2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

ගහක් උඩ පැලක අවුරුදු සැමරූ පවුල

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 125

අහල පහළ සියලු ගම් දනව්වල සිංහල අවුරුදු අසිරිය මැවුණද සෙවණගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉඳිපදුර ගම්මානයට නම් සිංහල අවුරුදු උදාව එතරම් විශේෂත්වයක් ගත්තේ නැත. අනිත් ගම්මානවල දරුවන් එකට එක්ව අලුත් ඇඳුම් ඇඳ එකට එක්වී ඔන්චිල්ලා පදිමින්, රතිඤ්ඤා පත්තු කරමින් විනෝද වුවද ඉදිපදුර ගම්මානයේ ඒ කිසිවක් නොවීය. ඒ අන් කිසිවක් නිසා නොව, පවුල් 50ක් පමණ ජීවත් වූ ඉදිපදුර ගම්මානයේ අද ඉතිරිව ඇත්තේ එක පවුලක් පමණක් නිසාවෙනි. අවුරුදු 40ක පමණ කාලයක් මේ ගමේ පවුල් 50ක් පමණ ජීවත් වුවද ගෙවුණු වසර පහක පමණ කාලයක සිට මේ ගම උග්‍ර ලෙස වන අලින්ගේ ආක්‍රමණයන්ට ලක් වී ඇත්තේ රැයක් දවාලක් නොමැතිවය. වන අලි ගැටලුව පිළිබඳව වගකිවයුතු බලධාරීන්ට කොතෙකුත් කීවද ඒවා හරියට බීරි අලින්ට වීණා වයන්නාක් මෙන් වී තිබේ. වගකිවයුතු කිසිවකුගෙන් මේ අහිංසක ගොවි ජනතාවට සාධාරණ විසඳුමක් නොලැබුණු නිසාවෙන් ගමේ පවුල් දෙකක් හැරුණු කොට අන් සියලුම දෙනා මේ ගම අතහැර දමා ගියේ ජීවත් වීමේ ආශාව ඇති නිසාවෙනි. ගමටම ඉතිරිව සිටි පවුල් දෙකෙන්ද එක පවුලක් අලුත් අවුරුදු උදාවට දිනක් තිබියදීම ගම හැරදා ගියේ ඔහුගේ නිවසද වන අලි කඩා සුණුවිසුණු කර දැමීම නිසාය. අවසන ගමට ඉතිරි වූයේ එක් පවුලක් පමණි. ඒ.එම්. වසන්ත කුමාර (39), බිරිය වන චතුරිකා කුමාරි (35) හා අවුරුදු හතරක පුතණුවන් වන ගිම්හාන් ගනේෂ්ය.

මේ පවුලේ අයටද වන අලින්ගෙන් සිදු වූ ගැහැට පිළිබඳව නම් වචනයෙන් කීම උගහටය. ඒ තරමටම කරදරවලට මේ අය මුහුණ දී තිබේ. ඔහුගේ නිවසද වන අලි පස් වතාවක්ම බිමට පෙරළා දමා තිබේ. අද වන විට ඔහු ජීවත් වෙන්නේ වන අලින්ගෙන් ආරක්ෂා වීම වෙනුවෙන් මහා රූස්ස ගහක් උඩ තාවකාලිකව ඉදිකරගත් පැලක් මතය.

අඩි 30ක් පමණ උස වූ ගහක් උඩ ජීවත් වුවද වසන්ත කුමාර මහතාට අවුරුදු දිනය අතහැර දැමීමට නොහැකි වූයේ සිය සිවු වියැති දරුවා නිසාය. ඒ නිසා ඔහුද තමන්ට හැකි පරිදි අවුරුදු චාරිත්‍ර ඉටුකළේ ගස මුදුනේ තාවකාලිකව ඉදිකරගත් පැල්පතේ සිටය. අසල්වැසි ගමක අයකුගෙන් ලද තොරතුරකට අනුව අපද ඉදිපදුර ගමට ගියේ වසන්ත කුමාර මහතා සිය බිරිය, දරුවා සමඟ ගමකට වී තනියම අවුරුදු සමරන හැටි බලාගැනීමට හා ඔහුගේ මේ දුක්මුසු කතාව රටට කියන්නටය. එහි ගිය අපට ඇතිවූයේ පුදුම හිතෙන භීතියකි. ඒ අන් කිසිවක් නිසා නොව, අප අලුත් අවුරුදු දිනය දා එහි යනවිටත් අවුරුද්දට පෙර දින රාත්‍රියේ වන අලින් 50ක පමණ රංචුවක් පැමිණ ඔහු සිටින අවට සිදුකර තිබූ විනාශය සියැසින් දුටු නිසාවෙනි.

තමන් පත්ව ඇති දුෂ්කරතාවය පිළිබඳව අදහස් දැක්වූ වසන්ත කුමාර.

“මම මේ ගමේ පදිංචියට ඇවිත් අවුරුදු 15ක් විතර වෙනවා. විවාහ වෙන්නත් කලින් ඉඳලයි අපි මේ ගමේ පදිංචිවෙලා ඉන්නේ. අපිත් එක්ක මේ ගමේ පවුල් 50ක් විතර හිටියා. ඉස්සර මේ ගම්වලට වන අලි කරදර තිබුණේ නෑ. දැන් මේ අවුරුදු 5ක විතර ඉඳලා තමයි මේ වන අලි එන්න පටන් අරන් තියෙන්නේ. අපේ ගමේ එක පැත්තකින් බැලුවම පේන්නේ සූරියවැව මීගහජඳුර ක්‍රිකට් ක්‍රීඩාංගණය. අනිත් පැත්තෙන් කොතලාවල විද්‍යාපීඨය. මේ දෙකටම මැදිව තමයි අපේ ගම පිහිටලා තියෙන්නේ. මේ ගම පිහිටලා තියෙන්නේ මොණරාගල හා හම්බන්තොට කියන දිස්ත්‍රික්ක දෙකේම මායිමේ. ඒ නිසා කිසිදු බලධාරියකුගේ අවධානයක් මේ ගමට යොමුවෙලා නෑ.

ගමට තිබුණු ප්‍රජා ශාලාවත් වන අලි කඩලා දමලා. මේ වෙනකොට ගමට එන පාරවල් කැලෑවට ගිහින්. ගමේ හිටිය අයත් ටිකෙන් ටික ගම අතහැරලාම ගියා. අපි පවුල් දෙකක් විතරක් මේ ගමේ ඉතුරු වුණා. පසුගිය 12 වැනිදා ගමේ හිටිය අනිත් පවුලේ නිවසත් වන අලි කඩලා විනාශ කරලා දැම්මා. ඒ අයත් මේ වෙනකොට ගමෙන් ගිහින්. අද වෙනකොට මේ ගමේ පදිංචිවෙලා ඉන්නේ මම විතරයි. මට වෙන යන්න එන්න තැනක් නැති නිසයි මේ ගහ උඩ පැලට වෙලා ඉන්නේ.

මේ එහා පැත්තේ වැව තියෙනවා. ඉඩම් ටික හොඳට තියෙනවා. ඉතින් වන අලි කරදර නැත්නම් අපිට හොඳට වගා කටයුතු කරගෙන ඉන්න පුළුවන්. අපි වගකිවයුත්තන්ගෙන් ඉල්ලන්නේ මේ වන අලි කරදරේට විසඳුමක් දෙන්න කියලා විතරයි. හැමදාමත් අපිට වන අලින්ට බයේ ගස් උඩට වෙලා ඉන්න බෑ. අපිත් ආසයි ගෙවල් දොරවල් හදාගෙන ලස්සනට ජීවත් වෙන්න. ගහ උඩ පැලෙන් මගේ පුතා එක වතාවක් බිමට වැටිලා කරාපිටියේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දවස් ගානක් හිටියා. ජිවිතෙත් මරණෙත් අතර සටනකයි අපි දැන් ජීවත් වෙන්නේ.

