2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

කුණු කන්ද සල්ලි කන්දක් කරගන්න පුළුවන්

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 136

ලෝකයේ කසළ කන්දකට යටව මිනිසුන් මියගිය රටක් ලෙස මින්පෙර සඳහන්ව තිබුණේ ඉතියෝපියාවය. ඒ ගොඩට ලංකාවද එකතු වූයේ මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙනි.අධිකරණ නියෝගයක් මත බ්ලූමැන්ඩල් කසළ 2008 සිට මීතොටමුල්ලට රැගෙන ආවේ මාස කිහිපයකට බව සඳහන් කරමිනි. ඒ කසළ කළමනාකරණ සැලසුම් ක්‍රියාත්මක කරගැනීමට අවශ්‍ය කාලය ලබාගැනීමටය.

කෙසේ නමුදු අද වන විට අවුරුදු 7ක් ගතවන විට කසළ කන්ද කඩා වැටී අවසානය. එහෙත් විසඳුමක් නැත.

අප සිටි තැනට කුණු ආවා මිසක අපි කුණු කන්ද අසලට ගියේ නැහැ. ප්‍රදේශවාසීන් කියන කතාව ඇත්තකි. කෙසේ වුවද දැන් සියල්ල විසඳීමට කාලය පැමිණ ඇත. කුණු යනු සම්පතක් යන තේමාවේ සිට ක්‍රියාත්මක වීම අවශ්‍යය. එයට හොඳම උදාහරණයක් ලෙස තුන්වැනි ලෝකයේ රටක් වන නයිජීරියාව හඳුන්වා දිය හැකිය. කසළ කළමනාකරණය ඉහළින්ම සිදුකරගෙන යන රටක් ලෙස සම්මාන පවා එරටට හිමිව තිබේ. එහි ගෞරවය රටේ නායකයන්ටත් වඩා හිමිව ඇත්තේ බිලිකිස් අඩෙබි නම් ඉංජිනේරුවරියටයි. ඇයගේ පූර්ණ සංකල්පයක් අනුව පෞද්ගලිකව ඇරඹූ මෙහෙයුමකින් කසළවලට යට නොවී ඒ රට කසළවලින් බේරාගැනීමට ඇයගේ වැඩපිළිවෙළට හැකි විය. අප රටටද අවශ්‍ය වන්නේ එවැනි කාර්යක්ෂම කසළ කළමනාකරණයකි.

ලෝකයේ ඉතා විශිෂ්ට ලෙස කසළ කළමනාකරණය කරනුයේ ආසියාතික රටවල් තුනකි. ඒ සිංගප්පූරුව, දකුණු කොරියාව සහ ජපානය යන රටවල්ය. කසළවලින් බලශක්තිය ලබාගැනීමට 1979 තරම් ඈත අතීතයකදී සිංගප්පූරැව සමත් විය. නමුත් 2017 වන විට ශ්‍රී ලංකාවට අඩුම තරමින් කසළ කළමනාකරණය කරගැනීමටවත් හැකියාවක් නැත. ඒ කසළ කඳුවලට යටව මිනිසුන් මියයනතුරු මේ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමු නොකෙරිණි.

පසුගිය කාලය තුළදී කිහිප වතාවක් විවිධ රටවලින් පැමිණ මෙම කසළවලින් ප්‍රයෝජන ගත හැක්කේ කුමන ආකාරයකටදැයි කියා පර්ෙය්ෂණ කර ඇත. කැනේඩියානු පෞද්ගලික සමාගමක් සහ ජර්මන් සමාගමක් එසේ පර්ෙය්ෂණ සිදුකර අවසානයේ රජයට සියලු වාර්තා ඉදිරිපත් කර ව්‍යාපෘතියට අවසර ඉල්ලා තිබූ බවත් ඇතැම් මැති ඇමැතිවරැන් කොමිස් මුදල් ඉල්ලීම නිසා ඒවා නොලැබී ගිය බවත් සඳහන් වේ. විදෙස් සමාගම් දෙකෙන්ම කසළවලට මිලක් නියම කර ලබාගෙන සියලු කටයුතු මෙහෙයවූවා නම් අද රටේ කිසිම තැනක මෙසේ විපත් සිදුනොවන්නටත් අපිරිසුදු පරිසරයක් දැකගැනීමටත් ඉඩක් නොලැබිමටත් ‍තිබිණි.

