2017 මැයි 06 වන සෙනසුරාදා

ගිනිදන පොළොවේ මහමෙර උස්සන කොළඹ නාට්ටාමිලා

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 561

කොළඹ දෙවැනි තුන්වැනි හරස් වීදිවලදී අපි ඔවුන් මුණගැසුණෙමු. වෘත්තියෙන් ඔවුන් නාට්ටාමීන්ය. එහෙත් ඔවුන්ද ඔබ හා මා අයත් මනුසත් කුලයට අයත් වූවන්මය. කශේරුකාව තුදුස්වක ගැසෙන තෙක් ඔවුන් ඉසිලිය නොහැකි තරම් බරක් උසුලන්නේ එකෙකු පරයා එකෙකු ලෝක වාර්තා තැබීමට නොවේ. ඔවුන් දෙඅතින් ගත් බර කොඳු කැඩෙන තුරු උසුලන්නේ ජීවන බරට උරදෙනු පිණිසය. දරුවන් අඹුවන් මවුපියන් රකින යුතුකම් වගකීම් කොටස අවමයෙන් හෝ ඉටුකිරීමේ යුතුකමට වගවෙනු පිණිසය. මන්දිර තනන හීන ඔවුන්ගේ ජීවන අවශ්‍යතා ලැයිස්තුවේ නැති වුවත් වේල පිරිමසාලීමේ වගකීම, තමන්ට දිනාගත නොහැකි වූ ලෝකය දරුවන් අබිමුවේ හෝ  යථාවක් බවට පත්කිරීමේ අභිලාෂ ඔවුන්ගේ පපු කැනැත්තේද නොතිබෙන්නට හැටියක් නැත.

කුඩු, ගංජා, මත්පැන් මෙන්ම ගණිකා ඇසුරටද රුසියන් වූ නාට්ටාමින් ඔවුන් අතර එමටය. නට්ටාමින් ලෙස ගිනිදන නගරයේ ඇවිලෙන මද්දහනේ නොහිම් ජීවන අරගලයක කොටස්කරුවන් වූ ඔවුන්ගේ ජීවිතවල පත්ල හදවතින් ස්පර්ශ කරද්දී හමුවන ඉසියුම් සංවේදී නිම්නයන්ද එමටය. ආත්මීය දුක්කඳු සිරස දරාගත් ඔවුන්ගේ කට්ට කෛරාටිකකම්ද එමටය. එහෙත් ජීවිතය විඳින ඉසිඹුන් සොයා කුඩු ගංජා මත්පැන් ගණිකාවන්ට ලොල්වන මානසිකත්වය විනිවිද ඔවුන් වෙතින් දැනෙන නිරායාස මනුෂ්‍යත්වයේ ඉසව්ද කොතෙකුත්ය.

කිලෝ ගණන් බර උසුලන ඒ සිරුරු තර කරන්නට පෝෂ්‍යදායී ආහාර පාන, පාන වර්ග තබා පිඟානක් පිරෙන්නට බත් පතක්වත් ඔවුන්ට නැති දවස් නැතුවාම නොවේ. දුක ආත්මකොටගත් ඒ මිනිසුන්ගේ ජීවිත අස්සට එබෙන්නට අපි යත්න දැරැවේද එහෙයින්මය. සැබෑ කම්කරුවන් වූ ඔවුන්ගේ ජීවිත උදෙසා පෙරවදන් ලියන්නට අපි උත්සුක නොවෙමු. අප උත්සාහ කළේ ඒ ජීවිත උන්ගේ දහඩිය සුවඳ සමඟ කියැවීමට පමණි. 

මළු වලින් තැලී පොඩිවුණ තක්කාලි, මාළු මිරිස් වැනි එළවළුවලින් ගලනා ඉස්ම නාට්ටාමිගේ උරහිස පුරා ගලාගෙන ගියේය. බෙල්ල පුරා ගලාගෙන ගියේය. දෙකඩ තුනට කුදු ගැහුණු නාට්ටාමින්ගේ ජවිතේ සතුටට වඩා දුකේ මායිම ළංව තිබුණේය. සතුට ඔවුන්ගේ හිත් මායිමෙන් ඈතට විහිදී ගියේය.

