2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

පසුගිය වර්ෂයේ මාර්තු මාසයේ පටන්ගත් කොරෝනා වසංගත

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 148

පසුගිය වර්ෂයේ මාර්තු මාසයේ පටන්ගත් කොරෝනා වසංගත නිවාඩුව රටම අවදානම් සහගත අන්තයකට ඇද දැම්මේය. අසල්වැසියන් දෙස පවා නොබලමින් මීටරයේ පරතරයෙන් ඇඳිරිනීතිය යටතේ ජීවත්වීමට රටේ සියලු දෙනාට සිදුවිය. පොත්හල් වැසී ගියේය. රංග ශාලා, සිනමා ශාලා වැසුණි. තවමත් යථා තත්ත්වයට පත්වීමට අසීරු බවක් මතුව ඇත. කම්හල් විවෘත වුවද මුද්‍රණාල විවෘත වුවද පොත්හල් විවෘත වුවද පොත් මිලදී ගැනීමට පාඨකයන්ටෙ රොඳ බැඳ පැමිණීමට හැකියාවක් නැත. පොත් සාප්පුවල පොතපත තෝරමින් සාහිත්‍ය වන්දනාවේ යෙදීම තවමත් අවදානම්ය. මේ නිසා පාඨකයන්ට සිදුව ඇත්තේ අත්‍යවශ්‍ය පොත් තෝරා මිලදීගෙන පැමිණීමටය.

මේ අතර පොත් ලියන ලේඛකයෝද ගෙදරටම කොටු වී සිටියහ. සමහරු මේ කාලය විවේකීව පොත් කියවීමට යොදාගත්හ. තවත් සමහරු පොත් රචනා කළහ. මේ සාහිත්‍ය අවකාශයේ හැසිරීම ගැන සාහිත්‍යවේදීන් කිහිප දෙනෙකුගෙන් විමසීමට ගත් උත්සාහයකි. 

ප්‍රවීණ ලේඛක ආචාර්ය ඩබ්ලිව්.ඒ. අබේසිංහ ඒ ගැන කිව්වේ මෙලෙසයි.

පොත් සාප්පු සෑහෙන කාලයක් එක දිගට වහලා තිබුණානේ. සමහරු සාප්පුවලට ගිහින් පොත් අතින් අල්ලන්නත් බයවුණා. ඉතින් අපට භෞතිකමය පැත්තෙන් සාහිත්‍යයේ විශාල කඩාවැටීමක් තිබෙන බව පේනවා. නමුත් ඊට අමතරව මේ අවදානම් කාලය ගැන ගැඹුරින් සිතාබැලිය යුතුය. වසංගතය කාලයට සහ වෛද්‍යවරුන්ට බාරදීලා අපි බලා ඉන්නවා. මේ වගේ වෙලාවක ලේඛකයො විවේකයෙන් ඉන්නවා. ඔවුන් පොතපත ලියන්න කියවන්න උනන්දු වූ බව පේනවා. ඉදිරියේදී මෙය සාහිත්‍යයට හොඳ විෂයභූමියක් විය හැකිය.

නමුත් වඩාත් සංවේදී ලේඛක හා නිර්මාණශීලී පිරිසක් ඉන්නවා. ඔවුන් කිසිම නිර්මාණයක් කළ නොහැකිව අවිනිශ්චිතව බලා ඉන්නවා. ඒ අයට අධ්‍යාත්මික කණස්සල්ලක් මතු වී තිබෙනවා. ඒක නිර්මාණ ශක්තිය අපතේ යාමක්. වසංගතය කවද හරි දවසක ඉවරවේවි. ඊටපසු දැන් නිහඬව සිටින සාහිත්‍යධරයන් අතින් ඉතා සාරවත් නිර්මාණ බිහිවේවි. ඇල්බෙයා කැමූගේ මහාමාරිය, ගාර්ෂියා මාකේස්ගේ කොළරා කාලේ ආලේ වගේ පොත් බිහිවුණේ වසංගත ඇසුරු කරගෙන. ඒ වගේ නිර්මාණවලට අපේ සමාජයෙන් අධ්‍යාත්මික ඉඩකඩක් පවතිනවා.

මහාචාර්ය ලියනගේ අමරකීර්ති පසුගිය කාලයේ පැවති විවේකී කාලයේ විශාල සාහිත්‍ය ආශ්‍රයක් කළ බව සමාජ මාධ්‍ය ඔස්සේද අපි දැනගතිමු. මේ ඔහු තම සාහිත්‍ය කාර්යයන් ගැන දැක්වූ අදහස්ය.