මේ හේතූන් සහ දැනට උද්ගතව තිබෙන කසළ කළමනාරණ වැඩපිළිවෙළ පිළිබඳවත් කසළවලින් ලබාගත හැකි ආර්ථික වාසි කවරේද යන්න ගැනත් සොයා බැලීමට මොරටුව විශ්වවිද්‍යාලයේ නගර සහ ග්‍රාම නිර්මාණ අංශයේ මහාචාර්ය ආර්.කේ.එස්. මහානාම සමඟ කතා කළෙමු.

ඔහුගේ අදහස ආර්ථිකයට මෙම කසළ කළමනාකරණය තුළින් විශාල සහායක් ලබාගැනීමටද හැකියාවක් ලැබෙන බවයි. නමුත් එය නිශ්චිතව මෙසේ යැයි සංඛ්‍යාත්මකව දැක්විය නොහැකි බවත් ඔහු සඳහන් කරයි.

නිෂ්පාදනයත් පරිභෝජනයත් අතර ඉතිරිවන කොටස කසළ ලෙස අපි නම් කරනවා. එහිදී මෙම කිසිම පරිභෝජන භාණ්ඩයක් 100%ක් ප්‍රයෝජනයට ගැනීමක් සිදුකරන්නේ නැහැ. පාරිභෝගිකයකු ගෙදර ගෙන එන කිරි පැකට්ටුවක ඇසුරැම් දෙකක් පවතිනවා. නමුත් අප එයින් භාවිත කරන්නේ පිටි පමණයි. එය බොහෝවිට කරන්නේත් වෙනම බෝතලයක දාගෙනයි. එවැනි පුංචි කාරණා නිසා තමයි පසුව ලොකුවට මේ ආකාරයට කසළ ගොඩගැසීම වෙන්නේ. 

අන්න එවැනි දේ ගෘහස්ත මට්ටමින් නතර කිරීම තුළ කසළ ප්‍රමාණය අඩුකරගත හැකියි. ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළක් ලෙස ප්ලාස්ටික් සහ පොලිතින් නොවන වෙනත් නිෂ්පාදන රුසක් ගත හැකියි. මූලික වශයෙන් ගත්තම අපට පුළුවන් පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය ප්‍රමාණාත්මකව සෙමින් පරිභෝජනය කිරීමෙන් වළකින්න. ප්ලාස්ටික් බෝතල් වෙනුවට වීදුරු බෝතල් භාවිත කරන්න. පොලිතින් භාවිතය අඩු කරන්න. ප්‍රයෝජනයට ගත් පසු නැවත ඒවා පරිසරයට එක් නොකර විනාශ කර දමන්න. 

ලංකාවේ පමණක් නොව, ඕනෑම රටක කුණු කන්දක් අසල වෙසෙමින් එයින් ජීවිතය ගැට ගහගන්න මිනිසුන් ඉන්නවා. ඒ කුණුවලින් යම් දේවල් නිෂ්පාදනය කරන හෝ ඒ කුණු නැවත ප්‍රභේද ලෙස එකතු කර අලෙවි කරන අයයි. මෙම කසළවල මූලිකවම ආර්ථික වටිනාකමක් තියෙනවා. එම ආර්ථික වටිනාකම් මතුකර ලබාගත හැකි ආකාර තියෙනවා. අන්න ඒ ආකාර දැනගෙන සිටින පිරිස මෙම ආර්ථික ඵල ප්‍රයෝජන ලබාගන්නවා.

මහාචාර්යවරයා තමන් දන්නා පුද්ගලයකු සම්බන්ධයෙන් පවතින උදාහරණයක් සඳහන් කළේය.

ඔහු පී.වී.සී. බට කැබලි එකතු කරලා නැවත පී.වී.සී. බට හදනවා. හැබැයි මිනිස් අවශ්‍යතාවට ඒවා නුසුදුසු නිසා ඔහු කරන්නේ කෘෂිකාර්මික කටයුතුවලට ඒවා ඉතා අඩු මිලකට අලෙවි කිරීමයි. ඔහුට ඒ සඳහා පුංචි කර්මාන්ත ශාලාවක් පවා තියෙනවා. මට ඔහු කතා කළා තව මැෂින් එකක් අවශ්‍ය බව කියන්න. රජයෙන් ආධාරයක් අරගන්න පුළුවන්ද අහලා. නමුත් රජයෙන් ඔවුන්ට දිරිදීමක් සහයෝගයක් නෑ.

