ගුරු සටන නොනවතින අරගලයක් බවට පත්වෙමින් ඇත. සමහරු ගුරු සටන තුළින් ගුරු පොකුරු මතුවන තුරු බලා සිටිති. තවත් සමහරු ගුරු සටන මර්දනයට හවුල් වෙමින් තරු පොකුරු ලැබෙන තුරු දෑස් අයා සිටිති.
ගුරු සටනට මුල් වූයේ, හමස් පෙට්ටියට දමා අමතක කරන ලද වැටුප් ප්‍රශ්නයකි. වැටුප් වැඩි කිරීමට නම්, මුදල් තිබිය යුතු යැයි ඇමැතිවරයෙක් කියයි. මුදල් සොයා ගැනීම ආණ්ඩුවේ කාරියකැයි ගුරුවරු කියති.
අතරමගදී අත්අඩංගුවට ගත් ගුරු පිරිසක්, වරාය පොලිසියට ගෙන යාම ගැනද මේ දිනවල නොයෙක අදහස් උදහස් පළ කෙරෙයි.
බොහෝ විට ගුරුවරුනට, වරාය නරඹන්නට ලැබෙන්නේ වාර්ෂික අධ්‍යාපන චාරිකාවකදී පමණි. එහෙයින් මෙය පොලිසිය විසින්, යහපත් චේතනාවෙන් කළ ක්‍රියාවක් වීමටද ඉඩ ඇත. කොළඹත් ඇවිත්, උද්ඝෝෂණයකටත් හවුල් වී, වරායත් බලාගෙන යාම, මැයි දින චාරිකාවකට සමානය. අනික් අතට, සමහරු අනාවැකි පවසන අන්දමට, පෝට්සිටියේ ව්‍යාපෘතියෙන් පසු, ඉදිරියේදී වරාය ප්‍රාන්තයට යාමට වීසා ගැනීමටත් සිදුවිය හැකිය.
එහෙයින්, මේ සංචරණ සීමා කාලේ, කොළඹ වරාය දැකබලා ගැනීමට කෙනකුට අවසර ලැබෙන්නේ නම් ඒ ගැන සතුටු විය යුතු යැයි, කෙනකුට තර්ක කළ හැකිය.
ඉගෙනීම යනු මරණය තෙක්ම කළ හැකි, කළ යුතු දෙයකි. එහෙයින්, ජීවිත කාලය පුරාම අපට ගුරුවරුද හමුවෙති. ජීවිතයම පාසලකි. එහෙයින්, ගුරුන්ගේ සටන දෙස අප බැලිය යුත්තේ, කාලකණ්ණි දෘෂ්ටියකින් නොවේ.
සටනක් දිනිය හැක්කේ එක්සත් වීමෙනි. ලෝකයේ කම්කරුවනට, තම අයිතිවාසිකම් දිනාගැනීම සඳහා එක්සත් වන්නැයි, කාල් මාක්ස්ද කීවේය.
විප්ලවයෙන් පසු, සෝවියට් දේශයේ අගමැතිව සිටි ජෝෂප් ස්ටාලින්ද, මාක්ස්ගේ අනුගාමිකයෙකි. සිරි ලංකාවේ අපටද ජෝෂප් ස්ටාලින් කෙනෙක් සිටී. ඔහු ගුරු සටනට සහභාගි වන ලංකා ගුරු සංගමයේ ලේකම්ය.
ගුරු ස්ටාලින් වෘත්තීය දේශපාලනඥයකු නොවුණත්, ඔහුට ඔවුනගෙන් ගත හැකි ගුරුහරුකම් බොහෝය. ලංකාවේ කම්කරුවන් එක්සත් නැතත්, දේශපාලකයෝ නම් අවශ්‍ය තැනදී එක්සත්ය. වැටුප් වැඩිකර ගැනීම, වාහන ලබාගැනීම වැනි ප්‍රශ්නවලදී ඔවුහු එකා මෙන් කටයුතු කර, තම ඉල්ලීම් දිනා ගත්හ. ආර්ථික අර්බුදයට මුහුණ දීමේදී, මුදල් අච්චු ගසා හෝ ඒ ප්‍රශ්න විසඳාලූහ. එසේ නම්, රටක අනාගතය කරපින්නාගෙන සිටින ගුරුවරුනට ලැබිය යුතු වැටුප දීම සඳහා, සල්ලි ටිකක් අච්චු ගසා දිය නොහැකි මන්දැයි කෙනකුට සිතෙන්නට පුළුවන.
