2017 මැයි 06 වන සෙනසුරාදා

කෘෂිකර්මය කරුමයක් වෙන ලකුණු

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 228

2016 වසරේදී කෘෂිකාර්මික කටයුතුවල එකතුකළ අගය 2015 වසරේදී අත්කරගත් සියයට 4.8ක වර්ධනයට සාපේක්ෂව සියයට 4.2කින් පහත වැටුණි. විශේෂයෙන්ම වසරේ දෙවැනි කාර්තුවේදී පැවැති ගංවතුර සහිත කාලගුණික තත්ත්වය මෙන්ම වරින්වර පැවැති වියළි කාලගුණික තත්ත්වයන් වැනි වසර පුරාම පැවැති අයහපත් කාලගුණික වාතාවරණය කෘෂිකාර්මික කටයුතු අඩාලවීමට ප්‍රධාන වශයෙන් හේතුවිය. ඒ අනුව වී, තේ, රබර් සහ පළතුරු වගාවන්හි එකතු කළ අගය පහත වැටීම කෘෂිකාර්මික කටයුතුවල වර්ධනය පහත වැටීම සඳහා ප්‍රධාන ලෙස හේතු වූ අතරම ධාන්‍ය වගාව, එළවළු වගාව, තෙල් සහිත පළතුරු භෝග වගාව මෙන්ම පැළ බෝකිරීම සහ කෘෂිකාර්මික කටයුතු සඳහා වන ආධාරක කාර්යයන්හි එකතු කළ අගයද වසර තුළදී පහත වැටුණි. (2016 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව  - 51 පිට)

2015 වසර හා සසඳා බැලීමේදී කෘෂිකර්ම අංශයේ වර්ධනය -4.2 ක ප්‍රතිශතයක් වීම පිළිබඳ විශේෂයෙන් සලකා බැලිය යුත්තේ ශ්‍රී ලංකාව තවමත් කෘෂිකර්මය මත පදනම් වූ රටක් ලෙස පිළිගෙන ඇති බැවිනි. අතීතයේ සිටම ශ්‍රී ලංකා ආර්ථිකයට කෘෂිකර්මයෙන් දුන් දායකත්වය අපේ රජ සමය වෙතටද යයි. මහ පැරකුම්බා රජු සමයේ ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට පත්ව තිබූ අයුරුද, අහසින් වැටෙන එක වැහි බිඳක් හෝ කෘෂිකර්මාන්තයට යොදා නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොදෙන බවට එම රජු කර තිබූ ප්‍රකාශයද අපගේ සිහියට එයි.

එසේ වුවද බොහෝ ආණ්ඩු කෘෂිකර්මය පිළිබඳ සැලකිලිමත් නොවී කාර්මික සහ සේවා අංශවලින් රටේ ආර්ථිකය වර්ධනය කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට තිබුණි. ශ්‍රී ලංකාව වැනි සමතෝෂ්ණ දේශගුණයක් පවතින, කෘෂිකර්මයට යොදාගත හැකි භූමි සහ ශ්‍රම සම්පත බහුල රටක කෘෂිකර්ම සංවර්ධනය මගින් ආර්ථිකය නංවාලිම පිළිබඳ ආණ්ඩුවල අවධානය මෙයට වඩා යොමුවිය යුතුය.

2016 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අනුව ගම්‍ය වන්නේ 2015 වසර හා සැසඳීමේදී වී වගාව -31.0ක ප්‍රතිශතයක්ද ධාන්‍ය වගාව -10.5ක් සහ එළවළු වගාව -2.1ක වශයෙන් පහත වැටී ඇති බවය. එසේ වුවද 2014 හා සැසඳීමේදී 2015 වසරේ සමස්ත කෘෂිකාර්මික නිෂ්පාදන සියයට 6.4ක, වී වගාව 42.6ක, ධාන්‍ය වගාව 9.3ක, එළවළු වගාව 0.2ක ආදී වශයෙන් වර්ධනය වී තිබූ බව පෙනේ. එසේ තිබූ ධනාත්මක තත්ත්වය 2016 වනවිට ඍණ අගයන් දක්වා පහත වැටීම පිළිබඳ විශේෂයෙන් සොයාබැලිය යුතුය.

මේ පිළිබඳ නිදහසට කරුණු දක්වන ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ගංවතුර, නියඟය සහ වසර පුරාම පැවැති අයහපත් කාලගුණික තත්ත්වය මේ ප්‍රතිඵලයට බලපෑ බවය. එසේ වුවද කෘෂි නිෂ්පාදන පහත වැටීම හුදෙක් රටේ කාලගුණික විපර්යාසවලට බාරදී ඇඟ බේරාගත හැකිදැයි සිතීම උගහටය. එයට හේතුව රටක කාලගුණය සැමදාම එක ලෙස නොපවතින නිසා එලෙස විෂම වන කාලගුණික පරිසරයට මුහුණදීමට ක්‍රම සහ විධි යෙදීම අවශ්‍ය වීමය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය බුද්ධි මාරඹේ:

2016 වසර තුළ මෙරට කෘෂිකර්මාන්තයේ වර්ධනය පසුගිය වසර හා සැසඳීමේදී සියයට 4.2ක ඍණ අගයක් ගැනීම පිළිබඳ විශේෂයෙන් සාකච්ඡා කිරීම අවශ්‍යයි. මෙයට හේතු සාධක කවරේද? මෙම තත්ත්වය අවම කරගැනීම සඳහා ගත හැකි තීන්දු තීරණ මොනවාද? යන්න පිළිබඳ පුළුල් සංවාදයක යෙදීම අවශ්‍ය වන්නේ අපේ රට කෘෂි ආර්ථිකය මත පදනම් වූ රටක් නිසායි.

මෑත කාලය දෙස පමණක් නොබලා රටේ දේශීය නිෂ්පාදනයට කෘෂිකර්මයේ ඇති දායකත්වය 2010 වසරේ සිට බැලීම සුදුසුය. 2010 වනවිට ජනවාර්ගික යුද්ධය නිමා වී උතුරු නැගෙනහිර පළාත්ද කෘෂිකර්මාන්තයට සම්බන්ධ වීම සිදුවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2009 වසරට සාපේක්ෂව 2010 වසරේ සියයට 7කින් කෘෂිකර්මාන්තය වර්ධනය වී ඇත. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 8ක ප්‍රතිශතයකි.

එසේ වුවද ඊට පසු 2010 සිට 2013 දක්වා වසර හතරේදී කෘෂිකර්මාන්තය විශාල ලෙස පසුබැසීමකට ලක්වූ බව කිව යුතුය. 2010 සියයට 7, 2011 -4.6, 2012 -3.7 හා 2013 දී -3.2 ආදී වශයෙන් වර්ධනය පහත වැටුණි. 2014 හා 2015 යනු විශේෂිත වර්ෂ වන අතර එහිදී සියයට 4.6 හා 4.8 බවට වර්ධනය විය. එහෙත් 2016 වනවිට වර්ධනය සියයට -4.2ක ඍණ අගයකට ඇදවැටීම ඛේදජනකය. මෑත කාලයේ වැඩිම වර්ධනය වූයේ 2012 වසරේ වූ සියයට 9.1යි. එම තත්ත්වය ඉහළ නොගියද 2013 – 3.4 2014 - 5.0 2015 - 4.8 ආදී වශයෙන් පැවතුණි. 

පසුගිය වසර 6 දෙස බලනවිට දළ දේශීය නිෂ්පාදනය පදනම්ව විචල්‍යතාවයෙන් යුතු වර්ධනයක් ඇතිවූ බව පෙනේ. 2015 සියයට 4.8ක වර්ධනයක් පෙන්වූ කෘෂිකර්මාන්තය 2016 වනවිට 4.2 ඍණ අගයක් ගැනීම පුදුම සහගතය. මෙයට හේතු සාධක සොයාබැලීම වැදගත් වේ.

2012/13 වසරවල කෘෂිකර්මයේ වර්ධනයට දේශගුණික බලපෑම් ඇතිවිය. නියඟය හා ජලගැලීම් එයට හේතුවයි. එහෙත් 2014 හා 2015 ගොවිතැනට හිතකර වර්ෂ දෙකකි. 2016 මෙරට දේශගුණය විපරීත වී වසර 40කින් පසු ඇති වූ උග්‍ර නියං තත්ත්වයට මුහුණදීමට සිදුවිය. වසරේ මාස 11ක්ම වර්ෂාව අඩුව පැවතුණු අතර, මැයි මාසයේ දින 3කදී හදිසියේ මිලිමීටර් 300කට වැඩි වර්ෂාවක් පතිත විය. එහි අහිතකර ප්‍රතිඵල පිළිබඳ එක් උදාහරණයක් පැවසුවහොත් මාවනැල්ලේ සාමසර කන්ද නායයාම නිසා 93 දෙනෙක් පොළොවට වැළැලී ගියහ. එහිදී සිදුවූ සමස්ත ආර්ථික අලාභය ඩොලර් මිලියන 576ක් බව ලෝක බැංකුව පැවසීය. මෙය ඉතාම දරුණු ප්‍රතිවිපාකයකි. 2016 වසරේ මුල යනු 2015 මහ කන්නයේ අවසාන භාගයයි. 2015 කාලයේ ඉහළ අස්වැන්නක් ලැබුණි. එහෙත් 2016 වසර පුරාම වර්ෂාව නොලැබීම නිසා යල-මහ දෙකන්නයේම අස්වැන්න පාළුවිය. වාරි ජල සම්පත විශාල ලෙස අඩුවිය. මේ තත්ත්වය කෘෂිකර්මයේ වර්ධනයට ඉතාම අහිතකර විය.

