2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

නැවත් අතුරුදන්?

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 114

මාස්ටර් කියූ සැණින් අපගේ මතකයට නැඟෙන්නේ සංගීතකාරයින්ය. ඒ අතරින් පැරණිම අය වන්නේ ගවුස් මාස්ටර්, රූපසිංහ මාස්ටර්, සාර්ලිස් මාස්ටර් වැනි අයය. සිරි ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධම මාස්ටර් වන්නේ කේමදාස මාස්ටර්ය. “මාස්ටර්” කෑල්ල එතුමාගේ වාසගම වන තරමටම, නම හා බැඳී තිබුණේය.

මාස්ටර්ගේ සම්පූර්ණ නම ප්‍රේමසිරි කේමදාස වුවත් සමහරු එය පටලවාගෙන, “කේමසිරි ප්‍රේමදාස” යැයි කියූ අවස්ථාද ඇත. එවිට කේමදාස මාස්ටර්, “ප්‍රේමදාස මාස්ටර්” බවට පත්වෙයි.

ලොකු ලොකු සංගීතකාරයින් හැරුණු විට, ගමේ ගොඩේ සිටින අහිංසක සර්පිනා, ඩොලැක්කාරයින්ටද “මාස්ටර්” කෑල්ල යෙදෙන්නේ, ගෞරවයක් හැටියටය.

සංගීත මාස්ටර්ලා ගැන කියන්නට ගියොත්, මේ තීරු ලිපිය, කොටස් වශයෙන් හෝ පොතක් වශයෙන් පළ කරන්නට සිදුවනු නොඅනුමානය.

මා අද කතා කරන්නට යන්නේ, සංගීතයට හෝ කලාවට කිසිදු රාජකාරිමය සම්බන්ධයක් නැති “හාබර් මාස්ටර්” ගැනය.

එබඳු චරිතයක් ගැන මෑතක් වනතුරුම, අපේ රටේ වැඩිදෙනා අසා තිබුණේ නැත. ඒ නම පත්තරවල පළවන්නට පටන් ගත්තේ, අපේ මුහුදු තීරය ආසන්නයේ නැවක් ගිනිගත් පසුවය. ඉන්පසු නැවතත්, හාබර් මාස්ටර් උන්නැහේ ගැන ඇහෙන්නේ, පෝර නැවක් නිසාය.

හාබර් මාස්ටර්ගේ රාජකාරිය වන්නේ, වරාය රැකබලා ගැනීමය. කොළඹ වරායට ආ චීන නැවක් අන්තර්ධානවීමක් ගැන මාධ්‍යවලින් එක එක කතා ඇසෙයි. ඒවාට වගකිවයුතු තැන්වලින් නා නා ප්‍රකාර උත්තරද ලැබෙයි.

නොදන්නා හාබර් සහ නැව් ගැන කටමැත දොඩන්නට ගොස්, අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගැනීමට අපට අවශ්‍ය නැත. එහෙත්, මුහුදින් බැරිනම් ගුවනින් හරි ගෙනැවිත්, ගොවීන්ගේ පොහොර ප්‍රශ්නය ඉවරයක් කරනවා නම් හොඳ බව නොකියා නොහැකිය.
කතරගම් ගිහින් කිරිවෙහෙර නොදැක ආවා වගේ යැයි පිරුළක් ඇත. ඉන් අදහස් වන්නේ බලවත් අඩුපාඩුවක් ගැනය. කොළඹ බලන්නට යන අධ්‍යාපන චාරිකාවලදී එක් වැදගත් ස්ථානයක් වූයේ කොළඹ වරායය. හම්බන්තොට වරාය ඉදිවීමෙන් පසු එයද නරඹන්නට යන ස්ථානයක් බවට පත් වූයේය. විපක්ෂයේ සමහරැ කියන විදිහට ඒ අලුත් වරායේ හාබර් මාස්ටර්ට නම් නැව් එනතුරු මුහුද දිහා බලාගෙන කල් ගෙවන්නට සිදුවී තිබේ.

විපක්ෂයේ පමණක් නොව, ආණ්ඩු පක්ෂයේද කතාවල තාර බර ඇර බාරගත යුතු මේ කාලයේ අපට නම් ඒ කියුම් කෙරැම්වලින් පලක් නැත. හම්බන්තොට වරාය බලන්නට ගිය විපක්ෂයේ පිරිසකට සෙල්ලම් පිස්තෝලවලින් බේරෙන්නට පස්ස නොබලා දුවන්නට වූ පුවතද අපට තවම මතකය.

