කුකුල් කොටුවකට පනින්නට ගිය නරියකුගේ වල්ගය කටුකම්බි වැටක පැටළුණේය. කොතෙක් උත්සාහ ගත්තද නරියාට වල්ගය ගලවා ගත නොහැකි විය. වටින් පිටින් හිරුඑළිය වැටෙද්දී නරියා බොහෝ බියට පත්වූයේ කුකුල් කොටු හිමියා පැමිණියහොත් ජීවිතයත් අහිමි විය හැකි බැවිනි.
වාසනාවකට මෙන් හිමිදිරියේම සක්මනක යෙදෙන පශු වෛද්‍යවරයෙක් වැටේ සිරවූ නරියා දුටුවේය. ඔහු අනුකම්පා සිතින් නරියා ගලවා ගත්තේය. ඉන්පසු මෙසේ කීය.
මිස්ට ෆොක්ස්, තමුසෙගෙ වලිගෙ හින්දා තව ටිකෙන් ලොකු කරදරයක්නෙ වෙන්නෙ... මම කැමැතියි උදව්වක් හැටියට වලිගෙ අයින් කරලා දෙන්න. යමු අපේ ගෙදර.
නරියා ඊට එකඟ වූයේ නැත.
අනේ මහත්තයෝ, මගේ ජීවිතේ බේරල දුන්නට බොහොම පින්... ඒත් මට වලිගෙත් නැතුව බෑ. ඒකත් ඔහෙ තිබිච්චදෙන්.
තමුසෙ මෝඩයෙක් නෙවෙයිනෙ මිස්ට ෆොක්ස්, ඔය වලිගෙ අයින් කෙරුවම තමුසෙට කිසිම කරදරයක් නැතුව ඕන වැටක් පැනගත්තැකිනෙ.
අනේ මහත්තයෝ, මේක මට උප්පත්තියෙන්ම ලැබුණු වලිගෙනෙ.... අනික, මගෙ විතරක් වලිගෙ කපල ඇති වැඩක් තියෙනවයැ. අනික් හැම නරියකුටම වලිගයක් තියෙනවනං ඕවා හදිස්සියට, කලබලේට කරන්ඩ බැහැ නෙව... ජානවල ඉඳලම හදන්න ඕන දේවල්නෙ...
එසේ කියූ නරියා අඩියට දෙකට කැලෑවට පැන ගත්තේය.
නරියා කපටියකු බව ඇත්තකි. එහෙත් ඒකා කියූ කතාවේද ඇත්තක් තිබේ නම් ඒ ගැන අප සිතා බැලිය යුතුය.
සමාජයේ පැළපදියම් වී ඇති දෙයක්, එක රුයින් වෙනස් කළ නොහැකිය. එය දැන උගත් අයගෙන් විමසා බලා අහිතකර ප්‍රතිඵල ගෙන නොදෙන ලෙස ක්‍රමානුකූලව කළ යුත්තකි. එසේ නොවන තැන සිදුවන්නේ එකක් කඩතොලු මකන්නට ගිය ඉඳුරුවේ ආචාරියාට වූ දේමය. නැතහොත් එක දෙක වීමය. සිරිලංකාවේ ඇතැම් ආචාරිලාද කලබලේ වැඩ කරන්නට ගොස් අනා ගැනීමෙන් නොනැවතී හත්පොළේ ගා ගන්නා සැටිද අපි දැක ඇත්තෙමු.
කියන දේ නාහන එකා උලේ හිටියත් එකයි පිලේ හිටියත් එකයි යනුවෙන් පැරුන්නෝ කියා ඇත්තේ කට කහනවාට නොවේ. ඒ පිරුළ සනාථ කරන නරි කතාවක්ම කියනු කැමැත්තෙමි.
එක්තරා කැලෑවක සිටි නරියෙක් වැටක් පැනීමට යාමේදී වැරදීමකින් රෙදි නැන්දලාගේ ගෙදර නිල් බඳුනට වැටුණේය.
ආපසු කැලයට ආ නිල් නරියා දුටු සියලු සත්තු පුදුමයටත් බියටත් පත්වූහ. ඒ කාලයේ මේ කැලෑවට වෙනත් කැලෑවක සතුන්ගෙන් තර්ජනයක් වෙතැයි බියක්ද පැවතුණෝය. මහලු සිංහයාද ගිලන්ව පැත්තකට වී සිටි හෙයින් මේ කැලෑවේ සතුන්ටද තමන්ගේ ආරක්ෂාව පිණිස අලුත් රජකුගේ අවශ්‍යතාව දැනී තිබුණි. එහෙයින් ඔවුහු මේ අමුතු නිල් සතාව රජකමට පත්කර ගැනීමට යෝජනා කළහ.
