දින දසුනේ ලෝක කාන්තා දිනයක් වෙන්කර තිබීම ඉතාම සාධාරණය. මා එසේ සිතන්නේ, වසරේ අනෙක් දින තුන්සිය හැට හතරම, පිරිමින් විසින් අත්පත් කරගෙන ඇති බැවිනි. මෙම කනගාටුදායක හා අසාධාරණ තත්ත්වය හඳුන්වනු සඳහා තනි වචනයක්ද යොදා ගැනේ. එනම් පුරුෂාධිපත්‍යය.
කාන්තා ප්‍රශ්නවලදී, මා හැමවිටම ඔවුන්ගේ පාර්ශ්වය ගැනීම පිළිබඳව නොයෙක් වර ඇනුම් බැණුම්, තීන්දු අපහාසවලට ලක්වී ඇත්තෙමි. මට ඉවසිය නොහැකි කාරණය වන්නේ කාන්තා පක්ෂය පවා, ඒ සම්බන්ධයෙන් මා දෙස සැක සිතින් බැලීමය. කිසිවකු කාන්තාවන්ට පක්ෂ වූ පමණින් ඔහු ස්ත්‍රී ලෝලියකු නොවන බව බුද්ධිමත් පාඨකයෝ දනිති. එසේම, යහපත් විවාහ ජීවිතයක් ගත කරන මා, එබඳු අසාධාරණ, අයුක්තිසහගත චෝදනාවන්ගෙන් දුර්මුඛව, මගේ කාන්තාවාදී ප්‍රතිපත්තිය අත්හරින්නේද නැත.
පසුගිය දිනෙක, මගේ මිතුරියක විසින් එවා තිබූ, ඊ - සඳෙක මෙසේ සඳහන් වුණි. Without Her even Hero is zero. මෙම සරල අදහස පැහැදිලි යැයි සිතමි. ඇය (her) නැතිනම්, වීරයා ද නවතින්නේ බිංදුවේය.
පුරුෂවාදී දෘෂ්ටිකෝණයෙන් බලන්නකු මෙවැනි විහිළුවක් පවා නොරිස්සීමට ඉඩ ඇත. එහෙත් සැම දෙයක් දෙසම, වැදගත් සිතින් බලන සාධාරණ පිරිමියකු වන මට පෙනී යන හැටියට නම්, මේ ලෝකයේ වැඩිපුර සිටින්නේ වීරවරියන් මිස, වීරයන් නොවේ.
සැමවිටම ඇත්ත තිත්තය. ලෝක ඉතිහාසයේ සිටි සෑම වීරයකුම, තම පෙම්වතිය හෝ බිරිඳ ඉදිරියේ දණින් වැටුණු බව ප්‍රසිද්ධ රහසකි. ඇත්ත ඇති සැටියෙන් කතා කරනවා නම්, ගෘහමූලිකයා යන යෙදුමද, වැරදිය. එය ගෘහමූලිකාව යනුවෙන් නිවැරදි විය යුතුය. සෑම නිවෙසක්ම පාලනය වන්නේත්, එහි තීන්දු තීරණ ගැනෙන්නේත්, භාර්යාව නොහොත් ගෘහමූලිකාව විසින් බව රහසක් නොවේ.
තොටිල්ල පදවන අත ලොව පාලනය කරයි* යන ප්‍රකට පිරුල නිර්මාණය වී ඇත්තේද ඉහත කී යථාර්ථය මතය යනු, මගේ අවංක අදහසයි. ලෝකයේ බොහෝ දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට පවා යන්නේ, නිවෙසින් ලබාදෙන තීරණ ක්‍රියාත්මක කිරීමට බව, අන් කවුරු නැතත්, කාන්තාවෝ දනිති. පිරිමින් ලවා ලෝකය පාලනය කරවන්නේ කාන්තාවන් බව පිළිගැනීමට අප මැළිවිය යුතු නැත.
කෙසේ වෙතත්, බැලූ බැල්මට පෙනෙන්නේ කාන්තාවන්ට හිමිවී ඇත්තේ, දෙවැනි පෙළ නායකත්වයක් බවය. සෑම කාන්තා දිනයකදීම වක්‍රව ඉල්ලා සිටින්නේ, මෙම අහිමි මුල්පෙළ නායකත්වයයි. සම අයිතිවාසිකම්, සම තත්ත්වය, සම බලතල යනුවෙන් අදහස් කෙරෙන්නේ ද මෙම ඉල්ලීමමය.
කාන්තා දිනයට එරෙහිව කෙරෙන පිරිමි සරදම්වලට මා කැමති නැති නමුදු, උපහාස ප්‍රිය පුද්ගලයකු වශයෙන්, ඉන් රහසිගත වින්දනයක් ද ලබමි. (මගේ විරුද්ධවාදී පිලේ කෙනකු, එය ස්වයං වින්දනයක් ලෙස හැඳින්වීමටද ඉඩ ඇත.)
සමහර පිරිමි පවසන ආකාරයට, සෑම කාන්තා දින උත්සවයක්ම, ආරම්භ වන්නේ නියමිත වේලාවට පැය කිහිපයක් ප්‍රමාද වීය. එයට හේතුව සභාපතිනියගේ සිටම සියලුම දෙනා, හැඳ පැළඳ, රෑපලාවණ්‍ය කොට සැරසීමට ප්‍රමාද වන බැවිනි.
කාන්තාවන් සැම දෙනාටම බොහෝ අදහස් ඇති බව, පිරිමින් වන අපිදු හොඳින් දනිමු. මේ නිසා, කාන්තාවන්ට සාමූහික තීරණවලට එකඟ වීමටද කාලය අවශ්‍ය වේ. කාන්තා දින ඉතිහාසයේ කියැවෙන අන්දමට, එම දිනය සඳහා යොදාගෙන තිබුණේ මාර්තු 6දාය. එහෙත් ඊට සූදානම් වීමට කාලය අවශ්‍ය වූයෙන්, එම දිනය මාර්තු 8 වැනිදාට කල් ගියේය.
පසුගිය කාන්තා දිනයේ දක්නට ලැබුණු පෝස්ටර් හා බැනර් අතුරින්, එකක සඳහන් වූ පාඨයකට මගේ සිත ඇදී ගියේ, මා ද එම මතයේ සිටින්නකු බැවිනි. ඒ පාඨය මෙසේ විය. අනෙක් දිනයන් වාගේම, අද ද, ඔබේමය. (Today is yours as any other days)
කාන්තා දිනයට සමගාමීව, ප්‍රීතිමත් කාන්තා දිනයක් වේවා (Happy women’s day) යනුවෙන් සුබ පැතීමේ සිරිතක්ද ආරම්භ වී තිබේ. පුරුෂ පිලේ දාර්ශනිකයකු එය විග්‍රහ කළේ කාන්තාවන් නිතරම කල්ගත කරන්නේ අසතුටින් බවය. ඔවුන් තෘප්තිමත් කිරීම සිතන තරම් ලෙහෙසි නැත. හැම විටම දුකින් පසුවන කාන්තාව, කාන්තා දිනයේදී හෝ ප්‍රීතිමත් කිරීම, එහි ප්‍රධාන අරමුණක් වීම පුදුමයට කාරණයක් නොවේ.
කාන්තාවන්ට දේශපාලන නායකත්වය ලබාගැනීමට ඇති ප්‍රධානතම බාධකයක් වන්නේ, ඔවුන්ගේ එක්සත්කම නැතිවීම බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ. කිසියම් කාන්තාවක්, රටක ජනාධිපති ධූරයට පත්වන්නේ නම්, පළමුවෙන්ම ඊට අකමැති වන්නේ ඇගේ අසල්වැසි කාන්තාවය. එහෙයින් සියල්ලටම පෙර, ලෝකයේ කාන්තාවන් සමගිව, එක්සත් විය යුතු බව මමද පිළිගනිමි.
සහජ දුර්වලතා ගැන ද ඔවුන් කල්පනාකාරී විය යුතුය.
ඉන්දියාවේ, එක් ප්‍රාන්ත මැතිවරණයකදී, ප්‍රබල කාන්තා ක්‍රියාකාරිනියකද තරග වැදුණාය. ඇය අන්ත පරාජයකට පත්වූයේ, සියලු කාන්තාවන් පුදුමයට පත් කරවමිනි. පසුව හෙළිවූයේ, ඇයද තම ඡන්දය දී තිබුණේ ඈ හා තරග කළ ජනප්‍රිය සිනමා නළුවකුට බවය.
කාන්තාව යනු කාන්තාවමය. ඇය විසින් ලෝකයම වෙනස් කළත්, ඇයට ඇය වෙනස් කරගත නොහැකි වීම කිසිදා නොවිසඳිය හැකි බරපතළම කාන්තා ගැටලුවය.
කපිල කුමාර කාලිංග