අතුරුදන් වූ නැව සොයන්නටත්, විපක්ෂයේ කණ්ඩායමක් කොළඹ වරාය පැත්තේ රවුමක් ගැසීමට ඉඩ ඇත. වෙහෙර ගිලපු එකාට, අග්ගලයත් කජ්ජක්දැයි කතාවක් ඇති මේ සිරිලංකාවේ නැවක් ගිලින්නට හැකි මකර කටවලුත් තිබෙනවා යැයි සිතීම අසාධාරණද නැත. මහ බැංකු පවා ගිලපු උදවිය දැන් රටෙත් නැත.

බර්මියුඩා ත්‍රිකෝණය නමින් සුප්‍රකට මුහුදු ප්‍රදේශයේදී අබිරහස් ලෙස අතුරැදන් වූ නෞකාවන් ගැන ලියැවුණු පතපොත බොහෝය. නුදුරැ අනාගතයේදී කොළඹ වරායද, බර්මියුඩා ත්‍රිකෝණයට ඈඳා ගැනීමට බැරි නැත.

ලෝකයේ හැම රටකටම මුහුදක් නැත. ඒ නිසා මුහුදින් වටවුණු දූපතක් වීම ගැන අප ආඩම්බර විය යුතුය. ඉන් අපට ලැබී ඇති ප්‍රධානම වාසිය වන්නේ, මත්ස්‍ය සම්පත නොව “දූපත් මානසිකත්ව”යයි.

සිරි ලංකාවට ආසන්නයෙන් ගමන් කරමින් සිටි නෞකාවක සිටි බංග්ලාදේශ මුදල් ඇමැතිවරයා ඈත දිලිසෙන විදුලි එළියෙන් බැබලෙන අලංකාර උස කුළුණක් දිටීය.

''අර මොකක්ද?''

ඇමැතිවරයා, නැවේ කපිතාන්ගෙන් ඇසුවේය.

''ඒ තමා කොළඹ, නෙළුම් කුළුණ.''

ඇමැතිවරයාට සිනා පහළ විය.

''මට දැන් හිතාගන්න පුළුවන් ලංකාවේ ආණ්ඩුව අපෙන් ණය ගත්තු හේතුව?''

''මට පැහැදිලි නෑ'' කපිතාන් කීය.

''විදුලිබල මණ්ඩලේට ලයිට් බිල ගෙවන්ඩ.'' බංග්ලාදේශ ඇමැති සිනාසෙමින් කීය.

සිරිලංකාවේ ඇමැතිවරයෙක්, එක්තරා වරායක් විකිණීම සඳහා අමෙරිකාවේ සමාගමක් සමඟ රහසිගත සාකච්ඡාවක් පැවැත්වීය. අවසානයේ ඇමැතිවරයා සමාගම් අධ්‍යක්ෂකට මෙසේ කීය.

''මේ වැඩේට කොමිස් එක හැටියට මට සබ්මැරීන් එකක් දෙන්න ඕනෙ.''

''ඒක සුළු දෙයක්.''

''හැබැයි මේක රහසක් හැටියට තියාගන්න ඕනෙ.'' ඒ ඇසූ අමෙරිකානුවා සිනාසුණේය.

''මම දැනටමත් ලංකාවේ දේශපාලනඥයන් දෙසීය හතළිස් නවයකට සබ්මැරීන් විකුණල ඉවරයි. 

''ඒකත් එහෙමද? එහෙමනං පැරදුණාට පස්සේ, හැමෝම පැනගන්න යන්නෙ එකම විදිහකට.'' ඇමැති, නළල රැළි ගැන්වීය.

හාබර් මාස්ටර්වරු ගැන කියූ නිසා, ඔවුන් ගැනම කතාවකින් අද සමුගත හැකිය.

වාසිබෝලන්තයේ හාබර් මාස්ටර්වරයෙක්, රාත්‍රී සමාජ ශාලාවකදී හමුවූ සුරූපී තරුණියක හා කතාවට වැටුණි. ඇගේ අඩක් විවෘත වූ ළමැද මත වූයේ නැවක පෙනුමින් යුත් රන් පෙන්ඩනයකි. හාබර් මාස්ටර් නිතර නිතර එදෙස බැලුම් හෙළනු දුටු රූමතිය, සිනාසී මෙසේ ඇසුවාය.

''මෙයා නැව්වලට හරි ආසයි වගේ?''

''නෑ මං බැලුවේ හාබර් එක දිහා.''

කපිල කුමාර කාලිංග