මැනිං වෙළෙඳපොළ අවට හුඟ දෙනෙකුට සුරපුරක් වූයේ නැත. කොළඹ නගරයට එන බොහෝ පිරිසක් ප්‍රධාන බස් නැවතුමට, දුම්රිය පොළට දිවයන්නේ නියමිත ගුවන් යානය පිටත්ව යාමට ආසන්නයේ ගුවන් තොටුපොළ දිවයන මගියකු සේය. මොවුන් අතරින් විශාල මලු උසුලාගෙන නාට්ටාමින් දිවයන්නේ මුළු පිටකොටුවම තමන් සතු බූදයක් සේ කෑගසාගෙනය. කරත්ත තල්ලු කරන නාට්ටාමින් තම කරත්තය තල්ලු කර පාරේ දිවයන්නේ හදිසි ගිනි නිවීමේ රථයක් රැගෙන යන පරිද්දෙනි.

නාට්ටාමින්ගේ ජීවිත කටුකය. ඔවුන්ගෙන් බහුතරය මත්පැනට, මත්කුඩට, ගංජාවට පුරුදු වූවන්ය. බොහෝ නාට්ටාමි තම රාජකාරි කටයුතු පටන්ගන්නේ සුපුරුදු පරිදි සූස්තියක් හෝ මත්කුඩු පැකට්ටුව සප්පායම් වීමෙන් පසුවය. කුඩු පැකට්ටුව නැත්නම් ඔවුන් බොහෝමයකට ත්‍රිලක් නැත. ගැම්මක් නැත. ඇඟට ෆිට් එකක් නැත. බර උසුලන්නට ශරීර කූඩුව ෆිට් නැත. කුඩු ගංජා මහිමයෙන් ඒ බොහෝ දෙනා රොබෝවරුන් සේ වැඩකරති. නමුත් ඇඟේ හයිය කුඩු පැකට්ටුවෙන් නාට්ටාමිලාට පැමිණියත් බොහෝ නාට්ටාමිලාගේ මනුස්සකම් කුඩු පැකට්ටුව විසින් උදුරා ගනී.

ඇතැම් නාට්ටාමිලා කරත්තය තල්ලු කරගනිමින් යද්දී ඕනෑකමින්ම ගැහැනුන්ගේ ඇඟේ හැපේ. එසේත් නැතිනම් කාන්තාවන්ට විසිල් ගහයි. මෙවැනි දේවලින් ඔවුහු පහත් මානසික සතුටක් විඳිති. තම ඇඟේ පතේ අමාරුව නිවා ගැනීමේ එක් මාර්ගයක් ලෙස ඔවුහු ගණිකා ඇසුරට ඇබ්බැහි වී සිටිති. ඉහළ පැළැන්තියේ ඇතැම් මහත්තුරු රට සවාරිවල යෙදෙමින් නැතහොත් තරුපහේ හෝටල්වල කාමර තුළ ටොප් ලෙවල් ගණිකාවන් සමඟ කරන ක්‍රියාවම ඔවුන් උදේට බඩු අදින කරත්තය තුළ හෝ ඕනෑම අගුපිලක කරන්නට සූදානම්ය. මේ යථාවයි. මේ සියල්ල අප මෙලෙස සටහන් කරන්නේ යථාර්ථය නොසඟවා හෙළිදරව් කිරීමේ අභිප්‍රායෙන් මිස චෝදනා මුඛයෙන් නොවන බවත් මේ කරුණු සියලු නාටාමින්ට එකසේ වලංගු නොවන බවත් අපි ඒ අතරම අවධාරණය කරමු.

කොළඹ පිටකොටුව මැනිං වෙළෙඳපොළේ මහා දවලේදීද නාට්ටාමිවරු තම රාජකාරියේ නිරත වෙති. පරිප්පු හොද්දක පොඟවා ගත් පාන් බාගයකින් කුස පුරෝගන්නා ඇතැම් නාට්ටාමිවරු පෝෂ්‍යදායී ආහාර වේලකට වඩා මත් පැකට්ටුවකට මුදල් වැය කරති. මේ නිසාම බොහෝ නාට්ටාමිවරු එදත් අදත් බොහෝදුරට හෙටත් දිළින්දෝය.

