2017 මැයි 06 වන සෙනසුරාදා

ආගමික නායකයකුට අපල - මහජන විරෝධතා

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 113

2017 මැයි 10 වන බුධ දින උදේ 10 පසු වී විනාඩි 5ට බුධ සහ යුරේනස් ග්‍රහයන් අතර යුධ සංග්‍රාමයක් ඇතිවනු ඇත. බුධ ග්‍රහයා මේෂ රාශියෙහි කේතුට අයත් අස්විද නැකතේ ප්‍රථම පාදයෙන් ගමන් කරමින් සිටියේද යුරේනස් ග්‍රහයාද මේෂ රාශියෙහි කේතුට අයත් අස්විද නැකතේ ප්‍රථම පාදයෙන් යමින් සිටියදී මෙම සංග්‍රාමය ඇතිවේ. මෙම ග්‍රහයින් දෙදෙනාම එකිනෙකා අභිබවා ගමන් කිරීමට උත්සුක වීම හේතුවෙන් බුධ සහ යුරේනස් ග්‍රහයාගෙනුත් අයහපත් වූ ග්‍රහ කිරණ පෘථිවිය වෙත එල්ල වනු ඇත. ඉදිරි මාස 3ක කාලයක් එසේ අයහපත් ඵල පෘථිවියට පැමිණෙනු ඇත. 

අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදි දුම්රිය ආශ්‍රිත අනතුරක් වාර්තාවනු ඇත. බලාපොරොත්තු නොවූ ආකාරයේ අර්බුදයකට රජයට මුහුණ දීමට සිදුවන අතර විදේශීය රටකින් මෙරට ඇති කරන අයෝජනයකට මහජන විරෝධය එල්ලවනු ඇත. විදේශීය රාජ්‍ය නායකයකුගේ මෙරට සංචාරයකට එරෙහිව දැඩි මහජන විරෝධයක් එල්ල වීමත් රජය ඒ සම්බන්ධයෙන් අපහසුතාවයට පත්වීමත් ඉදිරි දිනවල සිදුවීමට නියමිතය. බුද්ධිමත් පුද්ගලයකුගේ අභාවයක් සිදුවන අතර ආගමික නායකයකුට මාරක අපලයක් ඇතිවේ. ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවන අනතුරක්ද වාර්තා වෙයි. 

ලග්න අනුව විමසා බැලීමේදී මෙම කාලය බොහෝ ලග්න හිමියන්ට අපල ගෙනදෙන බැවින් කල්පනාකාරී විය යුතුය. 
මේෂ - සමගිය දෙදරයි
ඔබට යහපත් නොවන අතර ඔබගේ ශරීර ශක්තියට බාධා වීම් සිදුවනු ඇත. පවුල් ජීවිතයේ ප්‍රශ්න ඇතිවන අතර සමගිය දෙදරා යාම්ද විය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. ඔබ මෙම වකවානුව තුළ අවදානම් ස්ථානවල ගමන් කිරීමෙන් වැළකෙන්න. 