අවාසනාවකට මෙන්, එබඳු සිතිවිලි සිරි ලංකාවේ අධ්‍යාපන ඇමැතිටවත්, මුදල් ඇමැතිටවත් පහළ වන්නේ නැති සේය. අනික් අතට, තම වැටුප ඉක්මවා, ගුරු වැටුප ඉහළ යාමෙන් අනවශ්‍ය ආර්ථික අර්බුදයක් ඇතිවෙතැයි ඔවුන් බියපත් වෙනවාද විය හැකිය.
සමහරුන්ගේ මතය වී ඇත්තේ, පාර්ලිමේන්තුවේ සිටින වැඩි දෙනා නූගතුන් බැවින්, ඔවුන්ට ගුරු ප්‍රශ්න අදාළ නැති බවය. මෙය පිළිගත හැකි මතයක් නොවේ. පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කර යවන්නේ මහජනතාවය. සිරි ලංකාවේ ජනතාව එබඳු මන්ද බුද්ධිකයන් යැයි කීම උඩ බලා කෙළ ගසා ගැනීමක් බඳුය. එය එසේ නම්, සාක්ෂරතාවය යනු, කතිරයක් ගැසීමට දැන සිටීම පමණකි.
ඒ කෙසේ වෙතත්, රටක පාලකයන්ගෙන් පිළිබිඹු වන්නේ ඒ රටේ මහජනතාවගේ නොව බහු ජනතාවගේ .තරම බව, අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ. බහු ජනයාගේ තෝරාගැනීම, සකල ජනයාට විඳින්නට සිදුවීම, නොකළ පාප කර්මයක් පඩිසන් දීමක් බඳුය.
බොහෝ මැති ඇමැතිවරුන්ගේ නිවාසයන්හි, සවස් කාලයට, ඔවුනගේ ගෝල බාලයන් සමඟ මධුසාද පැවැත්වීම සාමාන්‍ය චාරිත්‍රයකි. මෑතකදී එබඳු චාරිත්‍රයක් ඉටු කෙරෙන ස්ථානයකදී, වියතෙක් ලෙස සැලකුනු පාක්ෂික හිතවතෙක්, ඇමැති අමතා මෙසේ කීය.
සර්, ගුරු සටන නවත්තන්න හොඳ ක්‍රමයක් තියෙනවා.
ඉතින් අයිසේ, ඒක මට නොකියා, අරුන්ට හාබර් බත් දෙන කල් බලං හිටියෙ ඇයි?
දෙක තුනක් නවාගෙන සිටි ඇමැති ගිගිරුවේය.
මම ටිකක් පහු ගැහුවේ, ඒක සෞභාග්‍ය ක්‍රමේ ලියල නැති නිසා..
දුර්භාග්‍යයේ හරි කමක් නෑ. වැඩක් ගන්ඩ පුළුවන් ක්‍රමයක් නං කියනවා.
ඒක ජේ.ආර්. ගෙ ක්‍රමේ සර්. කමක් නැද්ද මන්දා.
ඒකට මක් වෙනවද? දැන් අපි කරන තරමක් කරන්නෙ අනුන්ගෙ ක්‍රමනෙ. ජේ.ආර්. ගෙ ක්‍රමෙත් කොරලා බලමු.
ඇමැති සිනාවක් පෑවේය.
මෙහෙමයි සර්.. වර්ජනය කරන ගුරුවරු සේරම අස් කරල, අලුතෙන් ගුරුවරු පත් කරනවා.
ඒ ඇසූ ඇමැති හිස කැසුවේය.
ඉන් පසු ඇස් ලොකු කර, සිනාවක් පෑවේය.
අයිසේ, ඒක නං නියම වියත් අයිඩියා එකක්.
ඇමැති උඩ පැන, වියත් ගෝලයා වැළඳ ගත්තේ, ඔලිම්පික් පදක්කමක් දිනාගත් කලක මෙනි.
කපිල කුමාර කාලිංග