ග්‍රහ මණ්ඩලයේ රජු තමාට සතුරු රාශි භවනක් වූ වෘෂභ රාශියට 2021 මැයි 14 වැනි කිවි දින රාත්‍රී 11 පසුවී විනාඩි 25ට පිවිස ජූනි 15 වැනි දින පාන්දර 6 පසුවී විනාඩි 1 දක්වා ගමන් කරයි. බුධ ග්‍රහයාද 2021 මැයි 1 වැනි දින පාන්දර 5 පසුවී විනාඩ් 42 සිට මැයි 26 වැනිදා උදේ 8 පසුවී විනාඩි 33 දක්වාත් සිකුරු ග්‍රහයා එම මැයි 4 වැනි දින දහවල් 1 පසුවී විනාඩි 27ට වෘෂභ රාශිගත වී 28 දින රාත්‍රී 12 පසුවී විනාඩි 1 දක්වාත් රවි බුධ සිකුරු යන ග්‍රහයින් තිදෙනාම රාහු සමඟ යෝග වී ගමන් කරනු ඇත. රාහු සමඟ රවි බුධ සිකුරු යෝග වී ගමන් කරන මෙම වකවානුව තුළ බ්‍රහස්පතිද නැප්චූන් සමග යෝග වී ගමන් කිරීමද සිදුවේ. අප රටට මෙන්ම ලෝකයටද ඉතා අයහපත් බලපෑම් ඇතිවන්නා වූත් වකවානුවකි. තවද මේෂ රාශියේදී සිකුරු බුධ යුරේනස්ගේ යුද සංග්‍රාමයක්ද වේ.
අප රට තුළ භූමිය ආශ්‍රිතව සිදුවන හදිසි විපත් ඛේදජනක බිහිසුණු සිදුවීම් බහුල වේ. විශේෂයෙන් හදිසි නායයෑම්ද ගිලා බැසීම්ද ජල විපත්ද ඇතිවන කාලයකි. ඒ හේතුවෙන් සිදුවන ජීවිත අනතුරුද ජලයේ ගිලීම්ද වාර්තාවන අතර මහමග සිදුවන රිය අනතුරුවල වර්ධනයක්ද ඒ හේතුවෙන් සිදුවන ජීවිත නැතිවීම්ද වැඩිවන කාලයක් වෙයි. අප රට තුළ දැනටමත් ඉතා භයානක ලෙස පැතිර යන කොරෝනා රෝග තත්ත්වය තව තවත් දරුණු බවට පත්වන අතර රෝහල්වල ඉඩ පහසුකම් නැතිවීමෙන් ගැටලු පැනනැගී රටට හා ජනතාවට පීඩාකාරී සමයකට මුහුණදීමට සිදුවේ. කලා ක්ෂේත්‍රයේ කටයුතු කරන අයට මෙන්ම ලේඛන කටයුතු නිරත අයටද පූජ්‍ය පක්ෂයේ අයටද ඉතා අයහපත් ඵල යෙදෙන කාලයක් වනු ඇත.
මීළඟට ඔබට
• මේෂ - හිසේ රෝග
ඔබ කරන කටයුතුවලට බාධා ඇතිවීම් මෙන්ම ශරීර ශක්තියද දුර්වල වන සමයකි. විශාල ලෙස මුදල් යොදවා කටයුතු කිරීම් නොකළ යුතුය. හිස ආශ්‍රිත රෝග හා ශරීර පීඩා නිතර මතුවනු ඇත. වසංගත රෝග වැළඳිය හැක.
• වෘෂභ - සමගියට බාධා
ඔබගේ කටයුතුවලට පිටස්තර අයගෙන් යම් යම් බාධා ඇතිකරන කාලයකි. පවුල් දිවියේද සමගියට බාධාවන් යෙදෙනු ඇත. නිර්මාණශීලී කටයුතුවල නිරත වී සිටින අයටද බාධාවීම් ඇතිවනු ඇත.
• මිථුන - ලැබීම් අවහිර වේ
මෙම වකවානුව තුළ දරුවන් ලැබීමට සිටින අය පරිස්සම් විය යුතු කාලයක් වේ. ඔබගේ ලැබීම් මාර්ගවලටද බාධා වීම් ඇතිවන අතර දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයටද අයහපත් කාලයකි. වසංගත රෝගවලින් පරිස්සම් වන්න.
• කටක - දෙවරක් සිතන්න
ඔබට අයහපත් ඵල අත් නොවන අතර සිතේ සහනය අඩුවන කාලයක් වේ. යම් යම් තීරණ ගැනීමට පෙර දෙවරක් සිතා බැලිය යුතුය.
• සිංහ - සහෝදර ගැටුම්
ඔබගේ කටයුතුවලට විවිධ අයගෙන් බාධාවල් ඇතිවන කාලයක් වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයටද අයහපත් වන කාලයකි. සහෝදර සහෝදරියන් සමග ගැටුම් ඇතිවනවා ඇත.
• කන්‍යා - තැන්පත් ධනය වැයවේ
ඔබට අයහපත් වන කාලයක් වන අතර රිය පැදවීමේදී ඉතා පරිස්සම් විය යුතු කාලයකි. තැන්පත් ධනයද වියදම් වී යන කාලයකි. උණ රෝගවලින්ද පරිස්සම් විය යුතුයි.
• තුලා - මුත්‍රා රෝග
හවුල් කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් වන අතර තම කාලාත්‍රයාටද හදිසි ශරීර පීඩා ඇතිවන කාලයක්ද වේ. මුත්‍රා පීඩාවක්ද ඇතිවේ. රෝගවලින්ද පරිස්සම් විය යුතුවේ.
• වෘශ්චික - සතුරු පීඩා
ඔබගේ කටයුතුවලට විවිධ අයගෙන් බාධාවීම් ඇතිවන අතර සතුරු පීඩාද ඇතිවන කාලයකි. ජලය ආශ්‍රිත පීඩාවක්ද ඇතිවිය හැකි බැවින් පරිස්සම්ද විය යුතු කාලයකි.
• ධනු - දරුවන්ට අයහපත්
විරුද්ධ ලිංගික බැඳීම්වලට බාධාවන් ඇතිවන කාලයකි. සමාජ සේවා කටයුතුවල නිරත වී සිටින අයටද අයහපත් වේ. දරුවකු අපේක්ෂා කරන අයට මෙම වකවානුව අයහපත් වනු ඇත.
• මකර - කොන්දේ අමාරු
භූමිය ආශ්‍රිත ප්‍රශ්න ඇතිවන අතර සිතේ සතුට අඩුවන කාලයක්ද වේ. දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයටද අයහපත් බලපෑම් ඇතිවනු ඇත. පිටකොන්දේ පීඩාවක්ද මතුවීමට ඉඩ තිබේ.
• කුම්භ - කෙටි ගමන්
සහෝදර සහෝදරියන් සමග මත ගැටුම් ඇතිවන කාලයකි. නිශ්ඵල කෙටි ගමන් යෙදෙනු ඇත. පවුල් දිවියේද ප්‍රශ්න ගැටලු මතුවන කාලයක්ද වේ.
• මීන - උගුරේ අසනීප
ආර්ථික ගැටලු ඇතිවන කාලයකි. පවුලේ දිවියේ සමගියට බාධාවීම් ඇතිවන අතර ඔබ කරන කටයුතුවලටද අවහිරතා පැනනගිනවා ඇත. උගුර ආශ්‍රිත පීඩාද මතුවනු ඇත.
ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීන ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල