කලා හා සාහිත්‍ය ක්ෂේත්‍රයට වැඩි උනන්දුවක් දක්වන කොත්මලේ සිරිසේන ඔහු කවි පොත් හයක් පළ කර තිබේ. එයට අමතරව ඔහු කෙටිකතා කෘතියක්ද විචාර කෘති කිහිපයක්ද පළ කර පාඨක ප්‍රසාදයට ලක්ව ඇත. කොත්මලේගේ අලුත්ම කෘතිය සිය පුවත්පත් කලා ජීවිතයේ අත්දැකීම් විස්තර කරනා දශක හතරක පත්තර මතකයි.
ඔබේ අලුත්ම කෘතිය ගැන හැඳින්වීමක් කළොත්?
මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ වසර 40ක කාලයක් පත්‍ර කලාවේදියකු ලෙස මා ගත කළ ජීවිතයේ ඇසූ පිරූ සියල්ලයි. විශේෂයෙන්ම පත්‍ර කලා ජීවිතය ප්‍රායෝගිකයි. ලැබෙන්නා වූ අත්දැකීම් සම්භාරය විශාලයි. එහෙත් ඒ සියල්ලම ලිවීම ලෙහෙසි පහසු නෑ. එම නිසා මේ කෘතිය ඔස්සේ මා උත්සාහ කළේ පුවත්පත් කලාවේදියකු ලෙස මා ලත් දේශපාලන, ආර්ථික, සමාජයීය අත්දැකීම් කැටි කර කෘතියකට ගෙන ඒමයි.
මෙහි ඇතුළත් අත්දැකීම් පුවත්පත් කලා ක්ෂේත්‍රයට එක්වන නවකයන්ට ඉතා වැදගත් බව පේනවා. නමුත් අලුත් පරම්පරාවේ පුවත්පත් කලාවේදීන් පොත්පත් කියවන බව නම් පේන්නේ නෑ. ඒ ගැන පැවසුවහොත්?
පුවත්පත් කලාවේදියකු වීමට පෙර සිටම බොහෝ දේ කියවීම මාගේ පුරුද්දක්ව තිබුණා. පත්තරකාරයකු වීමට උණක් ඇතිවුණේ මෙම කියවීම ඔස්සේ ලද පන්නරය නිසයි. විශේෂයෙන්ම පත්තර කියවීමට තිබුණු ඇබ්බැහිය මෙන්ම පත්තරවලින් ජීවිතයට ලද ආභාෂය ඉතා වැදගත්.
පුවත්පත් කලාවේදියා බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තකු වීම එම කලාව ඉදිරියට ගෙන යාමට බෙහෙවින් උපකාරී වෙනවා. පත්තර කලාව යනු කියවන විට ලිවීමවත් දුරකතනයෙන් ප්‍රවෘත්ති ලබාගැනීමවත් නොවෙයි. ඊට එහා ගිය නිර්මාණාත්මක ප්‍රවේශයක් තිබිය යුතුයි.
නමුත් නව පරපුර කියවීමෙන් දුරස්වෙලා බව ඇත්ත. ඔවුන්ගෙන් නිර්මාණාත්මක ලේඛනයක් බලාපොරොත්තු වෙන්න බෑ.
ඔබ දශක තුනකට පෙර යුගයේ පුවත්පත් කලාව සහ අද පුවත්පත් කලාව සසඳන්නේ කෙසේද?
ඒ යුගයේ වචනයේ පරිසමාප්ත අරුතින්ම පුවත්පත් කලාවක් තිබුණා. එයට ගැලපෙන පිරිස් හිටියා. එමෙන්ම ඒ යුගයේ පැවතුණු මුද්‍රණ රටාව වෙනස්. ලයිනෝ අකුරුවලින් තමයි පිටු නිර්මාණය වුණේ. එමෙන්ම උපකතුවරයා හදන ඩමියට අනුව තමයි පිටුව නිර්මාණය වෙන්නේ. අවම තාක්ෂණය නිසා සියල්ල සිදුවුණේ අතින්. අද එසේ නොවෙයි. ඩිජිටල් තාක්ෂණය නිසා නිර්මාණාත්මක බවින් අනූන පිටු සැකසිය හැකියි. හැබැයි එදා හොඳ නිර්මාපකයන් සිටි නිසා අවම තාක්ෂණය යටතේ වුව හොඳ පිටුවක් නිර්මාණය වුණා. එමෙන්ම ප්‍රායෝගිකව සියල්ල අත්විඳි නිසා ගුණාත්මක බවින් යුතු පිටුවක් නිර්මාණය කරන්න පත්‍ර කලාවේදියාගේ අත්ගුණය බෙහෙවින් බලපෑවා.