වෘෂභ - උදරාබාධ
ඔබගේ කටයුතු සඳහා විවිධ පාර්ශව වලින් බාධා කිරීම් ඇති වනු ඇත. දුරගමන් විදේශ සංචාරයන් සඳහා යාමට සිතා සිටින්නේ නම් මෙම වකවානුව තුළ එම ගමන් සීමා කිරීම යහපත්ය. උදරය ආශ්‍රිත හදිසි ආබාධයක් මතුවනු ඇත.
මිථුන - ධනය ලැබීමට බාධා
මෙම වකවානුව තුළ හවුල් කටයුතු කිරීමට යාම යහපත් නොවනු ඇත. ධනය ලැබීමේ මාර්ගවලට බාධා වීම් ඇති වනු ඇත. මෙම කාල වකවානුව තුළදී ඔබගේ සිත දිනාගැනීමේ අරමුණින් ඔබ වෙත ළංවෙන අය ගැන කල්පනාකාරී වීම වැදගත් වනු ඇත. 
කටක - කීර්තිනාමයට හානි
නොසිතූ ලෙස සේවා ස්ථානයේ අය සමඟ සිත් අමනාපකම් ගැටුම් ඇති විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. පදිංචි ස්ථානය ආශ්‍රිතව ප්‍රශ්න ඇති විය හැක. තම කීර්ති නාමයට හානි විය හැකි බැවින් අවධානයෙන් කටයුතු කළ යුතුවේ. 
සිංහ - අනවශ්‍ය කෙටි ගමන්
කෙටි ගමන් වලින් ඵල ප්‍රයෝජන අත් නොවනු ඇත. සිතේ ප්‍රශ්න ඇතිවන කාල වකවානුවක් වේ. උසස් අධ්‍යාපනික කටයුතුවල මෙන්ම ප්‍රාථමික අංශයේ ඉගෙනීම් යෙදෙන අයට එතරම් යහපත් ඵල අත්නොවේ. 
කන්‍යා - සතුරු කරදර
ඔබට එතරම් යහපත් ඵල අත් නොවනු ඇත. ඔබට එරෙහි සතුරු කරදර ඇතිවන අතර ඒ ගැන සිහිකල්පනාවෙන් සිටීම වැදගත්ය. වාහන එලවීම් කරන අයකු නම් ඔබ ඉවසීමෙන් යුක්තව රිය ධාවනය කිරීම වැදගත් වනු ඇත.
තුලා - හිතවතුන්ගෙන් ප්‍රශ්න
ඔබගේ කාලත්‍රයාට පීඩා ඇති වන වකවානුවක් වන අතර පවුල් දිවියේ සමගියට බාධා වීම් ඇතිවනු ඇත. ව්‍යාපාරික හා හවුල් කටයුතු ආශ්‍රිතව ඔබගේ හිතවතුන්ගෙන්ම යම් යම් ගැටලු උද්ගතවේ. 
වෘෂ්චික - ලේ රෝග
ඔබට එරෙහි සතුරු බලවේග එළිපිට ක්‍රියාත්මක වන්නාවූත් කාල වකවානුවක් වනු ඇත. බෝවන රෝග, වෛරස් රෝග, ලේ ආශ්‍රිත පීඩා ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව අවධානයෙන් සිටින්න. 
ධනු - සිත් අමනාපකම්
ඔබට එතරම් බලපෑමක් නොවුවද අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අය තම මිතුරන් සමග ගැටුම් ඇති කරගනු ඇත. ආදර වන්තයින්ගේ ප්‍රේමයට බාධා ඇති වන අතර එනිසා සිත් අමනාපකම් ඇතිවනු ඇත.
මකර - හදිසි ශරීර පීඩා
භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට හදිසි ශරීර පීඩා ඇති විය හැකි බැවින් අවධානයෙන් යුක්තව කටයුතු කිරීම යහපත් වනු ඇත. තම සිතට වද දෙන ප්‍රශ්න ඇති වනු ඇත. නව දේපල වාහන මිලදී ගැනීමේදී කල්පනාකාරී වීම වැදගත්වේ. 
කුම්භ - අනවශ්‍ය කරදර
තම සහෝදර සහෝදරියන්ට තරමක් අයහපත් වකවානුවක් වනු ඇත. ගමන් වලින් තමාට අනවශ්‍ය කරදර ඇතිවනු ඇත. කලා හා ලේඛන කටයුතු වලට සම්බන්ධ අයට යම් යම් ප්‍රශ්න ගැටලු වලට මුහුණ පෑමට සිදුවනු ඇත.
මීන - තැන්පත් ධනය වැයවේ
ඔබගේ පවුල් දිවියේ සමගියට බාධාවක් ඇති වන්නාවූත් කාල වකවානුවක් වනු ඇත. තම තැන්පත් ධනය අනවශ්‍ය ලෙස වියදම් වනු ඇත. වෛරස් රෝග ලේ දෝෂ ඇතිවනු ඇත. 

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය 
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපොළ