සර්දාර් විහිළුවක් නොදන්නා ඉන්දියානුවෙක් නැති තරම්ය. ඉන්දියාවේ පමණක් නොව, ලෝකයේ අනෙක් ජාතීන් අතර ද, හාස්‍ය හා උපහාසය ප්‍රිය කරන අය, ''සර්දාර ජී'' ගැන දනිති.
ඔහු සිරි ලංකාවේ, මොට්ටපාල හෝ ඇම්ඩන් වැනි විකට චරිතයකට සමානය.
සර්දාර්, කාගේ නිර්මාණයක් දැයි කීමට කිසිවකු නොදන්නා නමුදු, ඔහු පංජාබියෙකි. හින්දුන්ගේ ඇසින් ඔහු සීකයෙකි. එහෙත් දැන් විහිළු තහළුවලදී සෑම ඉන්දියානුවකුම, ප්‍රාන්ත භේදයකින් තොරව සර්දාර්, ප්‍රයෝජනයට ගනිති.
සීකයන් තමන්ටම සිනාසීමට, හපනුන් ලෙසට ප්‍රසිද්ධය. සුප්‍රකට ගත්කරු කුෂ්වන්ත් සිං ද සීකයෙකි. ඔහු ද උපහාස රසිකයෙකි. රචකයෙකි. ඔහුගේ සංස්කාරකත්වයෙන් පළ වූ ''කුෂ්වන්ත් සිං ජෝක් බුක්'' පොත් පෙළෙහි, සර්දාර් විහිළු ද නිතර දැකගත හැකිය.
සිනා සී තරවීම කෙසේ වෙතත්, සිනාසෙන්නට කියන විහිළු නිසා, ඇස් රතුවන අවස්ථා ද නැත්තේ නොවේ. කුෂ්වන්ත් සිං වැනි අය, සර්දාර් ජී තමන්ගේ එකකු වීම ගැන ආඩම්බර වෙද්දී, සමහර සීකයෝ, තමන්ගේ එකා ලවා තමන්ට සිනාසීම අපහාසයක් ලෙස ගෙන උදහස් වූහ.
ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරියක වන ලීනා යාදව් 2005 දී නිපදවූ (ෂාබ්ද්) (Shabd) චිත්‍රපටයේ එක් ජවනිකාවකදී සායිද් ඛාන් රංගන ශිල්පියා, අයිෂ්වර්යා රායිට විහිළු කතාවක් කීමට සැරසෙයි.
''ඔන්න එක කාලෙක සර්දාර් ජී කියල කෙනෙක් හිටියා.''
සර්දාර්ගේ නම ඇසූ සැණින් අයිෂ්වර්යා සිනාසීමට පටන් ගනී.
(ජාත්‍යන්තර සීක සහෝදරත්වය) නමැති සංවිධානයට ඒ සිනාව රිස්සුවේ නැත. ඔවුන් එය බාරගත්තේ, හින්දුන්, සීකයන් (ජෝකරයන්) ලෙස සලකා සිනාසීමක් හැටියටය. අවසානයේදී නිෂ්පාදක සමාගමට සීකයන්ගෙන් සමාව ගැනීමට සිදුවූ අතර, එම ජවනිකාවද වාරණයට ලක්වුණි.
සීක සහෝදරත්වයේ මතය කෙසේ වෙතත්, හාස්‍ය හඳුනන අය නම්, මෙවැනි දෑ දකින්නේ (සික්) වැඩ ලෙසය.
අධික ජනගහණය, ඉන්දියාවට හැමදාමත් ප්‍රශ්නයකි. අගමැති නරේන්ද්‍ර මෝදි, මෑතකදීත් කියා සිටියේ, ජනගහණ වර්ධනය සීමා කළ යුතු බවය. ඊට පක්ෂව හා විපක්ෂව නොයෙක් ප්‍රතිචාර මතුවෙද්දී, සර්දාර්ගේ පරණ විහිළුවක් ද, අලුත් කෙරෙනු සමාජ මාධ්‍ය තුළින් දක්නට ලැබුණි.
ඉන්දියාවේ ජනගහණ අර්බුදය ගැන දේශනයක් පවත්වමින් සිටි, මහාචාර්යවරයෙක් මෙසේ ද කීය.
“සෑම තත්ත්පර දහයකට වරක්ම, මේ රටේ ගැහැනියක් දරුවකු බිහි කරනවා.”
සභාවේ සිටි සර්දාර් වහා නැගී සිටියේය.
“රජය වහාම ඒ ගෑනු කෙනාව හොයාගෙන, ඒ වැඩේ නවත්තන්න ඕනෙ.”
සර්දාර්ගේ කතාවලදී, ඔහු බොහෝ චරිතවලට යොදාගැනේ. ඉන් වඩාත් ප්‍රකට හා ජනප්‍රිය චරිතය පාසල් ශිෂ්‍යයාය.
එක් දිනක් සර්දාර්ගේ පන්තියේ ගුරුවරයා, විහිළු කතාවක් ලියාගෙන එන මෙන් සිසුන්ට කීය. නිවෙසට ආ සර්දාර්, පියා වෙත ගොස්, විහිළු කතාවක් කියා දෙන්නැයි පැවසීය.