ඔබේ කෘතියේ මුල් භාගය වඩාත් රසවින්දනාත්මක බවක් ගන්නවා. ගුරුවරයකු වී නැවත පුවත්පත් කලාවට අවතීර්ණ වූ යුගය වාර්තාමය ස්වරෑපයක් ගන්නවා. ඒ ඇයි?
අත්දැකීම්වල වෙනස මේ සඳහා හේතුවන්නට ඇති. එදා (දවස) පුවත්පත් යුගය අත්දැකීම් සම්භාරයක් ලද යුගයක්. එමෙන්ම එවකට තරුණවියේ සිටි නිසා බොහෝ දේ හඹා යාමේ පිපාසයක් තිබුණා. එනිසා නිරන්තරයෙන්ම පත්‍ර කලාවේම ඇලී ගැලී සිටියා. ඒ නිසා එම යුගය රසවත්. ලංකාදීප මුල් යුගයත් ඒ වගේමයි. ඉතා රසවත්. අත්දැකීම් බහුලව ලැබුණා.
ගුරු වෘත්තියෙන් පසු මා යළි පුවත්පත් කලාවට එන්නේ වසර 7කට පසුවයි. එම ආගමනයෙන් පසු රසවත් අත්දැකීම් නොලැබුණා නොවෙයි. එම වසර 20 තුළද අත්දැකීම් සම්භාරයක් ලැබුවා. ඒවා බොහෝ විස්තර කළා නම් කෘතිය විශාල වෙනවා. එමෙන්ම එවකට පැවැති දේශපාලන මෙන්ම සමාජයීය අත්දැකීම් නීරසයි. එම නිසා ඒවා වාර්තාමය අයුරින් ලියනවා හැරෙන්නට නිර්මාණාත්මක ලිවීම දුෂ්කරයි.
අද පුවත්පත් කලාවේදීන් යන වචනය වෙනුවට (ජනමාධ්‍යවේදීන්) කියා සමහරු භාවිත කරනවා. ඒ ගැන ඔබේ අදහස?
අපි පත්තර කලාවට පැමිණි යුගයේත් ඊට පෙරත් සිටියේ පුවත්පත් කලාවේදීන්. වචනයේ පරිසමාප්ත අරුතින්ම ඔවුන් එසේ හැඳින්විය හැක්කේ බොහෝ ඇසූ පිරූ තැන් ඔවුන් සතුව තිබූ නිසයි. ජනමාධ්‍යවේදීන් යන වචනය භාවිත වුණේ විද්‍යුත් මාධ්‍ය පැමිණීමත් සමඟයි. පසුකාලීනව මාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණි සියලු දෙනාම හඳුන්වන්න ගත්තේ ජනමාධ්‍යවේදීන් ලෙසයි. මෙම වචනය අද බෙහෙවින් හෑල්ලුවෙලා. හැමෝම අපි මාධ්‍යවේදීන් කියා හඳුන්වා ගන්නවා. හැමෝටම මාධ්‍යවේදීත්වයක් තිබෙනවාද කියා සැකයි. මාධ්‍ය පිළිබඳ හසල දැනුමක් ඇති ඒ පිළිබඳ වේදිත්වයක් ඇති අය එය භාවිත කළාට කමක් නෑ. ආවාට ගියාට එම වචනය භාවිතයට ගැනීම නම් සුදුසු නෑ.
වර්තමානයේ විශ්වවිද්‍යාල කිහිපයකම පුවත්පත් කලාව උගන්වනවා. අලුතින් ක්ෂේත්‍රයට එක්වන තරුණ පරම්පරාවට ඔබ දෙන අවවාදය කුමක්ද?
එදාට වඩා විශාල පිරිසක් මාධ්‍ය කලාවට අවතීර්ණ වීමත් මාධ්‍ය කලාව හැදෑරීමත් සතුටට කරුණක්. මම පත්තරකාරයෙක් ලෙස කියන්නේ පත්තර කලාව සීයට අනූවක්ම ප්‍රායෝගිකයි. න්‍යායාත්මකව මාධ්‍ය කලාව හැදෑරීම වැදගත්. එයින් එක අර්ධයක් සම්පූර්ණ වෙනවා. හැබැයි එය අර්ථවත් වන්නේ ප්‍රායෝගිකව ලබන්නා වූ අවබෝධය මතයි. එමෙන්ම නිර්මාණාත්මක මිනිසෙක් වීමටද උත්සාහ ගත යුතුයි. එසේ නොවුණොත් වන්නේ පොතේ ගුරෙක් වන එක පමණයි.
කුසුම්සිරි