2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

පුතාලා මැඳුරුවල තාත්තා ලෑලි මඩුවක

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 161

පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදි නම් අපගේ ප්‍රවීණ ගායන ශිල්පියකු විසින් ගායනා කරන ගීතයක කොටසකින්ම මෙම ලිපිය ආරම්භ කරන්නට සිතුවේ වර්තමානයේ දරුවන් තුළ සැබෑ පිය සෙනෙහස, මවු සෙනෙහස යන මේ ගුණාංගයන් පවතීද යන්න අප තුළ මතු වූ ගැටලුකාරී තත්ත්වය නිසාය. කුඩා කල කවා පොවා ඇතිදැඩි කළද ඇඟපත උස් මහත් වී වයසින් මුහුකුරා යත්ම ඇතැම් දරුවන්ට මාපියන් අමතකව යන අතර මෙහි වඩාත් ඛේදනීයම තත්ත්වය වන්නේ තම වියපත් මාපියන්ට සතුන්ටත් අන්ත ආකාරයෙන් සැලකීමට ඔවුන්ගේ ලෙයින්ම උපන් දරුවන් කටයුතු කිරීමය.

පසුගියදා අපට එවන් පුවතක් අසන්නට ලැබුණේ හලාවත ප්‍රදේශයෙනි. ඔත්පලව සිටින සිය පියා ලෑලි මඩුවක රඳවා අමානුෂික ලෙස සැලකූ බව කියන පුතුන් දෙදෙනකු සැකපිට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව පියාගේ කටඋත්තරය මත ඔවුන් නිදහස් කෙරිණ.

තම මහලු මාපියන්ට දරුවන් සලකන ආකාරය පිළිබඳව පසුගිය කාලය පුරාවටම වාර්තා වූයේ යහපත් තොරතුරු නම් නොවේ. වියපත් වූ, රෝගාතුර වූ තම මවුවරුන්, පියවරුන් නිවසේ කාමරවල සිරකර තැබීම, මහලු මඩම්වලට ගෙන ගොස් දැමීමේ සිට මහ මඟට අතහැර පලායාම දක්වාම මෙම තත්ත්වය වර්තමානය වන විට දරුණු වී ඇත.

විටෙක අපට දිවයිනේ එක්තරා ප්‍රදේශයකින් වාර්තා වූයේ නිවසේ සුරතල් සතුන් සුවපහසු ඇඳ මෙට්ටවල වැතිරෙද්දී වැඩිහිටියන් හට පැදුරු කඩමාල්ලක් පමණක් උරැම වූ බවයි. මෙය කන්ද උඩරට ප්‍රදේශයේ සිදුවූ සිදුවීමක් වූ අතර බොහෝවිට මෙවන් තොරතුරු හෙළි වී තිබුණේ අසල්වාසීන් හරහාය.

මව්අපියන්ට නොසලකා හැරීම සම්බන්ධයෙන් තවත් ශෝකජනක සිදුවීමක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අපට වාර්තා වූයේ මීට කලකට ඉහතදීය. මෙහිදී දියණිය විසින් තම රෝගී වූ පියා හට ඉන්නට ඉඩ සලසා තිබුණේ නිවසේ ඌරැ කොටුවට ආසන්නයෙන් පිහිටා ඇති කාමරයකි. අසල්වැසියකු විසින් ලබාදුන් දුරකතන ඇමතුමකට අනුව පොලිස් නිලධාරීන් හට එම අසරණ පියා එම තත්ත්වයෙන් මුදාගැනීමට හැකි වූ අතර මෙහිදී අත්අඩංගුවට පත් දියණිය කියා සිටියේ පියා රෝගී බව හේතුවෙන් එලෙස කාමරයක දමා වසා දමන්නට සිදුවූ බවය.

වයස්ගත වන විට නොයෙක් ආකාරයේ ලෙඩරෝග හටගැනීම සාමාන්‍යයෙන් සිදුවන්නක් වුවද රෝගී වූ පමණින්ම එම රෝගී වැඩිහිටියන් මෙලෙස කාමරයක් තුළ සිරකර තැබීම කොතරම් දුරට සාධාරණදැයි අප මෙතැනදී අවධානය යොමුකළ යුත්තකි. ඇතැම් රෝග තත්ත්වයන්වලදී එම වයස්ගත රෝගීන් හැසිරෙන්නේ හිතුවක්කාරී ස්වභාවයකිනි. මෙවන් අවස්ථාවකදී එම රෝගීන් එකතැන රඳවා තබාගැනීම පවා අපහසු වේ. බොහෝවිට එවැනි රෝගීන් කාමරවල දමා වසා දැමීම රෝගියාගේ ජීවිතයට එක් අතකින් ආරක්ෂාවක් සලසන අතර මෙම වසා දැමීම අමානුෂික වන්නේ එම රෝගියා ගැන සොයා නොබලා ඔහුට ජරාජීර්ණ ස්වභාවයේම ජීවත්වන්නට සැලැස්වීමයි. 

හලාවත ප්‍රදේශයෙන් අපට පසුගියදා වාර්තා වූ සිදුවීමේදී ද තම රෝගී වූ පියා පුතුන් දෙදෙනා විසින් දමා තිබුණේ එවන් ජරාජීර්ණ ස්ථානයකය.