මූලිකවම අපට ආර්ථික වටිනාකමක් ලැබෙනවා කියන්න බැරිවුණත් මෙහිදී අපට ආර්ථික වාසි ලබාගැනීමට හැකියි. අපි රජයකට බදු ගෙවනවා. ඒ වගේම සමහර වෙලාවට කුණු රැගෙන යන්න එන අයට වෙනම මුදලක් ලබාදෙනවා. නමුත් අපිම සිතාමතා මෙම කුණු වෙන වෙනම වෙන්කර අපේම නිවෙස් තුළම කළමනාකරණය කරගැනීම තුළ ආත්ම තෘප්තියක් පවා ඇතිවෙනවා. කාබනික ද්‍රව්‍ය පරිසරයට මුදාහරින්න පුළුවන්. අකාබනික ද්‍රව්‍ය නගර සභාවට බාරදිය හැකියි. එවිට කසළ කඳු හටගන්නේ නැහැ. 

මෙය සැමදෙනාම එකමුතුව සිදුකළ යුතු දෙයක්. කුණු කසළ ප්‍රශ්නය නිසා රජයේ මුදල් කොපමණ වියදම් වෙනවද? කොළඹ කර්මාන්ත ශාලා තමන් භාවිත කරන කිසිම ද්‍රව්‍යයක් 100%ක් ප්‍රයෝජනයට ගන්නෙ නැහැ. හොඳම උදාහරණය රෙදි කැබැලි. ගාමන්ට් එකකින් කැපුණු රෙදි කැබලි ටොන් ගාණක් කසළ ගොඩට එකතු වෙනවා. හැබැයි ඔවුන් ඒ රෙදි කැබලිවලිනුත් යම් නිෂ්පාදනයක් කිරීමට උනන්දු වෙනවා නම් එය ඔවුන්ටත් රටටත් ආර්ථික වාසියක්.
මෙම කසළ ප්‍රශ්නයට හේතුවන්නේ අපේම දේවල්. නමුත් නිවසින් බැහැර වූ පසු එය පොදු කසළ. පෞද්ගලිකත්වයක් නැහැ. බදු ගෙවන්නේ මේවාට තමයි යන වචනය තමයි කසළ බැහැර කරන අය සඳහන් කරන්නේ. නමුත් මේ කසළ අපේ රටම තුළ ප්‍රධාන වශයෙන් ආර්ථික වාසි ළඟා කරගත හැකි ලෙස යොදාගත හැකි ක්‍රම තුනක් තියෙනවා.

නැවත  පරිහරණය (ප්‍රතිචක්‍රීකරණය)
කොම්පෝස්ට් පොහොර සෑදීම.
බලශක්තිය නිපදවීම.

