2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා

දික්කසාද මංගලම්!

 2021 පෙබරවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 147

හරිම භයානක තත්ත්වයක් උදාවෙන්නයි යන්නේ... මට නං බයේ බෑ..

රොබින් කාර්යාලයට පිවිසුණේ ඇස් දෙක ලොකු කරගෙනය. බ්‍රේකින් නිව්ස් ගෙන ඒම ඔහුගේ සාමාන්‍ය සිරිතක් බව අප කාර්යාලයේ උදවිය පමණක් නොව හී සරය පාඨකයෝද දැන් දනිති.

රොබින්ගේ බ්‍රේකින් නිව්ස් ටික වෙලාවක් යනවිට ෆේක් නිව්ස් බවට පත්වන අවස්ථාද බොහෝය. එහෙත් අප කා තුළත් පවතින පුවත් කුතුහලය නිසා රොබින් ගෙනෙන උණුසුම්, අවිශ්වාසදායක ආරංචිවලටද සවන් දෙන්නේ උනන්දුවෙනි. එහෙයින්, රොබින් කියූ අලුත්ම භයානක තත්ත්වය ගැනද කාගේත් අවධානය යොමුවුණි.

රොබින් දැන් බයවෙන්ඩ දෙයක් නෑ. කොරෝනා එන්නත ලක්ෂ ගණන් ගෙන්නන්නයි යන්නේ. තමුසෙටත් ළඟදිම ගහ ගත්තැකි. සෝමපාල කීවේ උපහාස සිනාවක්ද පාමිනි.

එහෙම දෙයක් නෙවෙයි බොස් මං කිව්වෙ. මේක කොරෝනාවලටත් වඩා ඉක්මණට පැතිරෙනවලු. රොබින් යළිත් ඇස් ලොකු කර වටපිට බැලුවේය.

අලුත් වසංගතයක්ද? සෝමපාල ඇස් කුඩා කරමින් ඇසුවේය.

නෑ බොස්! වසංගතේකටත් එහා වැඩක්. එන්නත් ගහල හරියන්නෙ නෑ...

කියන දෙයක් පැහැදිලිව කියනවා රොබින්. අපේ වැඩ පාළු කරන්නෙ නැතුව? පසෙකින් බලා සිටි ගෝමස් උස් හඬින් කීවේය.

මේකයි සිද්ධිය බොස්... රොබින් වටපිට බැලුවේ කාගේත් අවධානය දිනාගනු පිණිසය.

අපේ රටේ දවසකට දික්කසාද හාරසීයක් වෙනවලු.

අම්මෝ... රොබින් කියන බොර්..ර්...රෑ....

කොම්පියුටරය අසලින් ආපසු හැරුණු මොනිකා ලිප්ස්ටික්වලටත් වඩා රතු දෙතොල් උල් කරමින් විමතිය පළ කළාය.

බොරු නෙවෙයි මිස්, ආණ්ඩුවේ ලොක්කෙක් කියල තිබුණෙ. මාත් දැක්කෙ පත්තරේක. වැඩි දෙනෙක්, කසාද බැඳල අවුරුදු තුනෙන් ඩිවෝස් වෙනවලු.

රොබින්ගෙ කතාවෙ ඇත්තක් තියෙන්ඩ පුළුවන් මොනිකා. මගෙ යාළු ෆොටෝග්‍රුෆර් කෙනෙක් කිව්වා වෙඩින් ඇල්බම් එක හදල සල්ලි ගන්න යනකොටත්, සමහරු ඩිවෝස් වෙලාලු. කීප දෙනෙක් සිනාසුණ නමුදු, රොබින්ගේ මුහුණේ බැරූරුම් බව තවමත් එසේමය.

දැන් සමීක්ෂණයක් කරන්න යනවලු මොකක්ද මේකට හේතුව හොයන්න. රොබින් තම බ්‍රේකින් නිවුසය නිමා කළේය. ඉන්පසු ඇරුඹුණේ අපගේ විද්වත් මණ්ඩලයේ සාකච්ඡා වාරයයි.

