2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

බිස්නස් උගුලේ ලේඛකයෝ හිරවෙලා

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 100

- හෙන්රි වර්ණකුලසූරිය

හෙන්රි වර්ණකුලසූරිය විශ්වවිද්‍යාල සමයේ පටන්ම නිර්මාණ සාහිත්‍යයට පෙම්බැඳි ලේඛකයෙකි. ඔහුගේ කෙටිකතා මෙන්ම විල්ලර වාඩිය, දඩ කඳවුර යන නවකතාද පාඨකයන් අතර ජනප්‍රිය විය. සිංහලට නැගුණු එකම කියුබානු කෙටිකතා පරිවර්තන කෘතියද (නීත්‍යානුකූල ඝාතනය සහ තවත් කියුබානු කෙටිකතා) හෙන්රිගේ පරිවර්තනයකි. එය පසුගියදා යළිත් නිකුත් විය.

• ඔබේ කියුබානු කෙටිකතා පරිවර්තන කෘතිය ගැන හැඳින්වීමක් කළොත්?

නීත්‍යනුකූල ඝාතනය සහ තවත් කියුබානු කෙටිකතා කිහිපයක් මට කියවන්නට ලැබුණේ දැනට වසර ගණනාවකට පෙර පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සේවය කරන කාලයේදී. එය විශ්වවිද්‍යාල පුස්තකාලයේ රාක්කයක සැඟවී තිබී මට හමු වුණේ කියවීමේ පිපාසාවෙන් පොත් රාක්ක අතර සැරිසරද්දී. මෙම කෙටිකතා කියැවීමෙන් ලද ආශ්වාදය අන්‍යයින් හමඟ බෙදා ගන්නයි මේ පරිවර්තනය කළේ. 

• කියුබානු සාහිත්‍යය අපට සමීප නෑ නේද?

ඔව්. කියුබානු සාහිත්‍යය යම් පමණකින් හෝ ලෝකයට විවර වුණත් ශ්‍රී ලාංකික අපට දුරස්ථයි. ඊට හේතුව කියුබානු පොතපත සිංහලට පරිවර්තනය වී නොතිබීමයි. කෙටිකතා පමණක් නොව වෙනත් සාහිත්‍යාංග වුව කියුබාවෙන් මෙරටට පැමිණ ඇත්නම් ඒ අල්ප වශයෙන්. මා "නීත්‍යනුකූල ඝාතනය සහ තවත් කියුබානු කෙටිකතා" සංග්‍රහයේ පළමු මුද්‍රණය එවකට කියුබානු තානාපති ලොපෙස්(Z) ඩෙල් ඇමෝ වෙත පිරි නැමුව මොහොතේ එතුමා මට කියුබන් ළමා සාහිත්‍ය පොත් දෙකක් පරිවර්තනය කරන්න කියා යෝජනා කරමින් එහි ඉංග්‍රීසි පිටපත් මට දුන්නා. මා ඒ කෘති දෙකත් පරිවර්තනය කළා. "විජ්ජාකාර කූනිස්සා" සහ "පුංචි ඇඟිල්ලා" යන නම් වලින්. මේ පරිවර්තිත කෙටිකතා එකතුවේ එන කතා 5 කියුබන් කෙටිකතාකරුවන් හතර දෙනෙකුගේ නිර්මාණ. ඒවා අත්දැකීම් වශයෙන් එකිනෙක වෙනස්. මේ කතාවල කියුබානු සමාජවාදී විප්ලවය පාදක වෙන්නේ නැහැ. ඒත් මේ කතා යටින් සියුම් හුයක් සේ දිවෙන දේශපාලන අත්දැකීම් තියෙනවා.

• එම කෘතියට ලැබුණු පාඨක ප්‍රතිචාර කෙසේද?

මේ කෙටිකතා පාඨකයා ඉතා උනන්දුවෙන් වැළඳගත් බව කිව හැකියි. ඊට හොඳම උදාහරණය තමයි මීට පෙර පළ කළ මුද්‍රණ දෙකම ඉතා කෙටිකාලයක් ඇතුළත අලෙවි වීම. නැවත මුද්‍රණයක් කරන්න පමා වූයේ මගේ අවිවේකීබව නිසාමයි.
ඒත් ලංකාවේ අනෙකුත් සාහිත්‍ය නිර්මාණවලට සිදුවන ඉරණම එනම් මේ කෘතිය ගැන කතිකාවක් ඇති නොවීම මා දකින්නේ අඩුපාඩුවක් ලෙසයි. "නීත්‍යනුකූල ඝාතනය සහ තවත් කියුබානු කෙටිකතා" සංග්‍රහය පිළිබඳ පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වෙන්නේ පළමු වරටයි. ඒ පළමු මුද්‍රණයෙන් වසර 24 කට පසුවයි.

• අපේ රට තුළ පළවූ එකම කියුබානු පරිවර්තන සාහිත්‍ය කෘතිය මෙයයි. කියුබාව ගැන උනන්දු දේශපාලඥයන් සිටින බව පෙනුණත් එම සාහිත්‍යය අපට මඟහැරුණේ ඇයි?
මෙරට වාමාංශික දේශපාලනයේ කියුබාව යනු පරමාදර්ශයක්. සිංහලට පරිවර්තනය වූ ප්‍රථම හා එකම කෙටිකතා සංග්‍රහය මෙය බව "නීත්‍යනුකූල ඝාතනය සහ තවත් කියුබානු කෙටිකතා" එකතුවේ මා සඳහන් කොට තිබෙනවා. එයින් පෙන්නුම් කරන්නේ කියුබාව ගැන උනන්දු වූවාට එරට සාහිත්‍යය ගැන අප උනන්දු වී නැති බවයි. ෆිදෙල් කැස්ත්‍රෝ හා චේ ගෙවාරා ගැන ඉතාමත් භක්තියෙන් කතාබහ කළත් කියුබානු සාහිත්‍යය ගැන අවධානය යොමු නොවන්නට හේතුව එරට සාහිත්‍ය කෘති සෙසු සමාජයට නිරාවරණය නොවීමදැයි ප්‍රශ්නයක් පැන නගිනවා. කියුබානු සාහිත්‍යය ඉංග්‍රීසි භාෂාව හරහා හෝ අපට සමීප නොවීම සිතා බැලිය යුතු කාරණාවක්.
• තරුණ පරිවර්තකයන් රාශියක් අද පරිවර්තන කාර්යයට එළඹ සිටිනවා. ඔබ ඔවුන් දකින්නේ කෙසේද?

පරිවර්තන කෘති හරහා ලෝක සාහිත්‍යය සිංහල පාඨකයාට ළඟා කරවීම අත්‍යවශ්‍ය කටයුත්තක්. ඒ ගැන විවාදයක් නෑ. හැබැයි ගූගල් මගින් පරිවර්තනය කිරීම නැත්නම් ඊට වහල් වීම අනුමත කරන්න බෑ. තරුණයින් පමණක් නොවෙයි. වැඩිහිටියන් කළත්. මං එහෙම කියන්නේ එවන් කතා බහක් පවතින නිසයි. අනෙක පරිවර්තන වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම පරිවර්තන වෙන්න ඕනෑ. අපේ සංස්කෘතියට හෝ හැදියාවට ගැලපෙන්න කියලා කොටස් අත්හරිමින් සංස්කරණය කිරීම සුදුසු නැහැ. 

• පරිවර්තනවලට ඇති ඉල්ලුම ස්වතන්ත්‍ර කෘතිවලටත් වඩා වැඩි බවයි පේන්නේ...ඒ ගැන ඔබ සිතන්නේ කුමක්ද? 

ඒකට නම් පැහැදිලි හේතුවක් තියෙනවා. සිංහලෙන් ලියන ස්වතන්ත්‍ර නිර්මාණ ඒකාකාරී හා නීරස වීම ඒකට හේතුවක්. එය සිද්ද වෙන්න ගත්තේ ලක්ෂ ගණන් මුදල් තෑගි දෙන සම්මාන ව්‍යාපාර හරහායි. ප්‍රකාශකයින්ගේ බිස්නස් උගුලේ ලේඛකයින් සිර වෙලා. අවුරුද්දකට හෝ දෙකකට වරක් සම්මාන ලැබෙන ආකාරයේ පොතක් ලියාගෙන තරගයට අවතීර්ණ වීමත් එක්ක ගුණාත්මක වශයෙන් නවකතා ක්ෂේත්‍රය කඩා වැටුණා. ඒ එක්කම තමයි විවිධ අත්දැකීම් හොයාගෙන යන පාඨකයා පරිවර්තන කෘති කියවන්න පෙළැඹුණේ. හැබැයි ඒ ඉල්ලුමත් එක්ක මොකක් හෝ පොතක් කඩිමුඩියේ පරිවර්තනය කොට මුද්‍රණය කිරීමේ උවමනාව මත වගකීමෙන් තොර පරිවර්තන කෙරෙන්න පටන් ගත්තා. 

• පරිවර්තන කිරීමේදී අවධානය යොමුකළ යුත්තේ කුමන කරුණුද?

පරිවර්තනය කියන්නේ ස්වතන්ත්‍ර නිර්මාණයකටත් වඩා වගකීමෙන් කරන්න ඕනේ වැඩක්. ස්වතන්ත්‍ර නිර්මාණයක් තමන්ට අවශ්‍ය ආකාරයට වර නගන්නට පුළුවන්. ඒත් පරිවර්තනයකදී මුල් කෘතිය ඒ ආකාරයෙන්ම පාඨකයා වෙත ගෙන ආ යුතුයි. ඒක විශාල වගකීමක්. මා පරිවර්තන සාහිත්‍යයට යොමු නොවන්නේ මන්දැයි බොහෝ පාඨකයින් විමසනවා. මා පසුබා සිටියේ අවිවේකී ජීවිතය තුළ ඊට අවකාශ නොතිබූ නිසයි.

 කුසුම්සිරි