මෙම ආකාර තුනෙන් බලශක්තිය නිපදවීම අපේ රටේ ක්‍රියාත්මක කරන්න බැහැ. ස්විඩනයේ &මැල්මෝ* නගරයේ තියෙනවා මෙසේ කසළවලින් බලශක්තිය නිපදවන කර්මාන්ත ශාලාවක්. එහෙත් ඊට අවශ්‍ය ප්‍රමාණයට දැන් කසළ ලබාගැනීමට නොහැකියාවක් උද්ගතවෙලා. කසළ බලශක්තිය නිපදවා ගැනීමට යොදාගන්නවා කියන්නේම කසළ හීන වී යාමක්. එවිට මෙසේ කුණු කන්දක් නිර්මාණය වන්නේ නැහැ. අපේ රටට හොඳම ගැළපෙන ක්‍රම තමයි අනෙක් ක්‍රම දෙකට අනුගත වීම. ඉතා විශාල කර්මාන්ත හෝ විශාල ව්‍යාපෘතිවලට නොයා ඉතාම සරල ක්‍රමවලින් මෙම ප්‍රශ්නය විසඳාගැනීම තමා සුදුසු වන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරනවා කුණු නිෂ්පාදනය නොකිරීමට වගබලා ගන්න. කියලා. එය අනුගමනය කිරීමෙන් සියලුම ප්‍රශ්න විසඳාගත හැකියි. නමුත් මෙහි අදහස තමන්ගේ කුණු ගැන තමන්ම වගබලා ගැනීමයි. මෙම ක්‍රමය ඈත අතීතයේ ගැමි ජනයා පාරම්පරිකව ඉටුකරගෙන තිබුණා. එනම් කොම්පෝස්ට් කොටුවක් හෝ වළක් ගෙවත්තේ සකස් කිරීමත්, අකාබනික ද්‍රව්‍ය ඊට එකතු නොකිරීමත්, මෙම ද්‍රව්‍ය වැසි ලැබෙන්න පරිසරය සකස් වන විට ඊට පෙර පුළුස්සා දැමීමත් යන ආකාරයට. මෙම කාරණා අද වන විට බැහැර කිරීම තුළ පැන නැගුණු ප්‍රශ්න ඉතා විශාලයි. නැවත අපි ඊට හැඩගැසිය යුතු වෙනවා.

රාජ්‍ය අංශය මෙම කුණු කළමනාකරණයේදී ඉතා දුර්වල බවත් ලෝකයේ පවා මේවා සිදු කරන්නේ පෞද්ගලික අංශය බවත් මහාචාර්යවරයා කියයි. 

රාජ්‍යයට පුළුවන් අනුග්‍රහය ලබාදෙන්න. දැනටමත් පෞද්ගලික අංශය ක්‍රියාත්මක වෙනවා ලංකාව තුළත්. හැබැයි ඔවුන්ට වටිනාකමක් නැහැ. බෝතල් පත්තරකාරයන් කියන්නේ ඔවුන්. ඔවුන්ට ජාලයක් තියෙනවා. දවසකට රැපියල් 5000ක්, 6000ක් ඔවුන් ආදායම් ලෙස ලබනවා. දැනට ඔවුන් ඉතා සීමිත භාණ්ඩ ප්‍රමාණයක් තමා වර්ගීකරණය කරලා ලබාගන්නේ. නමුත් රජය ඔවුන් දිරිමත් කරලා එම රැකියාවට වටිනාකමක් ලබාදිය යුතුයි. ඔවුන් තමා කසළවලින් වැඩිම ආදායමක් ලබන්නේ. ලංකාවේ සියලු ගම් නියම්ගම්වල ඔවුන් සැරිසරලා මෙම ව්‍යාපාරය කරනවා. මම පෙර සඳහන් කළ බිකිලිස් අඩෙබි කියන ඉංජි නේරුවරියද මුලින්ම පාපැදි කීපයක් අරගෙන රජයෙන් කුණු එකතු නොකරපු පළාත්වලට ගිහින් තමා කසළ එකතු කළේ. ඒ වනවිටත් නයිජීරියා රජය 40%ක තරම් ප්‍රමාණයක් තමයි කසළ එකතු කරන්නෙත්. ඇය ඉංජිනේරැවරියක්. හැබැයි සමාජ මෙහෙවරක් කරන ගමන් ව්‍යාපාරයක් ලෙස කසළ එකතු කිරීම ආරම්භ කළා. අද බලශක්තිය නිපදවන්නේ මෙම කුණු මගින්. කසළ මුදල් දී ලබාගැනීමක් තමයි සිදුවන්නේ.
ඉතා විශාල මහා පරිමාණ වශයෙන් නොව, කුඩා නිවාසවලින් මෙය ආරම්භ කළ යුතුයි. ග්‍රාමසේවා වසම්වලින් ආරම්භ විය යුතුයි. එසේ නොහැකිව ප්‍රාදේශීය සභාව හෝ නගර සභාවට කසළ බාරදෙනවා නම් මුදලක් අය කළ යුතුයි. එවිට මෙම කසළ ප්‍රශ්නය විසඳීම වගේම ආර්ථිකයද යහපත් වන්නට හැකියි.

 නුවන් හෙට්ටිආරච්චි
සේයාරූ | සුමුදු හේවාපතිරණ  
      

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00