නාට්ටාමින් දවසකට රුපියල් හත්සිය පනහක් පමණ අවම මුදලක් උපයති. බොහෝවිට ඔවුහු දෙදාහක් තුන්දහක් පමණ දවසේ වැටුපක්ද සොයා ගනිති. නමුත් ඒ හොයන රුපියල් ඔවුන් බොහෝ දෙනා ගිනිවතුරට යට කරති. එමෙන්ම නාට්ටාමින්ගේ පහස ලබන්නට වීදි ගණිකාවන් නිතර නිතර මේ කරත්ත වටා එක්රොක් වෙති. ඔවුන්ට කතා කරන්නට දුරකථන තිබුණේ නැත. තිබුණත් දුරකථනයෙන් කතා කොට වෙලාවක් වෙන්කරගන්නට තරම් අවශ්‍යතාවයක්ද ඔවුන්ට නැත. ඉඟිබිඟි පාන්නට ඔවුන්ට වෙනමම සංඥාවන්ද තිබුණේ නැත. තිබුණේ එකම එක වාග් රටාවකි.

හවසට වරෙං කරත්තේ උඩට...... (හිස් තැන සම්පූර්ණ වන්නේ පොදු සමාජය තුළ කුණුහරුපයක් යැයි සම්මත වූ වචනයකිනි) 

නාට්ටාමිවරු වීදි ගණිකාවන් කුලී කාමරවලට රැගෙන යන්නේ නැත. දෙනෝ දාහක් දෙනා ගැවසෙන නොනිදන පිටකොටුව රෑ ජාමයට නිශ්ශබ්ද වෙද්දී පාළුවට ඇරුණු පාරක් තුළ නාට්ටාමින් හා වීදි ගණිකාවෝ නිරාවරණ මහපාරේම කොහේ හෝ අස්සක මුල්ලක රති ක්‍රීඩාවේ නිරත වෙති. ඔවුන් හිතේ හැටියට තම අවශ්‍යතා සපුරා ගන්නේ සුව සයන මත නොවේ. දවස තිස්සේ හම්බකරගන්නට ‍ෙයාදාගත් කරත්ත මතය. උදේට කරත්තය රාත්‍රියට සයනයකි. උදේට එළවළුවලින් වැගිරෙන ඉස්මෙන් තෙත් වන කරත්ත රෑට තෙත් කරන්නේ රති ක්‍රිඩාවේ ශේෂයන් විසිනි. බිරිය ළිපේ ගින්දරත් එක්ක ඔට්ටු අල්ලද්දී නාට්ටාමින්ගේ මුදල් සියල්ල එක මොහොතකින් වීදි ගණිකාවන් නතු කර ගන්නා අවස්ථාද විරල නොවේ. 

සිරිමානකරම් තොටළඟ ප්‍රදේශයෙන් ආ පිටකොටුව මැනිං වෙළෙඳසලේ නාට්ටාමියෙකි. අවුරුදු පහළොවක් තිස්සේ මෙම රාජකාරියේ සිටි ඔහුගේ පියා ඇඳුම් මසන්නෙකි. නමුත් අවාසනාවකට සිරිමානකරම්ට තාත්තාගේ රැකියාව උරුම වූයේ නැත. පාසල් කාලයේදීම කට්ටි පනිමින් සෙල්ලක්කාර ජීවිතයක් ගත කළ ඔහු එදා පිටකොටුවට ගොඩවැදුණේ කීයක් හෝ හම්බ කරගන්නටය. තම පියා ගමේ මිනිසුන්ට හැඩකාර ඇඳුම් මසද්දී සිරිමානකරම් කුණු ගෑවුණු අපිරිසිදු ඇඳුමක් ඇඳ අදද පිටකොටුවේ බඩු අදී. සිරිමානකරම් විවාහකයෙකි. දූවරු තිදෙනෙකුගේ පියෙකි. වැඩිමහල් දියණියට වයස අවුරුදු විසිතුනකි. දියණියන් දෙදෙනකුම දීග දුන් මේ තාත්තා අද බාල දියණිය හා බිරිය සමග තොටළඟ ජීවත් වේ. උදේ පාන්දර හතරට පමණ පිටකොටුවට පැමිණෙන සිරිමානකරම් හවස පහමාර වනතුරු බඩු කඳන් සමඟ ඔට්ටු අල්ලයි. ඔහු ඇතැම් දිනවල දෙදාස් පන්සියයක් සෙවූ කාලයක්ද ජීවිතේ මතක ඇත. අධික වර්ෂාව ඇති කාලයකදී ඔහු දවසකට හයසීයක් පමණ ඉපැයූ දිනද ඇත.