වී වගාව 2015 වසරට සාපේක්ෂව 2016 දී සියයට -31කින් පහත වැටුණි. තේ -11.2, රබර් -10.7 පොල් -1.5 ධාන්‍ය භෝග -10.5 පළතුරු -3.7 එළවළු -2.1 ආදී වශයෙන් විශාල ලෙස පහළ ගියේය. එසේ වුවද මෙම තත්ත්වය දේශගුණයට පමණක් භාරදී ඇඟ බේරාගැනීමට නොහැකිය. අපගේ ඇතැම් ප්‍රතිපත්ති හා දේශපාලන තීන්දු ඉතාම අහිතකර ලෙස අස්වැන්නට බලපෑ බව පෙනෙන්නට තිබුණි. ඇතැම් තීන්දු තීරණ කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව ක්‍රියාත්මක කර ඇත. වර්ෂ ගණනාවක් සාර්ථක ප්‍රතිඵල පෙන්වූ තාක්ෂණ ක්‍රියාමාර්ග අත්හිටුවා ඇතැම් මෙවලම් ආනයනය කිරීම පවා තහනම් කෙරුණි. ඒවා අන්තවාදී තීරණ විය. එහි හොඳ නරක කෙසේ වෙතත් ඒ වෙනුවට සුදුසු විකල්ප ක්‍රියාමාර්ගයක්ද නොතිබුණි. යම් ලෙසකින් තාක්ෂණය අවභාවිත කරන්නේ නම් එය නිසි මගට ගැනීම මිස සම්පූර්ණයෙන් ඉවත් කිරීම නුසුදුසු වේ. ජනප්‍රිය තීරණ මගින් විද්‍යාත්මක පදනමක් නොමැතිව කටයුතු කිරීම අභාග්‍යයක් විය.

මෙම කාරණා සමඟ දේශගුණික විපර්යාසද නිසා කෘෂිකර්මාන්තය අඩාල විය. 2017 වසරට එළඹෙන විට වර්ෂාව අඩුවීම අපට අත්දකින්නට ලැබේ. මෙම තත්ත්වය මත 2017 දීද කෘෂිකර්මාන්තයේ වර්ධනයක් අපේක්ෂා කළ නොහැකිය. මේ නිසා 2017 වසර සඳහා වසර 5කට පසු යළිත් වරක් සහල් මෙට්‍රික් ටොන් මිලියන 2.7ක් අවශ්‍ය වන අතර මසකට අවශ්‍ය වන්නේ මෙට්‍රික් ටොන් එක් ලක්ෂ 2ක් පමණි. මේ සඳහා සහල් ආනයනය කිරීම දිගමට කළ නොහැක. එය විදේශ විනිමය නාස්තියක් මෙන්ම රටේ කෘෂිකර්මාන්තය තවදුරටත් අඩපණ කිරීමකි. ඒ නිසා සහල්වලින් අප ස්වයංපෝෂිත විය යුතුය.

මේ තත්ත්වයට මුහුණදීම සඳහා විද්‍යාත්මක පදනමකින් යුතුව පිළිගත් ක්‍රමවේදවලට අනුව කටයුතු කිරීම අවශ්‍ය වේ. හුදෙක් ජනප්‍රියතාව උදෙසා හදවතින් ගන්නා තීරණ වෙනුවට මොළයෙන් ගන්නා තීරණ ක්‍රියාත්මක කළ යුතුවේ. මේ සඳහා ප්‍රධාන කරුණු 3ක් සඳහා යොමුවිය යුතු බව පෙන්වා දෙමි.

(1) 2016 වසරේ යල සහ මහ කන්නවල වර්ෂාපතනයේ අඩුවීම පිළිබඳ කෘෂි දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යා අංශයෙන් කිහිපවරක්ම පුරෝකතන දී තිබුණි. පාලකයන් මෙන්ම ගොවියන්ද ඒ පිළිබඳ සලකා බැලුවාද යන්න ගැටලුවකි. අනාගතයේදීවත් එවැනි අනාවැකි පිළිබඳ වැඩි අවධානය යොමුකර තීරණ ගැනීම වැදගත් වේ.

