2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා

තත්ත්වය ’භ’යානකයි!

 2021 නොවැම්බර් 27 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 108

එක්තරා රටක උසාවියක, නගරයේ වෙළෙඳසලක් කොල්ලකෑ සොරකු පිළිබඳ නඩුවක් විභාග වෙමින් පැවතියේය. විනිසුරුවරයා, සොරකමට සැක පුද්ගලයාගෙන් මෙසේ ඇසුවේය.

“ඒ සාප්පුව වටේට සී.සී.ටී.වී. තියෙද්දිත්, අනතුරු සංඥා සවි කරල තියෙද්දිත්, ඒ කිසිදේකට අහුනොවෙන්න තමුන් කොහොමද ඔය හොරකම කෙරුවෙ?”

සොරා, විනිසුරු දෙස අබ්ලික් බැල්මක් හෙළුවේය.

“ස්වාමිනී, මං මෙතන්ට ආවෙ මාව වැරදිකාරයා වෙයිද නැද්ද බලන්ඩ විතරයි. එහෙම නැතුව මගේ ජොබ් එකේ රහස් උපක්‍රම ප්‍රසිද්ධියෙ එළිදරව් කරන්ඩ නෙවෙයි.”

මට මේ (උසාවි සිනා) කතාව මතකයට නැගුණේ, මෑතකදී, වාසිබෝලන්තයේ මහ බැංකු ප්‍රධානියෙක්, එහි මාධ්‍යවේදීන් හමුවේ කළ ප්‍රකාශයක් නිසාය. ඒ මෙසේය.

“අපේ බැංකුවෙ කළු සල්ලි තියෙන බව ඇත්ත. ඒත් ඒවා ආවෙ කොහොමද කියල අපිට කියන්ඩ බෑ.”

දැන් කාලේ, මේ ලෝකේ අහන්ඩ දකින්ඩ ලැබෙන්නේ, කැකිල්ලේ රජතුමා පවා හොල්මන් කරවන, ඔන්න ඔය තාලේ කතා බතාය. නඩුත් හාමුදුරුවන්ගේය, බඩුත් හාමුදුරුවන්ගේ යැයි අපේ අත්ත මුත්තලා කියා තිබුණේ, අනාගතයටත් එක්කම බව දැන් දැන් වැටහෙයි.

කොරෝනා නිවාස අඩස්සියේ පසු වූ සාමාන්‍ය ජනතාව, යන්තම් එළි පහළියට බැස හිරි අරින්නට වූවා පමණයි, වැස්ස වළාහකතුමා බෙංගාල බොක්කේ සිට පැමිණ ඊට හරස් කැපුවේය. (අසාමාන්‍ය ජනතාවට නම් කිසි ප්‍රශ්නයක් නැත. උත්සව, සාද, පින්කම්, පමණක් නොව විදේශ ගමන් බිමන් ද ඇත.)

යන්තම් වැස්ස තුරල් කළ විටක, හන්දියට යාමට මිදුලට බට මට, පාර දෙසින් ගී හඬක් ඇසුණි.

ඉපදුණු අප හට ලක් පොළවේ
හොර මැරකම් උපතින් හුරුවේ
දක්වමු මැරකම් - සංගමු සොරකම්
මේ සිරිලක් පොළවේ

සිංදු රී මික්ස් කිරීම ගැන මගේ එතරම් කැමැත්තක් නැත. කෙසේ වෙතත්, මේ ගායකයා නම් වෘත්තීය මට්ටමේ කෙනෙක් නොව, මහ වැස්සක පෙරනිමිති පෙනෙද්දී, ගල් කාලක උණුසුම ලබනට, කල් තියාම කඩමණ්ඩිය වෙත ගිය කෙනකු විය යුතුය. අපේ රටේ සිටින්නේ, සිහියක් පතක් නැති වූ විට ජාතික ගීයත්, රැප් කරන ජාතියේ සංගීතකාමී මිනිස්සුය.

සිරි ලංකන් මිනිස්සු හිතේ දුකට කවි කිව්වේ, නාඩගම් ටීටර් දකින තුරු පමණි. ඉන් පසු සිංදුවට තැන ආ අතර, චිත්‍රපට හා ගුවන්විදුලි ගී කාගෙ කාගෙත් මුවග රැව් දෙන්නට විය. ක්‍රමයෙන්, ගැසට්, සීඩී පටවලට රිංගූ සින්දුව, අද වන විට ජංගම දුරකථනයෙන් අසන තත්ත්වයට පරිණාමය වී තිබේ.

