2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

කරොංචි හාමිලා සහ නොන්නො හාමිලා

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 153

මාධ්‍යවේදීන් සඳහා රක්ෂණාවරණයක් ලබාදීම පිළිබඳ උත්සවයක් පසුගිය සතියේ දිනෙක කොළඹදී පැවැත්වුණි. එයද, කලකට ඉහත මාධ්‍යවේදීන්ට ලැප්ටොප් ලබා දුන්නා වැනි (ටොප්) වැඩකි.

මා හොඳ මිනිසකු නොවුණත්, හොඳ දෙයට කටපුරා හොඳ යැයි කීම මා සතු හොඳ ගතියකි. එහෙත් විරුද්ධ පක්ෂයට නම්, මෙය මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ අනාගතය පිළිබඳ අවදානම, කල්තියා ඉඟි කිරීමක් ලෙස පෙනී යාමටද ඉඩ ඇත.

රක්ෂණාවරණ උත්සවයේ ප්‍රධාන අමුත්තා වූ අග්‍රාමාත්‍යතුමාද කියා සිටි ආකාරයට, රජය මොන හොඳ වැඩක් කළත්, මාධ්‍යයට ඒවාට වඩා වැදගත් වෙන්නේ වෙන වෙන දේය. ජනතාවත් එහෙමය. රූපවාහිනී ප්‍රවෘත්තිවල සංවර්ධන පුවත් හෙඩිම දුටු ගමන් නාට්‍යයක් බැලීමට වෙන චැනලයකට මාරුවෙති.

අගමැතිතුමා කියූ හැටියට, අනගාරික ධර්මපාලතුමාද මේ තත්ත්වය ගැන, එදා කනස්සලු වූයේය. එනිසා ධර්මපාලතුමා මෙසේ පවසා තිබුණි.

“රටේ කොපමණ හොඳ දේ වුණත්, ඒවා පත්තරවල පළවෙන්නේ නෑ. කරොංචි හාමි, නොන්නො හාමිට පිහියෙන් ඇන්නොත් මේකා ඒක පත්තරේ දමාපි.”

උළෙලට සහභාගි වූ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ඔහු විකල්ප පත්තරකාරයකුව සිටි බව කියන්නට අමතක නොකළේය. එහෙත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාද, පත්තරකාරයකුව සිටි බව කීමට එතුමාට අමතක විය. එහෙත් අගමැතිතුමාම ඒ බව සිහිපත් කරමින්, තමන් (රිපෝටර්) කෙනකු ලෙස කටයුතු කර ඇති බවත්, එම නිල නොවන (තනතුර) පිරිනැමුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය බවත් කියා සිටියේය.

ජනමාධ්‍ය ඇමැතිතුමා, තවත් හොඳ කතාවක් කීවේය. එතුමා පත්තර රස්සාවේ යෙදී සිටි කාලයේ, විකල්ප මාධ්‍යවේදීන්ට තිබුණේ, දින රහිත මරණ වරෙන්තුවක් හා බෝල්පොයින්ට් පෑනක් පමණි. කතාව ඇත්තය. එනිසාම, සමහරු මරණ වරෙන්තුව වෙනුවට ජීවිත රක්ෂණයක් සොයමින්, ගිලෙන නැවෙන් පනින මීයන් සේ, වෙන වෙන පැතිවලට දිරා මාරු වූ සැටිද අපට අමතක නැත.

එදා එසේ, පත්තරේටත් නොකියා මාරු වූ සමහරුන්ගේ සාක්කුවල අද තිබෙන්නේ බෝල්පොයින්ට් පෑන් වෙනුවට, ගෝල්ඩ් ප්ලේටඩ් පාකර් පෑන්ය. පත්තරකාරයන් හැටියට අපිදු ඒ ගැන ආඩම්බර වෙමු. අපි නම් තවම ලියන්නේ බෝල්පොයින්ට්වලින්මය. ඒ ගැනද ආඩම්බරයක් මිස, දුකක් කනස්සල්ලක්ද නැත. මක් නිසාද යත්, අපි අපේ බෝල්පොයින්ට් ගන්නේ, ජනතාවගේ මුදලින් නොව, දහඩිය මහන්සියෙන් උපයාගත් සොච්චමින් බැවිනි.

පෑන කඩුවට වඩා බලවත්ය, යනු ඉතා අගනා, ඉතා ප්‍රකට කියමනකි. එහෙත් සමහරවිට එය අනෙක් පැත්ත පෙරැළී, කඩුව බලවත් වී පෑන් කපා කොටා විනාශ කළ අවස්ථාද දක්නට ලැබුණි. ඒවාට නඩුත් නැත. රක්ෂණත් නැත. සමහරු රටෙත් නැත. ඒ නිසාද පෑන්කාරයන්ට, රක්ෂණයක් දීම වැදගත්ය. එයට (ඇසිදිසි) යැයි නම තැබීමද උත්ප්‍රාසාත්මක වන්නේ, සමහර පරණ සිද්ධීන් ගැන සාක්කියක් දීමට හෝ, ඇසූ දුටු කෙනෙක් නැතුව යනු දුටු හෙයිනි.