(2) අනාවැකි පිළිබඳ විද්‍යාත්මක පැත්තෙන්ද යම් යම් අඩු ලුහුඩුකම් තිබේ. ඊළඟ කන්නයේ වර්ෂාව පිළිබඳ නිසි දේශගුණික පුරෝකතනයක් (Seasonal Climate Forecasting) කළ නොහැක. කන්නය ඇරඹීමට අඩු වශයෙන් මසකටවත් පෙර නිවැරදි අනාවැකි පළකළ හැකි නම් එය ඉතා වැදගත්ය. එවිට කන්නය සඳහා කල්වේලා ඇතිව සැලසුම් කිරීමට පහසුවේ. 2012 වසරේ සිට විදේශ රටවල සහය ලබාගෙන මාද සම්බන්ධ වූ කණ්ඩායමකින් නිවැරදි පුරෝකතන සකස් කිරීමට උත්සාහ කළද අවාසනාවකට මෙන් එය ව්‍යර්ථ විය. මේ පිළිබඳ ඉදිරියේදී මෙයට වඩා අවධානය දක්වා අවශ්‍ය අනාවරණයන් කළ යුතු වේ.

(3) කෘෂිකර්ම පාරිසරික කලාප 46 කින් ශ්‍රී ලංකාව සමන්විතය. එම කලාප 46 ම වගාකළ නොහැකි නමුත් වඩා වැදගත් වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ අනුව දේශගුණයට අනුරෑප වන පරිදි භෝග වගාකිරීමට අපට සිදුවේ.

මෙම කාරණා 3 අනුව අප ඉදිරියේදී කටයුතු කළ යුතු අතර, එය ප්‍රතිපත්ති සම්පාදකයාට, ක්‍රියාත්මක කරන්නාට හා කෘෂිකර්මාන්තයේ නියැලෙන අයට වැදගත් වේ. අප වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටින්නේ අනාගතයේදී කෘෂිකර්මයේ ඵලදායීතාව ඉහළ නැංවීමට නම් කෘෂිකර්මාන්තයට අදාළ තීරණ ගැනීමේදී නවීන විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන කටයුතු කළ යුතුය යන්නය. එසේ නොමැතිව පදනමක් නැති ජනප්‍රිය දේශපාලන තීන්දු ගැනීමෙන් වැළකී සිටීම වැදගත් වෙයි.

ලොව සමස්ත සහල් නිෂ්පාදනයෙන් වෙළෙඳ පොළට යැවිය හැක්කේ සියයට 4-5 සුළු ප්‍රමාණයක් බව අප අමතක නොකළ යුතුය. ඒ නිසා අපට අවශ්‍ය තරම් හිතූමතයට මිලට ගත නොහැක. ඉදිරියේදී මෙම තත්ත්වය තවත් උග්‍ර වනු ඇත. රටවල් ආරක්ෂිත තොග ලෙස වැඩිපුර සහල් ගබඩා කර තැබීමට උත්සාහ කළහොත්, වෙළෙඳපොළට එන සහල් ප්‍රමාණය තවත් අඩුවනු ඇත. ඒ නිසා සහල් ආනයනය මෙයට සාර්ථක විසඳුමක් නොවේ. සහල් පාරිභෝජන රටාව වෙනස් කිරීමට අපට නොහැකි අතර ප්‍රධාන ආහාරය වන බත අපේ සංස්කෘතිය හා බැඳී පවතී.

එසේ වුවද පසුගිය වසරවල් දෙස බලන විට අපේ සහල් පාරිභෝජනය ස්වල්ප වශයෙන් අඩුවන බවක් දක්නට ඇත. 2015 වසරේදී සහල් කිලෝ 115ක් ආහාරයට ගත් අප 2016දී පරිභෝජනය කළේ කිලෝ 110 ක ප්‍රමාණයකි. සහල්වලට විකල්ප ලෙස පාවිච්චි කරන තිරිඟු පිටිවල මිලද රටේ සහල් පාරිභෝජනයට බලපායි. ආහාර සුරක්ෂිතතාවට එල්ල වන තර්ජන ප්‍රධාන ආහාරය සැපයීමට බලපාන නිසා අපේ රටේ කෘෂිකර්මාන්ත අංශය, විශේෂයෙන් වී වගාව සාර්ථක කරගැනීම සඳහා රජය විශේෂ කැපවීමකින් කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමු.

 යසවර්ධන රුද්රිගු

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00