හලාවත රඹේපිටිය ප්‍රදේශයේ සුවිසල් මැඳුරු දෙකක් ආසන්නව පිහිටි ලෑලි මඩුවක වියපත් පුද්ගලයකු ඉතා අසරණ අන්දමින් ජීවත්වන බවට හලාවත පොලීසියට තොරතුරු ලැබුණේ ප්‍රදේශවාසීන්ගෙනි. තොරතුරු ලැබී වහාම පොලීසිය එම ස්ථානයට පැමිණි අතර එහි ගිය නිලධාරීන් හට දැකගත හැකිවූයේ මළමුත්‍රා කරගෙන ඉතා අපිරිසුදු තත්ත්වයෙන් සිටින වයෝවෘද්ධ පුද්ගලයෙකි. ඒ වනවිටත් මෙම පුද්ගලයා ඉතා අසීරුවෙන් සිට ඇති අතර කරුණු අනාවරණය කරගැනීමේදී දැනගන්නට ලැබී ඇත්තේ ලෑලි මඩුවක සිටින්නේ අදාළ මහල් නිවසේ හිමිකරුගේ පියා බවය. පියාට අමානුෂික ලෙස සැලකීම හේතුවෙන් ඔහුගේ පුතුන් දෙදෙනා අත්අඩංගුවට ගත් අවස්ථාවේ වයෝවෘද්ධ පියා පොලීසියට පවසා ඇත්තේ පුදුම සිතෙන කතාවකි. එයනම් තමා ලෑලි මඩුවේ සිටින්නේ සිය කැමැත්තෙන්ම බවය. මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තමන් මෙලෙස ලෑලි මඩුවක දිවිගෙවීම සම්බන්ධයෙන් පුතුන්ගේ අතේ වරදක් නැති බවත් ඔවුන් තමන්ට හොඳින් සලකන බවත්ය.

මෙහි වඩාත් කනගාටුදායකම කරුණ වන්නේ පියා මෙලෙස ප්‍රකාශ කළත් සැබෑ තත්ත්වය එය නොවීමය. ඒ බව හලාවත පොලීසිය මගින්ද තහවුරු කරගෙන ඇත. තම පුතුන් නීතියේ රැහැනට හසුවෙතැයි බියෙන් ඔහු මෙසේ කියනවා වන්නටද පුළුවන. හලාවත පොලීසියේ වැඩබලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩබ්ලිව්.ඩබ්ලිව්. කුමාරසිරි මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ දරුවන් තමන්ට නොසලකා කොතෙක් හිරිහැර කළද ඔවුන්ට වෛර කිරීමට හෝ ඔවුන් පාවාදීමට මවුපියන් ඉදිරිපත් නොවන බව මෙම සිදුවීමෙන් පසක් වන බවය.

අදාළ පියා පොල්වත්තක හිමිකරුවෙක් වන අතර මෙම පොල්වත්තෙන් ලැබෙන ආදායමද පියාට නොදී දරුවන් දෙදෙනා විසින් බෙදාගන්නා බවද පොලීසියට කරුණු අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතරු විමසීමට අදාළ මහලු පියාගේ එක් පුත්‍රයකු හට දුන් දුරකතන ඇමතුමකදී ඔහු එයට ප්‍රතිචාර දැක්වූ ආකාරය ලිපියේ ඇතුළත් කළ නොහැක්කේ එම වචන මෙහි සඳහන් කළ නොහැකි නිසාය. මෙම මහලු පියාගේ එක් ලේලියක් දිනක් තම මාමණ්ඩියට පහර දුන් බවට මුලදී ප්‍රදේශවාසියකු ප්‍රකාශ කළද මේ වන විට ඒ සම්බන්ධයෙන් කතා කිරීමට කිසිවකුත් ඉදිරිපත් නොවන්නේ යම්කිසි බියවැද්දීමක් නිසා වන්නටද පුළුවන. කෙසේ වෙතත් පුතුන් දෙදෙනා මහලු පියා රැකබලා ගැනීමට පොලිස් නිලධාරීන් ඉදිරියේ පොරොන්දු වූ අතර ඔවුන් විසින් සිය පියා රැගෙන ගොස් ඇත.

වර්තමානයේදී දරුවන් මාපියන්ට නොසලකා හැරීම් සම්බන්ධයෙන් මේ ආකාරයේ නොයෙකුත් සිද්ධීන් වාර්තා වන අතර මාපියන් දරුවන්ගෙන් නඩත්තු ඉල්ලීම දක්වාම එම කාරණා දුරදිග ගොස් ඇත. මෙය සෑම දරුවකුටම පොදු වූ කරුණක් නොවන අතර සමස්තයක් වශයෙන් ගත් විට ඇතැම් දරුවන්ට අද මාපියන් අතහැරුණු සාධකයක් බවටම පත්වී ඇත. මාපියන්ගේ දේපළ තමා සතු කරගන්නා තුරු ඇතැම් දරුවන් මාපියන්ට සලකන බවක් පෙන්වන අතර දේපළ අත්පත් කර ගැනීමෙන් අනතුරුව මේ බහුතරයකටම මාපියන් යනු කරදරකාරී හැඟීමකි. එම හැඟීමත් සමඟ එතැන් පටන් එම මාපියන්ට සිදුවන්නේ ඉතා ශෝචනීය තත්ත්වයන්ට මුහුණපාන්නට සිදුවීමය. සමාජය පහත් මට්ටමකට ගෙන යාමට මෙවන් සාධක හේතුවන බැවින් ඉතා නුදුරේම ඒවා සමාජයෙන් බැහැරව යා යුතුය. වැඩිහිටියන් සම්පතක් ලෙස සලකා නිරතුරුවම ඔවුන් රැකබලා ගත යුතුය.

 හේමමාලා කුමාරි රාජකරුණා

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00