2017 මැයි 06 වන සෙනසුරාදා

Media ඛේදවාචකයට මමත් වැරදිකාරයෙක් !

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 239

අප රටේ ජනසන්නිවේදන අධ්‍යයනයේ පුරෝගාමියකු වන සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර නිර්මාණ ක්ෂේත්‍ර කිහිපයකම පැතිරුණු ප්‍රතිභාව දක්වන්නෙකි. නාට්‍ය අධ්‍යක්ෂණය, ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදනය, කාව්‍ය, නවකතා මෙන්ම චරිතාපදාන ද ඔහුගේ නිර්මාණවලිය අතර වේ. තම ජීවන අත්දැකීම් අළලා රචිත මුදු දිය දහරක් ඔහුගේ අලුත්ම කෘතියයි. එය මරදාන දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි. 

සාහිත්‍ය ක්ෂේත්‍රයේ විවිධ ඉසව්වල නිර්මාණ බිහිකරන ඔබේ නවතම නිර්මාණය මුදු දිය දහරක ගැන පැවසුවොත්?
මගේ ජීවන මතක සටහන් සහිත ලිපි පෙළක් මේ කෘතියට ඇතුළත්. කෘතිය ආරම්භ වන්නේ 1944 දෙවැනි ලෝක යුද්ධ සමයෙන්. ඊට පසු ක්‍රමයෙන් ජීවිතය දිය දහරක්සේ ගලාගෙන යන ආකාරයයි මෙහි ඇතුළත් කර තිබෙන්නේ.

මේ පොතට ලැබුණු පාඨක ප්‍රතිචාර කෙසේද?
ඇත්තටම මම හිතුවට වඩා පාඨකයන්ගෙන් පොතට ඉල්ලුමක් තිබෙනවා. හිතන විදිහට ළඟදිම ‍ද‍ෙවන මුද්‍රණයත් පළ කිරීමට වේවි. 

ඔබේ ජීවිත මතක සටහන් සියල්ල මෙහි ඇතුළත් කළාද?
දැන් ආපසු හැරී බලනවිට පේනවා මඟහැරුණු තැන් තිබෙන බව. අපි ඉගෙනගත් ආනන්ද විද්‍යාලයේ ශාඛාවක් ගම්පහ බැන්ඩියමුල්ලේ තිබුණා. ඒ ලෝක යුද්ධය සමයේ පැවති බියකරු වාතාවරණය නිසා. ඒ සිද්ධිය වගේ මතක සටහන් කිහිපයක් මෙහිදී මඟහැරී තිබෙනවා. ඒ වගේම මම එංගලන්තයේ බ්‍රිතාන්‍ය ගුවන්විදුලියට යාමේ සිද්ධියෙන් පොත අවසාන වෙනවා. 

පොතේ ඉතිරි කොටස් ලියන්න අදහසක් නැද්ද?
ලිවීමට අවශ්‍යතාවයකුත් තිබෙනවා. ඒත් අලසකමකුත් තිබෙනවා. ඒ වගේම කාර්යබහුලකමත් නිසා එය මඟ හැරෙනවා.

ඔබේ පොතට හොඳ ඉල්ලුමක් තිබෙන බව කිව්වත් සමාජයේ මතයක් තිබෙනවා පොත් කියවීම අඩුවී ඇති බවට?
හොඳ පොත් ඉල්ලන පාඨක පිරිසක් ඉන්නවා. අප රටේ මහජන පුස්තකාල, පාසල් පුස්තකාල කොතරම් තිබෙනවද? ඒත් පොත් දාහක් විකුණගන්න අමාරුයි කියලා ලේඛකයෝ කියනවා. මගේ පොත් නම් අලෙවි වෙනවා.