හැමදාම සවස 4 විතර වෙනකොට ගමට වන අලි එනවා. ඒ එන්නේ වන අලි රංචු පිටිනුයි. පසුගිය 13 වැනිදත් 20ක විතර අලි රංචුවක් ඇවිත් කෑගහලා අපි ගෙය හදාගෙන ඉන්න ගහ පෙරළන්න හැදුවා. පුතා බයේ කෑගහනවා. බැරිම තැන මම ගහ උඩ ඉඳගෙනම අලි වෙඩි කීපයක් දැම්මම තමයි අලි ටික ටිකක් එහාට ගියේ. අපි මේ විඳින දුක පිළිබඳව බලධාරීන්ට තේරෙන්නේ නෑ. වනජීවී එකට කිව්වත් වැඩක් නෑ. ග්‍රාමසේවක මහත්තයා විතරයි ඇවිත් ගම දිහා බලලා යන්නේ හරි. මැති ඇමතිවරු හෝ වෙනත් වගකිවයුතු කෙනෙක් ඇවිත් එක රැයක් මේ ගමේ හිටිය නම් ඒ අයට තේරේවි මොනවද අපි මේ කියන්නේ, මරණ බය කියන්නේ මොකද්ද කියලා”

චතුරිකා කුමාරි

“අපි අවුරුදු ගානක් තිස්සේ මේ ගමේ පදිංචිවෙලා හිටියා. ගොවිතැන් තමයි ඒ කාලේ ඉඳලම කළේ. හොඳට ගොවිතැන් කරගෙන කියාගෙන තමයි මේ ගමේ සියලුම දෙනා හිටියේ. නමුත් දැන් අවුරුදු පහක වගේ ඉඳලා ගමට වන අලි තර්ජන එන්න පටන් ගත්තා. වන අලි තර්ජන දිනෙන් දින එන්න එන්නම වැඩි වුණා. ඒකේ අවසාන ප්‍රතිඵලය වුණේ ගමේ හිටිය අය ගම අතහැරලා වෙන පළාත්වලට ගිය එක. නමුත් අපිට වෙන යන්න එන්න තැනක් නැති නිසා අපි විතරක් මේ ගමේ තනි වුණා. දැන් කාලයක ඉඳලා අපි මේ ගහ උඩට වෙලා ජීවත් වෙනවා. මමත් මේ ගහ උඩට යන්න හදලා තියෙන ඉනිමඟෙන් බහින්න ගිහින් වැටිලා තියෙනවා. පුතත් මේ ගහෙන් වැටිලා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා. මේ ඔක්කොම කරදර අපිට ආවේ ගෙවුණු අවුරුදු පහක විතර කාලයේ ඉඳලයි. මීට කලින් අපි බොහොම හොඳට වගා කටයුතු කරගෙන හිටියා. දැන් නම් මොකුත් වගාවක් කරන්න විදියක් නෑ. දැන් වන අලි කරදර දැඩි ලෙසම උග්‍ර අතට හැරිලයි තියෙන්නේ. වෙනදා රෑට විතරයි අලි ආවේ. නමුත් දැන් දවල් දෙකට තුනටත් අලි කඩා වදිනවා. එක සැරේට අලි පහළොවක් විස්සක් විතර එනවා. අපේ ජීවිත දැන් නම් තියෙන්නේ ලොකු අවදානමකයි. ජීවිතේ අවදානමේ බව දැන දැනත් අපිට මේ ගමේම ජීවත් වෙන්න වෙලා තියෙන්නේ වෙන යන්න එන්න තැනක් නැති නිසයි. වගකිවයුතු බලධාරීන්ගෙන් මම ඉල්ලා සිටින්නේ පුළුවන් නම් අපිට කොහේ හරි තැනක නිදහසේ ගොවිතැනක් කරගෙන ඉන්න පුළුවන් තැනක් ලබා දෙන්න කියලා විතරයි.”

අහස උසට මාලිගා හැදෙන යුගයකත් මෙලෙස දුක් විඳින ජනතාවක් තවමත් සිටීම පිළිබඳව අපට ඇත්තේද ඉමහත් කනගාටුවකි. අද අපි ඔබට මේ තොරතුරු හෙළි කළේ මෙරටට බත සපයන තවත් එක් ගොවි මහතකුගේ දුක්බර කතාවක් පමණි. රට තුළ මෙවැනි දුක් ගැහැටවලට ලක් වූ තවත් ගොවි මහතුන් කොතෙක් නම් ඇතිද යන්න පිළිබඳව අප සිතා බැලිය යුතුය. එය වගකිවයුත්තන්ගේ පරම වගකීමක් බවද අපි සිතන්නෙමු.

♦ සටහන හා සේයාරූ - සූරියවැව නුවන් ජයසේකර