නිල් බාල්දියේ වැටීමෙන් අන්ද මන්ද වී සිටි නරියා මේ යෝජනාවෙන් මහත් සතුටට පත් වූයේය. එහෙත් ඔහුගේ දැන උගත් මිත්‍රයෙක් වූ බකමූණා මෙසේ අවවාද කළේය
නරිහාමි, ඕක නං හොඳ යෝජනාවක් නෙවෙයි. නරියො කවද්ද රජකම් කෙරුවෙ... අනික් අතට රජකම වුණත් තාවකාලිකයිනෙ. පෙන්ෂන් ගත්තට පස්සෙ තමුසෙ ආපහු කුකුල් කොටු පනින්ඩයැ?
එහෙත් නරියා ඊට එකඟ වූයේ නැත. උගේ එහෙයියන් කියා සිටියේ, නරියකුට කලාතුරකින් ලැබෙන මේ චාන්ස් එකෙන් ප්‍රයෝජන ගතයුතු බවය.
ඉතින් නිල් නරියා රජ විය. එහෙත් පා ළඟටම ලැබෙන රාජ භෝජන වළඳමින්, සුපුරුදු කයිවාරු දොඩමින් සිටියා මිස කැලෑවට කළ දෙයක් නැත. මේ අතරවාරයේ මහා වර්ෂාවක් ඇද හැළුණි. නරි රජා එය ගණනකට නොගෙන ඩාන්සින් ඉන් ද රේන් ගීතය ගයමින් වැස්සේ නැටුවේය.
වැස්ස පායන විට නරියාගේ නිල් ආලේපය සේදී ගොස් ඌ පරණ වල් නරියාම බවට පත්වී සිටියේය. මේ බව දුටු සත්තු ඌට පහර දී කැලෑවෙන් පිටතට පන්නා දැමූහ. මෙයින් ගත හැකි එක් ආදර්ශයක් වන්නේ තමන්ට බැරි දේවල් කිරීමට බාරගන්නා අයගේද සායම සේදී යන්නට වැඩි කලක් ගත නොවන බවය.
මිනිසුන්ට ආදර්ශ ගනු පිණිස, සත්ව චරිත යොදාගෙන ලියැවුණු කතාන්දරවලින්, සාහිත්‍යය පිරී ඇත. එහෙත් මිනිස්සු ඉන් වැඩක් ගන්නා බවක් නම් පෙනෙන්නට නැත.
කොරෝනා භීතිකාවත් සමගම මිනිසා මාස්ක් දමාගෙන සත්ව පෙනුමක් සහිතව තම තම නිවෙස්වලට ගාල් වී සිටියදී වනසත්තු මේ මොන පුදුමයක්දැයි දෑස් අයා බලමින් වනයේ නිදහසේ සැරිසරති. ගෙවල්වල සිටින බල්ලෝ පූසෝද තක්බීර් වී තම හාම්පුතාලා දෙස බලා සිටිති.
කොවිඩ් 19 වයිරසය මිනිසාගේම නිර්මාණයක්දැයි මගේ මිත්‍රයෙක් මෑතකදී විමසුවේය. න්‍යෂ්ඨික බෝම්බය නිපදවූයේද මිනිසාම නම් ඔහුට කොවිඩ් 19 නිර්මාණය කළ නොහැකිදැයි මම පෙරළා විමසුවෙමි. මිසයිලය නිපදවන මිනිසාම මිසයිල නාශක මිසයිලද නිපදවයි. එහෙත් සත්ව ලෝකයේ නම් එබඳු විනාශකාරී සමූලඝාතන ව්‍යාපාර නැත.
වනගත ප්‍රදේහයක ගමන් කරමින් සිටි මිනිසකුට බූරුවකු තවත් බූරුවකුට මිනිහෙක් වෙන්ඩ එපා බූරුවෝ යැයි බණිනු ඇසුණි. වහා නතර වූ මිනිසා එසේ බැණ වැදීමට හේතුව කුමක්දැයි විමසීය. බූරුවා මෙසේ කීය.
මේ බූරුවාට කිසිම දෙයක් මතක හිටින්නෙ නෑ. කියන, උගන්නන දෙයක් හරියකට කරන්නෙත් නෑ. හැබැයි බොහොම ලොකු මාන්නයක් නං තියෙනවා. ඒකයි මං මූට මිනිහෙක් වෙන්ඩ එපා කියල බැන්නේ.
බූරුවකු වූ පමණින්. හැම බූරුවෙක්ම බූරු වැඩ නොකරයි. බූරුවා බූරු වැඩ කරන්නේ, මිනිසුන්ගේ කතන්දර තුළ පමණි. මිනිසා එසේ නැත. ඔහු තුළ සෑම සතකුම සැඟවී සිටී. එය දුරු කරවන එන්නතක් තුන් ලෝකයේම නැත.
කපිල කුමාර කාලිංග