හැමදාමත් හවසට මත්පැන් වඩියකට ඔට්ටුවීම ඔහුගේ දින චරියාවකි. දවසේම මහන්සියෙන් වැඩ කර ඇඟේ පතේ අමාරැවට පොඩි අඩියක් ගන්නා බව ඔහු අප සමඟ පැවසුවේය.

මම එහෙම ලොකුවට බොන්නේ නෑ. මේක අමාරු රස්සාවක්. ලේසි නෑ. ඒත් මොනව කරන්නද තාත්තාගේ රස්සාව ඉගෙන ගත්තානම් අද මම මේ කිළිටි ඇඳුම් ඇඳන් ඉන්නේ නෑනේ. මොනව කරන්නද.... හම්බ කරගත්තු සල්ලිවලින් හවසට පොඩි අඩියක් ගහනවා. ඉතුරු සල්ලි ගෑනිට දෙනවා. ඒක තමයි ජීවිතේ. ගෝවින්දරාජන් නවගම්පුර ප්‍රදේශයේ ජීවත්වන නාට්ටාමියෙකි. අවුරුදු තිස් තුනක් පමණ එක්තරා වෙළඳසලක ඔහු ගෝලයෙක් ලෙස සේවය කළේය. නමුත් ඇතිවූ ගැටලුවක් හේතුවෙන් ගෝවින්දරාජන්ට එම රැකියාව අහිමි විය. අධ්‍යාපනයක් නොලත් කිසිම කාර්මික දැනුමක් නොලත් ගෝවින්දරාජන්ගේ එකම හයිය වූයේ හිතේ හයියයි. අවසානයේදී ගෙදර දරු පැටව් කුසගින්නේ කෑගසද්දී කිසිවකු ඔහුට රැකියාවක් නොදෙද්දී ඔහු නිවසේ බරත් එක්කම තවත් බරක් තම කරමතට ගත්තේය. බර දරාගන්නට ලේසි වූයේ නැත. නමුත් කරන්නට දෙයක් නැත. මේ බර දෙකෙන් එකක් හෝ බිම තියන්නට අද ඔහුට නුපුළුවන.

මේක ඇත්තටම පුදුම දුකක්. මගේ මේ කකුලකුත් අමාරුයි. උදේ පාන්දර ඇවිත් මේ බර උස්සනවා. සමහර වෙලාවට එකපාර කිලෝ හැත්තෑව අසූව උස්සගෙන පිටකොටුවේ අර කෙළවර ඉඳන් මේ කෙළවර එන්න ඕනේ. ඉතින් උස්සගෙන එනවා. ඊට පස්සේ මම පිටකොටුවේ කඩේකත් වැඩ කරනවා. ඒ කඩේ වළං හෝදනවා. පිඟන් හෝදනවා. ඒකත් පුදුම දුකක්. කල්දේරම් වැනි විශාල වළං.... මොනවා කරන්නද?

මට ළමයි දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නම් කසාද බැඳලයි ඉන්නේ. තව අවුරුදු තිහක විතර පුතෙක් ඉන්නවා. එයාට අසනීපයක් වෙලයි ඉන්නේ. ඉස්සර හොඳට හිටියා. ඒත් යාළුවෝ එක්ක බීලා රණ්ඩුවක් වෙලා එයාට කිසිදෙයක් මතකත් නෑ. ඔහේ ඉන්නවා. කතාබහ කරනවා. බීඩි බොනවා. බුලත් විට කනවා. සින්දු දාගෙන තමයි ඉන්නේ. වැඩක් කරන්නෙත් නෑ. අනේ මන්දා නෝනා... දැන් ඒ කොල්ලවත් බලන්නේ මම. හිතේ දුකට මම කරන්නේ බොන එක තමයි. හැබැයි වෙන කිසිම ජරා වැඩක් කරන්නේ නෑ. බොන එක විතරයි මගේ තියෙන වැරැද්ද....

බාබුල්ගේ උපන්ගම දැරණියගලය. නමුත් දැන් ඔහු පදිංචි වී සිටින්නේ මට්ටක්කුලිය ප්‍රදේශයේය. 1984 සිට ඔහු පිටකොටුව නාට්ටාමියෙකි. බාබුල්ගේ මාමා කෙනෙකුද නාට්ටාමියෙකි. මාමාගේ මඟ පෙන්වීම යටතේ ඔහු මේ රැකියාවට හුරුවිය. තම කරමතින් ඔහු බඩු මළු කරගසා ගෙන එයි. බඩු මිටිවලට අනුව ඔහුට මුදල් ලැබේ.

ඉස්සර නම් කිලෝ සීයක් එකපාර උස්සගෙන එන්න මේ ඇඟේ හයිය තිබ්බා. ඒත් දැන් අමාරුයි. ඒත් ලැබෙන මිටි කොහොමහරි මම උස්සගෙන එනවා. මේක තමයි දැන් අපේ ජීවිතේ. මම කසාද බැඳලා. ගෑනියි ළමයි දෙන්නයි මායි හිටියේ. ළමයි දෙන්නා බැඳලා. දැන් ඉතින් මායි ගෑනියි විතරයි. හවසට පොඩි කාලක් අරගෙන ගෙදර ගිහින් මම ඒක බොනවා. ඉතුරු සල්ලි ගෑනිට දෙනවා.

නාට්ටාමියකු ලෙසින් ජීවිතය ඇරඹි සුබ්‍රමනියම් අද සාමාන්‍ය ජීවිතයක් ගත කරන නාට්ටාමියෙකි. උදෑසනම තම ත්‍රිරෝද රථයෙන් පිටකොටුවට පැමිණෙන සුබ්‍රමනියම් නාට්ටාමි රස්සාව පටන් ගනී. සවස පහට හයට පමණ ඔහුගේ රාජකාරිය හමාර වේ. ඔහු නැවතත් තම සුපුරුදු රාජකාරිය අරඹයි. ඒ තම ත්‍රිරෝද රථය කුලියට දිවීමයි. පිටකොටුව පොදු නාන කාමරෙන් නා පිරිසිදු ඇඳුමක් ඇඳගන්නා ඔහු දවස අවසන් කරනුයේ හිතේ හැටියට මුදල් හම්බ කිරීමට වෙහෙසීමෙන් පසුය. නමුත් ඔහු එම මුදල් වීදි ගණිකාවන්ට යට කළේ නැත. වසර ගණනාවක් දුක් මහන්සියෙන් හම්බ කරගත් මුදලින් ඔහු තමාටම කියා නිවෙසක් ඉදිකර ගත්තේය.

ජීවිතේ සොඳුරුතම කාලයේදී අනුන්ගේ බර කරට ගත් සිරුර පුරා පච්ච කොටාගත් ඩෙනිම් කොට කලිසමක් පමණක් ඇඳ මහත යකඩ මාලයක් බෙල්ලේ බැඳ සිටි ඉසුරු හෙට්ටිගේ වයස අවුරුදු විසි ගණනක තරැණයෙකි.

ඔය නාට්ටාමිලාගෙන් නාකි අයට නම් සමහරු මහත්තරු කියන හොරු බොරුව දානවා. පුදුම විදිහට කේවල් කරන්නේ. අන්තිමට බඩුව ඒ හරි තැනට අරගෙන ගියාට පස්සේ ගාණ වැඩිනැද්ද අඩු කරමුද... කියලා අහනවා. මෙකේ රඟේ දන්නේ අපිනේ. සමහරැන්ට අපිව මාර සැකයි. අපි කුඩ්ඩෝ... හොරු කියලා තමයි ඒ අය කියන්නේ. අපි බඩු මල්ල කරට ගත්ත ගමන් හයියෙන් යනවා. මේවා උස්සගෙන හෙමීට යන්න පුළුවන් ඒවා නෙමෙයි. ඉතින් ඒ අය අපි පස්සේ දුවන් එන්නේ අපි හොරැ ගාණට දාලා. ඔහු පැවසුවේ පුපුරා යන තරම් ආවේගයකිනි.

පසුගියදා කම්කරු දිනය නිමිත්තෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නාට්ටාමිවරු 1500කට ජීවිත රක්ෂණාවරණයක් හඳුන්වා දුන්නේය.

පිටකොටුව නාට්ටාමින් එක්දාස් පන්සියයක් පමණ සිටිනවා. වයස අවුරුදු දහඅටේ සිට අවුරැදු අසූව දක්වා වයස් සීමාවන්වල මේ නාට්ටාමින් ඉන්නවා. කරත්තවලින් බඩු අදිනවාට වඩා බොහෝ නාට්ටාමින් තම උරෙන් වැඩි වශයෙන් බර අදිනවා...

පිටකොටුව මැනිං වෙළෙඳසැල් සංගමේ සභාපති ලාල් හෙට්ටිගේ මහතා දැක්වූ අදහස එයයි.බොහෝ වෙලාවට ගෝනියකට ලැබෙනුයේ රුපියල් තිහක මුදලකි. කරත්තයකටද ලැබෙනුයේ පටවන ඔළු ගණනටය. දවස් කුලියට ඇතැම් නාට්ටාමිවරු කරත්ත කුලියට ගනී. කෙසේ වෙතත් නාට්ටාමි වෘත්තිය යනු තවත් එක් රුකියාවකි. සමහරැන් කියන පරිදි එය පහත් පෙළේ නූගතුන්ගේ රැකියාවකි. එහෙත් වෘත්තීය ගෞරවයක් හා පුද්ගල අභිමානයක් ඔවුන්ටද හිමිය. එමෙන්ම ඔවුන්ගේ රාජකාරියේ ස්වභාවය කටුකය. දුෂ්කරය.

බොහෝ නාට්ටාමින් රාජකාරි කරන අතරතුරම මත් මතයට සින්දු කියති. කරත්ත ඇඟේ හප්පති. මේ සියල්ල අප තේරැම් ගත යුත්තේත් විචාරයට ලක්කළ යුත්තේත් සමාජ විද්‍යාත්මක පදනමක සිට මිස සම්මතවාදී සමාජ රාමුවේ එල්ලීගෙනද නොවේ. 

පාඨලී චම්පික ඇමැතිතුමා කොළඹ පුරවරයේ ඉන්නා නාට්ටාමිවරැ 1500කට ජීවිත රක්ෂණයක් ලබලා දෙනවා. මැයි 01 වැනිදා එතුමාගේ අතින් ඒ කර්තව්‍යය ඇරඹුණා. මේ වනවිට ඉතිරි රක්ෂණයත් අපි ප්‍රදානය කරනවා. ඒ ලාල් හෙට්ටිගේ මහතා කළ තවත් සඳහනකි.

කම්කරු දිනයදා බොහෝ දෙනෙක් කම්කරුවන්ගේ වෙනුවෙන් යැයි හඬ නැගූහ. නමුත් සැබෑ කම්කරුවා අදද මහපාරේය. අදද එදා සේම නිරත වන්ෙන් කටුක ජීවන අරගලයකය. දුෂ්චරිතවත් සමාජ දෘෂ්ටියක ගොදුරු ආකල්පයේය. අදද ඔවුන් තම ජීවන බර වෙනුවෙන් අනුන්ගේ බර උසුලන මිනිසුන් කොටසකි.

අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ වීරියනි රටවල් නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුණේ

එය එදාට වලංගුය. අදටත් වලංගුය. හෙටටත් වලංගු නොවෙතැයි නිශ්චයකට එළඹෙන්නට තරම් සාධනීය අද දවසක් අද නොදකින බව අවසන කනගාටුවෙන් වුව සඳහන් කර සිටිමු.

 දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ  l සුමුදු හේවාපතිරණ