පුදන කොටම කාපි යකා කියන්නා වාගේ, හනිමූන් එක ඉවර වෙනකොටම දෙන්න දෙපැත්තට වෙනව නම් ඒක ලොකු සමාජ ප්‍රශ්නයක් තමයි. ජයසේකර හිස සළමින් කීවේය.

කලබලේට ප්‍රී ෂූට් කරල කසාද බඳිනව වගේ නෙවෙයි. ඊට පස්සෙ ජීවිතේ ඇත්ත ෂූට් එකට මූණදෙන්න ගියාම හැමදේටම ආර්ථිකය බලපානවා. රතු විමලේද තම අදහස සභාගත කළේය.

අවංක ආදරයක් තියෙනවනං සම්බෝලයි බතුයි කාල හරි සතුටින් ජීවත් වෙන්න පුළුවන්... මේ අපි ඉන්නෙ, අපිට ආර්ථික ප්‍රශ්න නැතුවයැ...

මොරීන් එසේ කී විට කීප දෙනෙක් බිම බලාගෙන සිනාව වසං කරගත්තේ ඇයට කාර්යාලය තුළම අවංක ප්‍රේම සම්බන්ධතා දහයකටත් වඩා තිබූ බව දන්නා හෙයිනි. එහෙත් මොරීන් විවාහ ජීවිතයද සමබරව පවත්වාගෙන යන ආදර්ශමත් බිරිඳක් බැවින් ඇගේ කතාවේ ලොකු වරදක්ද නැත.

මම නං හිතන්නෙ ඕක සාමාන්‍ය තත්ත්වයක්. කසාද බැඳපු හැම කෙනෙක්ටම දික්කසාද වෙන්න හිතෙන වෙලාවලුත් තියෙනවා. සමහරු ඒක ක්‍රියාත්මක කරනවා අනිත් අය කට්ට කාගෙන ඉතිරි ටිකක් ඉන්නවා. අමරබන්දුද සභාව කුල්මත් කළේය.
දික්කසාදය අමිහිරි දෙයක් වුවද ඒ පිළිබඳ රස කතාද බොහෝය.

අලුත දික්කසාද වූ කාන්තාවෝ දෙදෙනෙක්, කෝපි හලකට වී කතාවේ යෙදී සිටියහ.

මගේ කේස් එක කතා කරපු ලෝයර්, ළඟදී අලුත් ෆ්ලැට් එකකුයි, කාර් එකකුයි අරගත්තා. එක් කතක් කීවේය.

මගේ ලෝයර් පොල් වත්තක් අරගෙන... එයා මගෙනුත් ඇහුවා වත්ත මනින්න යමුද කියලා. අනිත් කතද කීවාය. මේ කතා අසා සිටි අසල මේසයක සිටි කාන්තාවක්ද නැගිට අවුත් කතාවට හවුල් වූවාය.

මගේ කේස් එක කතාකරපු ලෝයර් ඒකෙන් පස්සෙ එයාගෙ ඩිවෝස් එකත් දැම්මා. දැන් එයා මගේ හස්බන්ඩ්.

මේ කතාවලින් පෙනී යන්නේ දික්කසාද නඩුවලින් කවුරු දිනුවත් පැරදුණත්, නීතිඥවරු නම් ගොඩ බවය.

බටහිර රටවල මෙන්, සිරි ලංකාවටද ළඟදීම Happy Divorce සුබ පැතුම් කාඩ්පත් අවශ්‍ය වනු ඇත. දික්කසාද වූ දිනය, සමරන වාර්ෂික උත්සව, ප්‍රිය සම්භාෂණද ඇරුඹෙනු ඇත. කසාදයට ඇති වැදගත්කම, දික්කසාදයටද ලබාදෙමින්, නව උප සංස්කෘතියක් සෞභාග්‍යමත් සිරි ලංකාව තුළ ස්ථාපිත වනු ඇත.

සිය සැමියාගෙන් වෙන්වූ කාන්තාවක් සිය මිතුරියකට ඒ බව දන්වා යැවූයේ මෙසේය.

අප දික්කසාද වූයේ, ආගමික හේතුවක් මතය. ඔහු සැමියා බිරිඳගේ දෙවියා යැයි සිතුවේය. මා සිතුවේ එහි අනික් පැත්තය.

කපිල කුමාර කාලිංග