ඇත්තක් ලියා පැත්තක් ගියත් කම් නැතැයි සිතා කටයුතු කිරීමේ වැදගත්කම ගැන රක්ෂණ රැස්වීමේදී කවුරුත් අවධාරණය කළේ නැතැයි සිතමි. දැන් වැඩිපුර සිටින්නේ, ඇත්ත වෙනුවට පැත්ත ගෙන ලියන අය බව දැන සිටීම ඊට එක හේතුවක් වන්නට ඇත. සෑම ලියනප්පු කෙනකුම, මාධ්‍යවේදියකු නොවන බවත්, සැබෑ මාධ්‍යවේදියා යනු ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නකු මිස, අවස්ථාවාදී බත්බැලයකු නොවන බවත්, කියා දෙන්නට කෙනෙක්, ඒ රැස්වීමේ සිටි බවක් නොපෙනුණි. කවුරු කෙසේ කීවත්, අසන්නා (විශේෂයෙන්ම මාධ්‍යවේදියා) සිහිබුද්ධියෙන් ඇසිය යුතු බව, මෙහිදීද නැවත සිහිපත් කළ යුතු වෙයි.

වර්තමාන මාධ්‍ය ලෝකයේ, නිතර කතාබහට ලක්වන, එහෙත් ක්‍රියාත්මක වීම පිළිබඳව නිතර වාද විවාද කෙරෙන දෙයක් නම්, මාධ්‍ය නිදහසය. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා, ඉන්දියානු පත්‍ර කලා සංගමයක් මගින් සමුළුවක් සංවිධානය කෙරුණි. දිල්ලියේ තිබූ පුවත්පත් ආයතන සැමකකටම ආරාධනා පත්ද යැවුණි. එහෙත්, පුදුමයකට මෙන්, මාධ්‍ය නිදහස පිළිබඳ සමුළුවට පැමිණ සිටියේ, ඉතා සුළු පිරිසකි. බොහෝ දෙනෙක් නොපැමිණියේ, ඔවුන්ට ඒ සඳහා, රාජකාරි නිවාඩු අනුමතව නොතිබූ හෙයිනි.

පත්‍රකලා ලෝකයේ ප්‍රකට උපහාස කියුමක් මෙසේය.

බොහෝ පුවත්පත් කලාවේදීන් (මාධ්‍යවේදීන්) නොදන්නා දෙයක් ඇත. එනම්, ඔවුන් පත්වීමේ ලිපිය ලබන දිනයේම, තම නිදහසද නැතිකර ගන්නා බවය.

එක්තරා අවදියක, ඉරානයේ පුවත්පත් කලාවේදීහු, දැඩි වාරණ නීතිවලින් පීඩාවට පත්ව සිටියහ. මේ නිසා, සෑම මාධ්‍ය ආයතනයක් තුළම, දැකගත හැකි වූයේ, නොසතුටින් හා කනස්සල්ලෙන් පිරි ශෝකී මුහුණුය. එහෙත්, එක් ආයතනයක සේවය කළ පුවත්පත් කලාවේදියෙක්, බොහෝ සතුටින්, කාලය ගත කරනු පෙනුණි. මේ බව දුටු, ඔහුගේ මිත්‍රයෙක් මෙසේ ඇසුවේය.

“යාළුවා.. අපි හැමෝම හරිම පීඩාවෙන් ඉද්දි, තමුසෙ විතරක් සතුටින් වැඩ කරන හේතුව මොකක්ද?”

“මගේ ගෙදර ජීවිතයත් එක්ක සංසන්දනය කරද්දි, ඔෆිස් එකේ ජීවිතේ හරි නිදහස් බව දැනෙනවා.”

පුවත්පත් ලෝකය පිළිබඳ රස කතා බොහෝය. රටින් රටට වෙනස් වුණත්, ඒවායේ “ජාන සබඳතා” එක හා සමානය.

එක්තරා පුවත්පතක, කලක් සේවය කළ උප කතුවරයෙක් හිටි අඩියේම අස්වීමට තීරණය කර, ප්‍රධාන කර්තෘ හමුවූයේය.

“මට දැන් මෙතන හරි ඒකාකාරීයි. මට වෙනසක් ඕනේ.”

ප්‍රධාන කර්තෘ, තම මිතුරාගේ අලුත් ජීවිතයට සුබ පැතුවේය.

ටික දිනකින්ම ආරංචි වූයේ, උප කතුවරයා, වෙනත් පුවත්පතක සේවයට බැඳී ඇති බවකි.

පත්තර රස්සාවද, නැව් රස්සාව වගේය. නැවියෝ නැවකින් පනින්නේ තවත් නැවකටමය. දෙපිරිස අතර ඇති එක් වෙනසක් වන්නේ, නැවියන්ට මාධ්‍ය නිදහස ගැන හැඟීමක් නැතිකමය!

♦ කපිල කුමාර කාලිංග

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00