අද පුවත්පත්වල තීරුලිපි බහුලව පළවෙනවා. ජන සන්නිවේදන මහාචාර්යවරයකු ලෙස ඒ ගැන අදහස කුමක්ද?
උත්තම ගණයේ තීරු රචනා කියලා කොටසක් තිබෙනවා. මානවසිංහගේ වගතුග වගේම සිරිලාල් කොඩිකාර කවියෙන් ලියූ රංචාගොඩ ළමයාත් එයට ඇතුළත් කළ හැකියි. දයාසේන ගුණසිංහගේ රයිගම්රාළත් හොඳ ගණයේ එකක්. පෙරමුණේ තිලක, ඩේවිඩ් කරුණාරත්න වගේ අයත් ඒ ගොඩට දාන්න පුළුවන්. තීරු ලිපියක් ලියනවිට තමන් ළඟ ලිවීමට සම්පත් හා තොරතුරු තිබීම අවශ්‍යයි. අද ලියන වැඩි දෙනකුට ඒ සම්පත් හා දැක්ම තියනවද කියන එක සැකයි. හුඟ දෙනෙක් ලියන්නන් වාලේ ලියනවා. ඒ වගේම පර් ෙය්ෂණ තීරු ලිපි කියලා කොටසකුත් තිබෙනවා. ලංකාවේ ඒවා අඩුයි. නමුත් තවත් කොටසක් ඉන්නවා ලිවීමට අවශ්‍ය තොරතුරු හිඟ නමුත් ලියන අය. නමුත් ඔවුන් පහසුවෙන් ලියනවා. සිනමාකරුවෝ දේශපාලකයෝ ගැන. කනබොන හැටි, ඕපාදූප වගේ දේවල්, කසාද ගැන. මේ කට්ටිය වැහි වැහැලා. 
ඔබ ගුවන්විදුලිය හා සම්බන්ධවී ගෙවූ කාලය ගැනත් මේ පොතේ සඳහන් වෙනවා.
ඔව්... වැඩි කොටසක් තිබෙන්නේ ඒ සම්බන්ධ කතා පුවත්. මම කුඩා කාලයේ වැඩි ඇල්මක් දැක්වූයේ ගුවන්විදුලියට. ගුවන්විදුලියේදී මහාචාර්ය සරච්චන්ද්‍ර, පී. වැලිකල, කරුණාරත්න අබේසේකර වැනි විශිෂ්ටයන් හඳුනාගත්තා. යෞවන සමාජය, ශාස්ත්‍රීය සංග්‍රහය, ගුවන්විදුලි රඟමඩල වගේ ඒවාට සම්බන්ධ වුණා. 

ගුවන්විදුලිය ආශ්‍රයෙන් මහගමසේකර, කරුණාරත්න අමරසිංහ, දයාරත්න රණතුංග, තිලක සුධර්මන් ද සිල්වා, අශෝක කොළඹගේ, බණ්ඩාර කේ. විජේතුංග, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර වගේ හිතවතුන් හඳුනාගැනීමට ලැබුණා. 
එදා ගුවන්විදුලියේ ඔබත් ඇතුළු පිරිස විශිෂ්ට වැඩසටහන් කළේ අඩු පහසුකම් යටතේ. අද වැඩි පහසුකම් තිබුණත් හොඳ වැඩසහන් නැහැනේ.
ඔව්. අපි අඩු පහසුකම් යටතේ වුණත් හොඳ පුහුණුවක් ලැබුවා. ඒ වගේම ශික්ෂණයක් තිබුණා. එදා පුහුණුව දුන්නේ යමක්කමක් දන්න අය. අද පුහුණුව දෙන්නෙ කවුුරුන්ද කියලත් දන්නේ නැහැ. අපේ ජීවිතවලට බලපාපු අපි ආදර්ශ ලබාගත් චරිත එදා ගුවන්විදුලියේ කොරිඩෝවලදී හමු වුණා. ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම්, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, ඩී.ටී.එල්. ගුරැගේ, ඩී.එම්. කොළඹගේ, දේවගැති එස්.ජී.එස්. වීරසිංහ, ආනන්ද සමරකෝන්, ඩබ්ලිව්.ඩී. අමරදේව, දයානන්ද ගුණවර්ධන, එඩ්වින් සමරදිවාකර, ගුණසේන ගලප්පත්ති වගේ දැවැන්තයෝ. අපට ඔවුන් බලපෑවා.

