පැටලෙන අතර ග්‍රහයින් දෙදෙනා එකම අංශකයක ගමන් කිරීම නිසා දෙදෙනා ඔවුනොවුන් අභිබවා ගමන් කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් සිකුරු හා සෙනසුරුත් පීඩාවට පත් වී අයහපත් ග්‍රහ කිරණ පෘථිවියට එල්ල වෙයි. එම ග්‍රහ යුද සංග්‍රාමයෙන් දින 5කට පසු 2021 පෙබරවාරි 11 වන ගුරුදින මකර රාශියේදීම සිකුරු සමග බ්‍රහස්පතිද යුද සංග්‍රාමයක නිරත වෙනු ඇත. රාත්‍රී 8 පසුවී විනාඩි 31ට සඳුට අයත් සුවන නැකතේ තුන්වන පාදයේදී සිකුරු ග්‍රහයාත් බ්‍රහස්පති ග්‍රහයාත් එකිනෙකා අභිබවා යාමට උත්සාහ දැරීම නිසා යුද සංග්‍රාමයක් ඇතිවන අතර සිකුරුගෙත් බ්‍රහස්පතිගෙත් අයහපත් වූ ග්‍රහ කිරණ පෘථිවිය වෙත එල්ලවෙනු ඇත.

එම ග්‍රහ යුද්ධයෙන් දින 2කට පසු මකර රාශියෙහිදී සිකුරු ග්‍රහයාත් බුධ ග්‍රහයාත් මෙම මස 13 වැනි ශනි දින දවල් 1 පසුවී විනාඩි 14ට සඳුට අයත් සුවන නැකතට 4 වන පාදයේදී යුධ සංග්‍රාමයක් ඇතිවේ. මේ නිසා සිකුරුගේත් බුදගේ අයහපත් වූ ග්‍රහ කිරණ පෘථිවිය වෙත එල්ල වේ. මෙහි බලපෑම ඉදිරි දින 90ක් යනතුරු පවතී. සිකුරු සෙනසුරු ගුරු බුද පීඩාවෙන් ඇතිවන මෙම යුද සංග්‍රාමය තුළින් අප රටට සිදුවන බලපෑම පිළිබඳ විමසා බලමු.

අප රටට ඉතා අයහපත් වන කාලයක් බවට පත්වනවා ඇත. රට තුළ අවාසනාවන්ත සිදුවීම් රුසක් වාර්තා වනු ඇත. විශේෂයෙන් කුඩා දරුවන්ට පාසල් දරුවන්ට මෙන්ම කාන්තාවන්ටද ඉතා අයහපත් වන අතර විවිධ හේතු මත සිදුවන සිදුවීම් නිසා ඔවුන්ගේ ජීවිත හානි වැඩිවන කාලයක් වේ. රටේ ආර්ථිකයද නැවත වරක් පසුබෑමකට ලක්වන අතර කෘෂිබෝග හා දේපලවලට හානි ගෙන දෙමින් කාලගුණික විපර්යාස සිදුවෙමින් හදිසි ජල ගැලීම්, නායයාම් භූමිය ගිලා බැසීමද සෙලවීම්ද වන කාලයකි. ජනප්‍රිය ප්‍රභූ කතකට රංගන හා ගායන ක්ෂේත්‍රවල ශිල්ප ශිල්පිනියන්ටද ඉතා අයහපත් මාරක යෙදෙන කාලයකි. මහජන නියෝජිතයකුගේ අභාවයද සිදුවන අතර දැනට ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස තත්ත්වය ඉතා දරුණු ලෙස ව්‍යාප්ත වේ. රෝහල් කාර්ය මණ්ඩලවලටද රෝගය වැළඳීම සිදුවීමෙන් වැඩි වශයෙන් කාන්තා හා ළමුන් අතරද සිදුවන මරණ වැඩිවීමක්ද, විවිධ අපරාධ හේතුවෙන් නීතියේ රුහැනට හසුවන පුද්ගලයන් ප්‍රමාණය වැඩිවීමක් බන්ධනාගාර රුඳවියන්ගේ අයහපත් වූ ක්‍රියාද වාර්තා වන්නාවූ කාලයක්ද වේ.

• මේෂ - හදිසි ලැබීම්

සේවා ස්ථානය ආශ්‍රිතව අශුභ සිදුවීම් ඇතිවන අතර ස්වාමීන් අතර හොඳ හිත පලුදුවීම්ද ඇතිවේ. හිත් රිදවීම්ද ඇතිවන අතර නොසිතූ ආකාරයක හදිසි ලැබීමක්ද ඇතිවන කාලයකි.

• වෘෂභ - බෝවන රෝග

උසස් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින අයට අයහපත් වන අතර කෙටිගමන් බිමන් වලින්ද ඵල නොලැබෙන කාලයක් වේ. මෙම වකවානුව තුළදී බෝවන රෝග අවදානම්වලින් ප්‍රවේශම්ද විය යුතුය.

• මිථුන - බාධා වැඩියි

ඔබට ඉතා අයහපත් ඵල අත්වන කාලයක් වන අතර ඔබ කරන කටයුතුවලට බාධාවන්ද ඇතිවන අතර ඔබට එරෙහිව විවිධ විරුද්ධවාදීන් ඇතිවනු ඇත. මෙම වකවානුව තුළ බෝවන රෝගවලින් පරිස්සම්ද විය යුතුවේ.

• කටක - ප්‍රවේශම හොඳයි

ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට බාධක ඇතිවන අතර පවුල් දිවියේ සමගිය පළුදු වන ආකාරයේ ගැටලු මතුවේ. මෙම කෙටි කාලය තුළදී ඔබේ කටයුතුවල නිරත වන විට ප්‍රවේශම් විය යුතුය.

• සිංහ - සතුරු බලවේග

මේ කාලය තුළ ඔබ කරගෙන යන වැඩවලට විවිධ පුද්ගලයන්ගෙන් බාධා ඇතිවේ. ඔබට යම් සතුරු බලවේගද ඇතිවනවා ඇත. රෝග පීඩාවලින් පරිස්සම් වන්න.

• කන්‍යා - සිත් අමනාපවීම්

අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින අයට බාධා ඇතිවන අතර දේශපාලන ක්ෂේත්‍රයේ යෙදී සිටින අයටද ඉතා අයහපත් වන කාලයක් වේ. තමා සමග ළඟින් සිටි අයකු ප්‍රේමවන්තව සිටි අයකු හෝ සමග සිත් අමනාපකම් ඇති කරගන්නාවූත් කාලයක් වේ.

• තුලා - ගැටලු වැඩියි

භූමිය ආශ්‍රිතව ප්‍රශ්න ඇතිවන අතර අලුතින් ඉඩකඩම් වාහන මිලදී ගැනීම් කිරීමට යාමේදී පරිස්සම් විය යුතු කාලයකි. පවුලේ ප්‍රශ්න ඇතිවන අතර විශ්වාසවන්තයකුගෙන් ගැටලු ඇතිවිය හැකි වකවානුවකි.

• වෘශ්චික - පරිස්සම හොඳයි

සහෝදර සහෝදරියන් සමග ප්‍රශ්න ඇති විය හැකි කාලයක් වන අතර එදිනෙදා කටයුතුවලට යම් යම් බාධා පැනනැගිය හැකි සමයකි. පවුලේ අය සමඟ ප්‍රශ්න ඇතිවිය හැකි බැවින් හැකිතාක් පරිස්සම් වන්න.

• ධනු - ආර්ථික අපහසුතා

ආර්ථික අපහසුතා ඇතිවන කාලයක් වන අතර අනවශ්‍ය වියදම් පාලනය කර ගත යුතුවේ. තමන් කිරීමට යන කටයුතු සඳහා බාධාවල් ඇතිවේ. බෝවන රෝගවලින්ද ආරක්ෂා විය යුතු කාලයකි.

• මකර - සෙම් ගතිය වැඩිවේ

ඔබට අයහපත් බලපෑමක්ඇති නොවූවද පවුල් දිවියේ සමගියට බාධාවල් ඇතිවනු ඇත. මෙම කාලය තුළ හවුල් කටයුතු කිරීමේදී පරිස්සම් විය යුතුය. ශරීරයේ සෙම් ගතිය වැඩිවනු ඇත.

• කුම්භ - මූල්‍ය පාඩු

ඔබගේ විවිධ කටයුතුවලට බාධා ඇතිවන අතර ඔබට එරෙහිව විරුද්ධවාදීන් ඇතිවන කාලයක්ද වේ. විශාල මූල්‍යමය පාඩු ඇතිවන බැවින් කල්පනාකාරීව මුදල් වියදම් කිරීමේදී කටයුතු කරන්න. සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.

මීන - සහෝදරයන් නිසා ප්‍රශ්න

දේශපාලනයේ නිරතව සිටිනවා නම් ඒ අයට අයහපත් වේ. හවුල් ව්‍යාපාර කටයුතුවල යෙදී සිටිනවා නම් පරිස්සමෙන් වැඩ කරන්න. තම පවුලේ සහෝදරයන් නිසා ප්‍රශ්න ඇතිවෙනවා ඇත.

 

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්ෙය්ෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00