මම නම් කොරෝනා කාලේ කියලා කලකිරිලා හිටියේ නැහැ. පොත් කිහිපයක්ම නිම කිරීමට අවස්ථාව ලැබුණා. විශ්වවිද්‍යාලයේ ඉගෙනුම් වැඩ, විභාග වැඩ, උත්තර පත්‍ර බැලීම වගේ එදිනෙදා ජීවිතයේ කටයුතුවලින් වෙන්වෙලා ඉන්න ලැබුණු කාලයක්නේ. බොහොම කලාතුරකින් පමණයි ඒ වගේ කාල උදාවෙන්නේ. අපි යථාර්ථය කියලා කියන්නේ සමාන්‍යයෙන් ජීවිතය ගලාගෙන යන රිද්මයටනේ. ඒක දිගටම ගලාගෙන යන එක ජීවිතේට හොඳ නෑ. ඒක කැඩෙන එක තමයි හොඳ. එවිට ඇත්තටම ජීවිතය මොකක්ද කියන එක කල්පනා කළ හැකියි. ඕනෑම සමාජයක ජීවිතයේ රිද්මය කැඩුණු අවස්ථාවලදී තමයි හොඳ නිර්මාණ බිහිවන්නේ. 1920 ගණන්වල ආර්ථික අවපාතයකින් අමෙරිකානු සමාජය බිංදුවටම කඩා වැටුණා. ඒ කාලේ හොඳ සාහිත්‍ය කෘති, සමාජ කෘති රාශියක් බිහිවුණා.

මම ගෙදර වට සිතියම* කියන කෙටිකතා පොත ලියා පළ කළා. ජෝන් ග්‍රේ නම් බ්‍රිතාන්‍ය ලේඛකයාගේ කෘතියක් පිදුරු බල්ලෝ නමින් පරිවර්තනය කළා. ඉතිහාසයක් තුළ සාහිත්‍යය* නමින් සාහිත්‍ය විචාර පරිවර්තනයක් කළා. දැනටමත් ලෝකයේ දාර්ශනික පොත පත, චිත්‍රපට බිහිවන්න පටන් අරන් තිබෙන්නේ මේ වසංගතය පාදක කරගෙන.

සම්මානනීය ලේඛක එරික් ඉලයප්පආරච්චිද පසුගිය කාලයේ නිර්මාණ කිහිපයක්ම බිහිකළ අතර ඔහු ඒ ගැන මෙසේ කීවේය.

මැස්සා නවකතාව, කොළඹ දැනුම කෙටිකතා සංග්‍රහය, මගේ තණකොළ පොත්තා නම් කවි පොත සහ බැද්දේගම කියවීම සහ සිළිඳු දැකීම කියන විචාර කෘතිය නිකුත් කිරීමට අවස්ථාව ලැබුණා. මම නම් හිතන්නේ ලේඛකයාට කොරෝනා වසංගතය කියලා වෙනසක් නැහැ. හැම කාලයකම ජීවිතයේ යථාර්ථය රුදුරුයි. මිනිසා ජීවත්වීමට ගෙන යන අරගලය එසේම පවතිනවා. පසුගිය කාලයේ තම තමන් ගත කළ සංස්කෘතියේ නොගැඹුරු බව හුඟ දෙනෙකුට හෙළිදරව් වන්න ඇති.
ලෝක මට්ටමින් ගත්විට යුරෝපයේ සහ අමෙරිකාවේ විශාල ප්‍රමාණයේ සම්භාව්‍ය සාහිත්‍ය කෘති කියවීමට පෙළඹුණු බව හෙළි වී තිබෙනවා. ගැඹුරු පොත් කියවීමට මිනිසාට විවේකයක් ලැබුණනේ. මේ කාලයේ එදිනෙදා විනෝදයට කියවීම වෙනුවට බැරූරුම් දේවල් කියවන කාලයක් වුණා.

තරුණ ලේඛකයකු මෙන්ම සම්මානනීය කවියකුද වන සෞම්‍ය සඳරුවන් ලියනගේද සමාජ සංවේදීත්වයෙන් ඉහළ චරිතයකි. ඔහු මේ වසංගත කාලය දකින්නේ මෙලෙසය.

ලොකු නොනගතයක් වගේ කාලයක්නෙ උදාවෙලා තිබුණේ. මිනිසුන්ට එකිනෙකා හමු නොවී හිරේ දැම්මා වගේ ජීවත්වෙන්න සිදුවුණා. අද වුණත් තත්ත්වය එතරම් වෙනස් වෙලා නෑනේ. ඒ වගේ කාලයක අත්විඳින්නට ලැබෙන හුදෙකලා බව දරාගන්න අමාරුයි. මම නම් අර්ධ වශයෙන් නවත්වා තිබූ නිර්මාණ කීපයක් ඉවර කළා. දැන් ඒවා දෙස බලනවිට යළිත් විමසා බලා සංස්කරණය කළ යුතුයි කියන අදහස මතුවී තිබෙනවා. මිනිසුන් මුණගැසෙන කොට තමයි අපි ජීවත්වන බව දැනෙන්නේ. එවිට තමයි නිර්මාණ නිමිති මතුවන්නේ.

කුසුම්සිරි