මේ නිසා, මුලින් කියූ වර්ගයේ ගීත ද සැලකිය යුත්තේ, නූතන ජන ගී ලෙසය. ගීතයක වචන වෙනස් කිරීම වරදක් වුවත්, සාමාන්‍ය මිනිසා එය කරන්නේ සිතකින් නොවේ. ඔහු එළිසම බැඳ කවි කියන්නට නොදන්නා නිසා, දන්නා තනුවකටම දමා, සිතේ ඇති දේ කියාපායි.

මට මෙහිදී වැදගත් වූයේද එයයි. ලක් පොළොවේ ඉපදුණු අප හට, උපතින්ම සොරකම් මැරකම් හුරු වේ යැයි කීමට, ඒ ගායකයාට සිතුණේ කුමක් නිසාද? සිංහලයා හෝ ශ්‍රී ලාංකිකයා යනු සොරෙක්ද? කළ සොරකම් සඟවා, ෂේප් එකේ ජීවත් වන ජාතියේ කට්ට කෛරාටිකයෙක්ද?

කිසිවකුත් මෙයට එකඟ නොවන නමුදු, මේ සිරි ලංකාවේ ද සොරුන් හිඟ නැති බව නම් පිළිගනු ඇත. එසේම, ඒ සොරුන්ගෙන් බොහෝමයක් වැදගත් ජීවිත ගත කරන (මහත්වරු) බව ද, ඔවුන් කිසි දිනෙක පොලිසි, උසාවි නොයන බවද සාමාන්‍ය ජනයාට රහසක් නොවේ.

සොරකමේ ඉතිහාසය ද මිනිසාගේ ඉතිහාසය තරමටම පැරණිය. සොරකමට කොතෙක් දඬුවම් පැමිණවුවද, මිනිසා එය අත්හැරියේ නැත.

රජ පවුල්වල පවා හොරු සිටියහ. එහෙත් ඒ නැති බැරිකම් නිසා නම් නොව, මානසික රෝගී තත්ත්වයන් හේතුවෙනි. එකල මිනිස්සු ඔවුන්ට අනුකම්පා කළාක් මෙන්ම බියට ද පත් වූහ. බියට හේතු වූයේ, එකල මනෝ වෛද්‍ය ප්‍රතිකාර දියුණුව නොතිබූ බැවින්, සොරකම ජානගතව, පරපුරින් පරපුරට පැතිර යා හැකිව තිබීමය.

කෙසේ වෙතත්, පසු කාලයකදි රජ පෙළපත්වල උදවිය, දියුණු ප්‍රතිකාරවලින්, තම මානසික රෝගයන් සුවපත් කර ගත්හ. එහෙත් සාමාන්‍ය මිනිසුන්ට ඒ සඳහා වත්කමක් හෝ ක්‍රමයක් නොතිබූ බැවින්, ඔවුන් අතර මානසික රෝග තදින් පැතිරුණි. සිරි ලංකාව ඇතුළු බොහෝ රටවල, මහ මැතිවරණවලදී ඒ බව සනාථ වෙයි.

මානසික රෝගීන් ගැන සිනා කතා බොහෝ වෙතත්, රෝගීනට සරදම් කිරීම සදාචාරාත්මක නොවන බැවින් ද, ඒ සා පහළට වැටීමට තරම්, මට මානසික ආබාධයක් නැති බැවින් ද (මා දන්නා තරමින්) කිසිත් නොකියා සිටිමි.

එහෙත්, සොරකම ගැන කතා කිරීම නම් පුරවැසි යුතුකමක් ලෙස සිතමි. සොරු බිහිවන්නේ දිළිඳුකම නිසාය යනු, (මනුතාපය) ලියූ වික්ටර් හියුගෝලා පවා පෙන්වා දුන් කාරණයකි. එහෙත් වර්තමාන සිරි ලංකාවේ සිටියේ නම්, හියුගෝ අමාරැවේ වැටෙනවාට සැක නැත. මෙහි සිටින්නේ කුවේර හොරුය.

සාමාන්‍ය ජනයා නම්, බලා සිටියදී, දිළිඳු බවේ ප්‍රපාතය දෙසට ඇදෙමින් සිටිති. අකුරු නොදත් ගබන් සිංඤෝ කියුවාක් මෙන් තත්ත්වය (භ)යානකය.

රජයේ සේවකයකුගේ නිවෙසට ඇතුළු වූ සොරෙක්, මෙසේ කීය.

“මට සල්ලි තියෙන තැන් පෙන්නනවා.”

ඊට ඉතා සතුටින් එකඟ වූ ගෙහිමියා, සොරා ද සමඟ එකතුව, රෑ එළිවන තුරු මුළු ගෙයම පරීක්ෂා කළේය. අවසානයේ ඔවුන්ට හමුවුණේ, (පඬුරු කාසි) කීපයක් පමණි. සොරා, හිස් අතින්ම ආපසු ගියේ, කහට කෝප්පයක්වත් නොබීය.

 කපිල කුමාර කාලිංග