පළමු ලෝක මහා සංග්‍රාම සමයේ අමෙරිකාවේ ජනාධිපතිව සිටියේ තෝමස් වුඩ්රෝ විල්සන්ය. අමෙරිකානු ආර්ථික ප්‍රතිපත්තියට නව මුහුණුවරක් ලබා දීමට මුල් වූ ඔහු, දක්ෂ කථිකයෙක් ලෙසද ප්‍රකටව සිටියේය. එක් අවස්ථාවක, පත්‍ර කලාවේදියෙක් ජනාධිපති විල්සන්ගෙන් මෙසේ ඇසුවේය.
''මිනිත්තු දෙක තුනක කතාවකට සූදානම් වීමට ඔබට කොපමණ කාලයක් අවශ්‍ය වෙනවාද?''
''සති දෙකයි.''
''පැයක් දිග කතාවකට?''
''සතියයි.''
''පැය දෙකේ කතාවකට නං..?''
''දැන් වුණත් මං ලෑස්තියි.''
කතා පැවැත්වීම ගැන දිග කතාවක් මේ කෙටි කතාවෙන් කියැවේ.
කතාවක් නැතහොත් දේශනයක් පැවැත්වීම සඳහා කල් ඇතිව, මනාව සූදානම් වීම, ඕනෑම දක්ෂ කථිකයකුගේ ලක්ෂණයකි. කලකට පෙර මෙරට සිටි දේශපාලනඥයෝද, පාර්ලිමේන්තුවට පවා ගියේ හොඳින් සූදානම් කරගත් කතා පිටපත් අතැතිවය. ඒ නැතත්, බුද්ධිමතුන් වූ ඔවුනට, සූදානමක් ඇතිව හෝ නැතිව, - වුඩ්රෝ විල්සන් කියුවාක් මෙන් - පැයක දෙකක කතාවක් හෝ පැවැත්වීමේ හැකියාව තිබුණි.
වර්තමානයේ නම්, දේශපාලනඥයන්ට නොව ඕනෑම කෙනකුට කතා පැවැත්වීම පහසුය. ජනාධිපතිවරුන් පවා දේශනා පවත්වන්නේ, “ටෙලි ප්‍රොම්ටින්” නමින් හැඳින්වෙන තාක්ෂණික සහාය ලබමිනි. ඉදිරිපස හෝ දෙපසින් තිරයක ප්‍රදර්ශනය වන කතාව දකිමින්, කතා කිරීමේ පහසුව එමගින් ඔවුනට සැලසේ. කතා පිටපත්, කල් ඇතුව සකසා දීමට මාධ්‍ය උපදේශකවරුද සිටිති.
මේ නිසා එදා මෙන් අද කාලේ කතා රසවත් නැත. වේගවත් නැත. ප්‍රාණවත් නැත. “ඥාන කතා” වෙනුවට ඇත්තේ මෝඩ කතාය, කවට කතාය, පිස්සු කතාය.
එදා, එන්.එම්.ලා, පිලිප්ලා, කොල්වින්ලා කතා කරනු අසන්නට ගියේ, ඔවුන්ගේ පාක්ෂිකයන් පමණක්ම නොවේ. දේශපාලන රැස්වීම්වල කෙරුණු කතාවලින් බොහෝ දේ උගන්නට ලැබුණි. ඇතැම්විට, සභාවෙන් කිසියම් බාධා කිරීමක්ද සිදුවෙයි. එහෙත් ඉන් නොසැලෙන, නොකිපෙන කථිකයන්, ක්ෂණික, උපහාසාත්මකව දෙන පිළිතුරුවලින්, සභාව සිනා සාගරයක් බවට පත් වෙයි. නොනවතින අත්පොළසන් නැගෙයි.
ජේ.ආර්. ජයවර්ධන දක්ෂ කථිකයෙක් නොවූයේය. එහෙත් ඔහුගේ අමුතු සිංහල යෙදුම් සහිත කතාවටද, අසන්නෝ ප්‍රිය කළහ. අගමැති බණ්ඩාරනායක, අධ්‍යාපනය හමාර කොට ලංකාවට ආ කාලයේ, සිංහල කතා කළේ, වචන අහුලමිනි. එහෙත් ඔහු ඉතා ඉක්මනින්ම දක්ෂතම සිංහල කථිකයකු බවට පත්වූයේ, “ආසියාවේ රන්දිව” නමැති විරුදාවලියද ලබමිනි.
රණසිංහ ප්‍රේමදාස, ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි හා මහින්ද රාජපක්ෂ වැන්නෝද කතාවෙහි හපන්නුය. රෝහණ විජේවීරද පැය ගණන් එකදිගට කතා කළේ, අසන්නා ආකර්ශනය කර ගනිමිනි. සිරි ලංකාවේ දේශපාලන කතාකාරයන්ගේ නම් ලැයිස්තුව තව දිගය.
එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට යාම, ඕනෑම රටක නායකයකුට ලැබෙන අගනා අවස්ථාවකි. විශේෂයෙන්ම තුන්වැනි ලෝකයේ රටවල නායකයන් තම දුක් ගැනවිලි, ලෝකයට කියාපාන්නේ මේ අවස්ථාවේදීය. සමහර විට ඔවුහු, ලෝක නායකයන්ට යම් යම් උපදෙස් දීමටද එම දෙසුම යොදා ගනිති. එහෙත්, ඒවාට “ලෝකයේ ගණන්කාරයන්” සවන් දුන්නේ නම්, මෙලොව මේ වන විට තුන්වැනි ලෝකයක් නැත්තටම නැති වන්නටද ඉඩ තිබුණි. හාල්මැස්සන්ගේ කතාවලින්, තෝරු මෝරුන්ට ඇති වැඩක් නැත. ඔවුන් ඒවාට සවන් දෙන්නේ, ශිෂ්‍ය නායකයන්ගේ හෝ විවාද කණ්ඩායමේ කතා අසා සිටින විදුහල්පතිවරුන් මෙනි.
ජනාධිපතිතුමා මෙවර (යූ.එන්.ඕ) ගියේ දෙතුන් දෙනකු සමගිනි. ආසාවකට ඩොලරක් දකින්නට නැති මේ කාලයේ, අනවශ්‍ය වියදම් කපා හැරීම අගය කළ යුතුය. එහෙත්, කලාතුරකින් ලැබෙන මෙවැනි අවස්ථාවකදී, එක්සත් ජාතීන්ගේ සංගමයද වැඳ පුදාගෙන, අමෙරිකාවේ සිටින තම ඥාති මිත්‍රාදීන්ද දැක බලාගෙන ඒමට සැලසුම් කර සිටි සමහරුන්ගේ බලාපොරොත්තු නම් බිඳ වැටුණි. ඔවුන් දුක් නොවී, ඊළඟ ආණ්ඩුවකින් හෝ චාන්ස් එකක් ගැනීමට උත්සාහ කළ යුතුය.
එක්සත් ජාතීන්ගේ සංගමය පිළිබඳවද නොයෙක් විහිළු කතා ඇත. ඉංගිරිසියෙන් කියනවා නම්, United Nations Jokes ය. මේ කොවිඩ් මනස්තාපී කාලයේ, ඉන් එකක් දෙකක් රසවිඳීමට ඔබ සතුටු යැයි සිතමි.
එක් වසරක, එක්සත් ජාතීන්ගේ සංගමයේ ඉන්දියානු නිත්‍ය නියෝජිතයා, නළල දෙපසින් බේරෙන තරම් තෙල් තට්ටුවක් තම හිසේ ආලේප කිරීමට පුරුදුව සිටියේය. ඊට අමතරව, සුළු සුළු රෝගවලට ප්‍රතිකාර වශයෙන් යොදාගන්නා (හිසරදය, අජීර්ණ, ගැස්ට්‍රික්, දතේ කැක්කුම් වැනි) තෙල් වර්ග රාශියක්, ඔහුගේ අතැති බෑගයේද විය. මේ බව දැනගත්, ඉරාන නියෝජිතයා, ඉන්දියානු මිත්‍රයා අමතා මෙසේ කීය.
“යාළුවා.. තමුසෙ පරිස්සමින්. අමෙරිකන්කාරයා තමුසෙව (ආක්‍රමණය) කරන්ඩ ඉඩ තියෙනවා.”
එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ කිරීමේ එක් අරමුණක් වූයේ, ලෝක සාමය පවත්වාගෙන යාමය. එහෙත් 1940 සිට 2017 වන විට, ලෝකය යුද්ධ 140කට (කලාපීය වශයෙන්) මුහුණ පා තිබුණි. එහෙයින්, දේශපාලන විචාරකයන්ගේ අදහස වූයේ, එ.ජා. සංවිධානය නොතිබුණා නම්, ලෝකයට සාමය උදාවිය හැකිව තිබූ බවය. මේ බව දැනගත්, ට්‍රම්ප් ජනාධිපතිවරයා, එ.ජා. සංවිධානය වහාම අමෙරිකාව යටතට ගන්නා මෙන්, පෙන්ටගනයට නියෝග කළේය.
“මිස්ටර් ප්‍රසිඩන්ට්.. දැනටමත් ඒක එහෙම තමයි.” පෙන්ටගනයෙන් පිළිතුරු ලැබුණි.
කපිල කුමාර කාලිංග