නමුත් අද ගුවන්විදුලි නාලිකාවල තාක්ෂණය පමණක් ඉදිරියට ඇවිත් බවයි පේන්නේ?
ඔව්. ඒක වැරදියි. Man behind the Machine කියලා න්‍යායක් තිබෙනවා. යන්ත්‍රය පිටුපස සිටින මිනිසායි බලවත් විය යුත්තේ. යන්ත්‍රය බලවත් වෙලා වැඩක් නෑ. 

එදා වගේ පිරුණු මිනිස්සු අද විද්‍යුත් මාධ්‍යයේ දකින්න නැත්තේ ඇයි?
පාසල් අධ්‍යාපනය බිඳ වැටීම මෙහි මූලික හේතුවයි. පෞරුෂ වර්ධනයට කාරණා තුනක් තිබිය යුතු බව ඇරිස්ටෝටල් කිව්වා. එක ජන්ම ලාභය. දෙක දෙගුරු. තුන ගුරු. නමුත් දෙගුරු වගේම ගුරැ අද බිඳවැටිලා. 
ඒ වගේම පාසලේ පරිසරය බලන්න. පාසල් පුස්තකාලවල පොත් තිබෙනවද? තියෙන්නේ ඉලක්ක පාඩම් පොත්. ඒ වගේ තැන්වල අධ්‍යාපනක් ලබන අය තමයි මාධ්‍ය ලෝකයට පිවිසෙන්නේ. ඉතින් ජනමාධ්‍ය බබලවන්න බැහැනේ. මීඩියා උගන්වනවා කියලා හැම ලයිට් කණුවකම ගහලා තිබෙනවා. නමුත් ඒවා නමට පමණයි.

අද ජනමාධ්‍ය අධ්‍යයනය ඛේදවාචකයක් වෙලා බව පේනවා නේද?
ඒ ඛේදවාචකයට හේතුව මම වගේ ගුරුවරු (සිනාසෙමින්). මමනේ මුලින්ම විෂය නිර්දේශය සකස් කළේ. අද ඒ විෂය නිර්දේශය වෙනස් කරලා කියලා ආරංචියි. නමුත් වෙනස් කළ විෂය නිර්දේශය ගැලපෙනවද කියලා තමයි අහන්න ඕනෑ. මාධ්‍ය ඉගෙන ගන්නා ශිෂ්‍යයන් බාහිර පතපොත බහුලව කියවිය යුතුයි. ද්විභාෂා ප්‍රවිණත්වයක් ලබාගත යුතුයි. එහෙම වුණාහම තමයි පරිණත මිනිසුන් බිහිවෙන්නේ. 

දැන් විද්‍යුත් මාධ්‍ය බහුලව උත්සාහ කරන්නේ තම නාලිකාව මාකටිං කිරීමට නේද?
ඒක නම් ඇත්ත. නමුත් පාරිභෝගික සමාජයක ඒක වළක්වන්න බැහැ.

සම්මානනීය සාහිත්‍යකරුවකු ලෙස අද රටේ සාහිත්‍යය ඉගැන්වීම ඔබ දකින විදිහ ගැන කිව්වොත්?
අද රටේ නැති එකම දේ තමයි තුලනාත්මක සාහිත්‍යය ඉගැන්වීම. දැන් සාහිත්‍යකරුවෝ සිංහලවත් දන්නෙ නැහැ. ඉස්සර හාමුදුරුවරු, ගුරුවරු පාලි සංස්කෘත පවා දැනගෙන හිටියා. අද එහෙම භාෂා විශාරදත්වයක් දැකීම අසීරුයි.

 කුසුම්සිරි

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00