“අම්මගෙන් අහගන්න” පියා කීය.
සර්දාර් මව වෙත ගියේය. එහෙත් ඇය ද කාර්යබහුලය.
“මට ඕවට වෙලාවක් නෑ. ආච්චිඅම්මගෙන් අහගන්න.”
සර්දාර්, ආච්චිඅම්මා වෙත ද ගොස්, විහිළු කතාවක් දන්නවා දැයි ඇසීය.
''අනේ මට දැන් ඕවා මතක නෑ පුතේ'' ඇය ද මඟහැරියාය.
විහිළු කතාව ලිවීම පසුවට තැබූ සර්දාර්, (ගෙදර වැඩ) ලැයිස්තුවටම අයත් වූ, දවසේ ප්‍රවෘත්ති සිරස්තල ලිවීම සඳහා රූපවාහිනිය අසලට ගියේය.
පසු දින පන්තියේදී, විහිළු කතාව කියවන මෙන් ගුරුවරයා පැවසූ විට, වෙනත් කිසිවක් නැති හෙයින් සර්දාර්, පෙර දින රැයේ ප්‍රවෘත්ති සිරස්තල කියැවූයේය. ගුරුවරයා හඬ නගා සිනාසෙන්නට වූ අතර, සර්දාර්ට වැඩිම ලකුණු ලැබුණි.
තවත් අවස්ථාවක, සර්දාර්ට ''ජාත්‍යන්තර කාන්තා දිනය'' පිළිබඳ රචනාවක් ලිවීමට සිදුවිය. ඔහු එය ආරම්භ කර තිබුණේ මෙසේය.
''ලෝක ජනගහණය තුළ. ස්ත්‍රීන්ගේ සංඛ්‍යාව බිලියන 3.52කි. ඉන් වැඩි දෙනා වාසය කරන්නේ මුහුණුපෙතෙහි (fb) ය.''
සෑම ඉන්දියානුවකු මෙන්ම සර්දාර් ද චිත්‍රපට ලෝලියෙකි. එක් වරක් ඔහු නැරැඹීමට ගිය චිත්‍රපටයක පෙම් යුවළ, යහන්ගත වීමට සැරසෙන විටම, දුම්රියක් පැමිණෙයි. (වෙනත් දර්ශනයකට ඡේදනය වීමකි). මෙයින් කනස්සල්ලට පත් සර්දාර්, නැවත නැවතත් එම චිත්‍රපටය නැරැඹීමට ගියේ, දුම්රිය ප්‍රමාද වී ඒ දැයි බැලීමටය.
සර්දාර්ගේ සිටි පාසලේ එක් තරුණ ගුරුවරියක් හින්දි චිත්‍රපට නිළියක තරමටම රූමත් වූවාය. සර්දාර් තමා නරඹන චිත්‍රපට තුළ සිටින අයිෂ්වර්යා, ප්‍රියංකා, කත්‍රිනා, දීපිකා ආදී නිළියන් තුළින් දුටුවේ ඒ ගුරුතුමියයි.
එක් දිනක් ඇය, සර්දාර්ගේ පන්තියට (චිත්‍රපට නැරඹීමේ ප්‍රයෝජන..) මැයින් රචනාවක් ලිවීමට දුන්නාය.
සර්දාර් තම රචනාවෙහි මෙසේ ලිවීය.
1. අන්ත දිළිඳු මිනිසුන්ට, පැය දෙක තුනකට හෝ මහා මන්දිරවල ජීවත්වීමට ලැබීම.
2. පිරිමින්ට, තම බිරිඳට වඩා සුන්දර කාන්තාවන් සමඟ කල්ගත කිරීමට ලැබීම.
3. ප්‍රේක්ෂකයන්ට, තමන් කිසි කලෙකත් නුදුටු ප්‍රදේශවලට හා නොගිය රටවලට යාමට ලැබීම.
4. පැල්පත්වාසී ජනයාට පවා, වායුසමීකරණ පහසුකම් ලැබීම.
5. සතුරන්ට පහරදීම හා අවි ආයුධ භාවිතය ගැන නොමිලේ පුහුණුවක් ලැබීම.
6. වඩාත්ම වැදගත් ප්‍රයෝජනය මෙහි ලිවීම පාසල් ශිෂ්‍යයකුට නොහොබී යැයි සිතෙන හෙයින්, ඉන් වළකිමි.
සර්දාර් දේශපාලනයට පිවිසීමට සැරුසෙන්නේය යන ආරංචියෙන්, ඉන්දියාවේ දේශපාලනඥයෝ තැති ගත්හ. ඊට හේතුව, ජනතාව දේශපාලනඥයන් වඩා කවටයන්ට ආදරය කරන බව ඔවුන් දන්නා හෙයිනි. දේශපාලනඥයන්, බොහෝ විට කවටයන් මෙන් කටයුතු කිරීමට උත්සාහ ගන්නේ එහෙයින් විය යුතුය.
♦ කපිල කුමාර කාලිංග