2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

බ්‍රේන් වොෂිං නොහොත් මොළ ශෝධනය

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 90

රොබින්, මගේ මේසය වෙත පැමිණියේ අමුතු සිනාවක් දමාගෙනය. සාමාන්‍යයෙන් ඔහු එසේ පෙනී සිටීමට ප්‍රධාන හේතු දෙකක් ඇත. එක, අලුත් විහිළු කතාවක් හෝ සිද්ධියක් කීමටය. දෙක, සවස කාගේ හෝ, මොකක් හෝ පාටියක් සූදානම් වෙමින් ඇති බව කල් තියා දැන්වීමටය.

සර්, අලුත් බැංකු ගිණුම් වර්ගයක් තියෙනවා. එකක් ඕපන් කර ගත්තොත් නං, ගොඩේ ගොඩ.

මොකක්ද? මොන බැංකුවෙද?

ඒකට කියන්නෙ, අන්තවාදී ගිණුම කියලා. 

රොබින් සිනාව මැඩගෙන කීවේය.

තමුසෙට හිරේ යන්ඩ වෙලාද?

හිරේ ගියත් මොකද සර්, කෝටි ගණන් ගිණුමට වැටෙනව නං..

රොබින් සිනාසුණේය. නොදැනුවත්ව හෝ ඔහු ඒ සිනාසුණේ මුළු සිරි ලංකාවටම යැයි මට සිතේ.

උගස බේරාගැනීමට, පොලිය ගෙවාගැනීමට බැරිව දුක්වන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සිටින, දිළින්දන්ගෙන් පිරි රටක, බැංකුවල අන්තවාදී ගිණුම්, කුඩු ගිණුම්, තෙල් ගිණුම්, කොන්ත්‍රාත් ගිණුම් හා හාල් ගිණුම්වල කෝටි ප්‍රකෝටි ගණනින්, මුදල් රුස්වෙයි. ජනමාධ්‍ය මගින්ද, නිතර දෙවේලේ මේවා කියන නිසා, ඒ ගැන නොදන්නා කෙනෙක්ද නැත. එහෙත් සිද්ධවෙන දෙයක්ද නැත.

සිරි ලංකාවේ දේශපාලනයද, ඇතැම් ටෙලිනාට්‍ය වගේය. මුලදි ආතල්ය. මැදදි දියාරුය. අගදී වාතය. කතාව, කිහිප සැරයක් අවසන් වන්නට යනවාක් මෙන් ඇඟවෙයි. එහෙත් අවසාන වන්නේ නැත. තව තවත් ඇදෙයි. ප්‍රේක්ෂකයා ඇන්දෙයි. ඔවුහුද බැණ බැණ හෝ බලති. දැන්වත් මේක ඉවර වෙනවා නම්.. යැයි සිතති. පතති.

කලාතුරකින් එක නාට්‍යයක් ඉවර වුණා යැයි සිතමු. තවත් එකක් පටන් ගනී. ඒකත් අර වගේම ප්‍රෝඩාවකි. ටෙලිනාට්‍යකාරයා (නොඑසේ නම් නාලිකාව) ප්‍රේක්ෂකයා අන්දන්නේත්, දේශපාලනකාරයා තම ඡන්දදායකයා (නැතහොත් ජනතාව) ගොනාට අන්දවන්නේත් එකම ක්‍රමයටය. (තොප්පිය දමාගත යුත්තේ, ටෙලිනාට්‍ය මුදලාලිලා මිස, ඊට අදාළ නැති අය නොවේ.)

මෙම මාධ්‍ය දෙකටම පොදු ලක්ෂණයක් වන්නේ ජනතාව කොටස් වශයෙන් ඇන්දවීමය. ටෙලියේදී එය සිදුවන සැටි පැහැදිලිය. කොටස් පන්සීය ඉක්මවා යන මෙගා වලිගයකට හසුවන ප්‍රේක්ෂකයා, තමන් ඒ අහිමි කරගන්නේ, වටිනා ආයු කාලයෙන් දිගු කොටසක් බව වටහා නොගනී.

දේශපාලන නාටකය දිගහැරෙන්නේ, මහ මැතිවරණ, පළාත් සභා හා ප්‍රාදේශීය සභා, ජනාධිපතිවරණ, ජනමත විචාරණ ආදී වශයෙනි.

මෙරට මැතිවරණ වේදිකාවේ රඟදැක්වුණු හොඳම නාටකය වන්නේ, 1982 දී, ජේ.ආර්. ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කරන ලද ලාම්පු කළගෙඩි සෙල්ලමය. එය අයත් වන්නේ කෝලම් නාට්‍ය සම්ප්‍රදායටය.

ටෙලිනාට්‍යවල කොටස් සංඛ්‍යාව වැඩි වෙද්දී, මොන මොනවා හෝ දමා, එය පුරවා ගැනීමට රචකයාටත්, අධ්‍යක්ෂකටත් සිදුවෙයි. දේශපාලන නාටකයේදීද එසේමය. හැමදාමත් පෙන්වන්නේ, කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි කතාන්දරමය. එහෙත් කලින් කලට, ව්‍යවස්ථා සංශෝධන, ඇමැති මාරු, කමිටු පත්කිරීම්, මත්ද්‍රව්‍ය වැටලීම්, වඳ බෙහෙත් ආදී, මාතෘකා උඩට එයි. ජනතාව බලා සිටි, මිල අඩුකිරීම්, ඉන්ධන මිල පහත වැටීම් වැනි කාරණා අමතක කෙරෙයි.
රොබින් කියූ, අන්තවාදී ගිණුම්ද, ඒ ලැයිස්තුවට අලුතින්ම එක්වූවකි. ඊට අමතරව, සුපුරුදු පරිදි සතියකට වතාවක්වත්, කෝටි ගණන් වටිනා කුඩු ඇල්ලීම, ප්‍රදර්ශනය කෙරේ. කොරෝනා සංඛ්‍යාලේඛනද ඒ අතරට එකතු වේ.

ජනතාවට, ජීවන ප්‍රශ්න අමතක වේ. ඔවුන් කතාබහ කරන්නේ, ටෙලිනාට්‍ය හෝ දේශපාලන නාට්‍යවල විකාශනය වූ, සිදුවීම් ගැනය. බ්‍රේන් වොෂ් නොහොත් මොළ සේදීම යනුවෙන් අදහස් කෙරෙන්නේද මේ ක්‍රියාන්විතයමය.

බ්‍රේන් වොෂිං පිළිබඳව, විවිධ රටවල විවිධ උපහාස කතා පවතී.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට, සියලුම රුසියානුවන් තම මතයට අවනත කර ගැනීමට අවශ්‍ය විය. ඔහු ඒ සඳහා, ජනතාවගේ මොළ ශෝධනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේය. එය සාර්ථකදැයි දැනගැනීම සඳහා, ඔහු රජයේ මාධ්‍ය මගින්, 2021 ජනවාරියේ සිට රතු බලකොටුව නමින් ප්‍රකට ක්‍රෙම්ලීනය, නිල් පැහැති යැයි ප්‍රචාරය කළේය.

ඉන්පසු, රටේ දස දෙසින් ජනතාව එහි ඇදී එන්නට වූහ. ඒ සෑම කෙනෙක්ම, ක්‍රෙම්ලීනය නිල් පැහැති බව දැක, එය පිළිගෙන, ආපසු ගියහ. එසේ යමින් සිටි, කම්කරුවන් දෙදෙනෙක් අවන්හලකට ගොඩවූයේ, වොඩ්කා බෝතලයක් පානය කරනු පිණිසය. බෝතලය පතුලට ළං වෙද්දී, එක් කම්කරුවෙක් අනෙකාට මෙසේ පැවසීය.

යාළුවා, මම නං දැක්කෙ පරණ රතු පාට ක්‍රෙම්ලින් එකමයි. පුටින්ට ඒක නිල් පාටට පේන්නෙ කොහොමද?

එවිට, අනෙක් කම්කරුවා මෙසේ කීය.

මට නං හිතෙන්නෙ, අමෙරිකාව මිනිහගෙත් බ්‍රේන් වොෂ් කරලා.

පාලකයන් සිතන තරමටම ජනතාව මෝඩ නැත. ඔවුන් මෝඩයන් සේ පෙනෙන්නේ, කට පියාගෙන සිටින තරමටය.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද, මොළ ශෝධනයට ලක්වූවෙකි. එහෙයින්, ඔහු තවමත් සිතා සිටින්නේ තමා අමෙරිකාවේ ජනාධිපති බවය.

හින්දි සිනමාව නිසා, ඉන්දියානු ජනතාවගේද මොළ ශෝධනය විය. එහෙයින්, සෑම, විවාහක ඉන්දියානුවකුම නිදි යහනට යන්නේ, බිරිඳ සමඟ නොව, තම සිත් ගත් හින්දි නිළිය සමඟය.

සිරි ලංකාවේද, සෑම නගරයකම මොළ ශෝධනාගාර පිහිටුවා තිබේ. ඒවා හැඳින්වෙන්නේ වයින් ස්ටෝර්ස් නමිනි.

 කපිල කුමාර කාලිංග