2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

තමුසේ මොකද මෙතන?

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 330

වෙනද වගේම දවස් ඉක්මනින් ගෙවී යමින් තිබුණා. මගේ හිතට අලුතින් ඇවිත් තිබුණු කිසිම ප්‍රශ්නයකට පිළිතුරැ දෙන්න කැමැති කෙනෙක් මිනර්වා කොටේජ් එක ඇතුලේ හිටියේ නෑ. ඒත් සමහර කාරණා එක්ක මං වෙන කිසිම දවසක සිදුවෙලා නොතිබුණු තරම් කුතුහලයට සැකයට පත්වෙමින් තිබුණා. මං හිතුවා මං කවුද? එහෙම නැතිනම් රෝමියෝගේ දූ අදාරතීගේ ජීවිතේ වටේ මොනවද මේ සිදුවන සැකසහිත දේවල්. ඇයි මං මිනර්ලිනී එක්ක මේ තරම් මාව සසඳන්න උත්සාහ ගන්නේ.... ඒ කියන්නේ මිනර්ලිනී මගේ අම්මා නෙවෙයි කියලා මගේ හිතට සැකයක් ඇවිල්ලාද?

හඳ ආකාසෙට ආවාම මුලු වටපිටාවම කිරිපාටින් බැබළුණා. තක්කි ගේ ඉස්සරහ හිටවලා තිබුණු කිරි ඉද්ද ගහේ මල් විතරක් නෙවෙයි කොළ උඩ පවා තිබුණේ අමුතු දිස්නයක්. මේ වෙලාවට කළපුව වුණත් සිහින් දියරුලි අරන් එහාට මෙහාට පෙරලුණේ හරිම බැබලීමකින්. තෙත සහිත හුළඟ ශරීරයට මිහිරකුයි ගෙනාවේ. මං හිතන්නේ මං හිටියේ යම්කිසි හික්මීමක. ඒ කියන්නේ කවමදාවත් නැති විදියට මං මං ගැන හිතන්න අරගෙන

අදාරතී... රෑ උනා... මොකද ඔතන කරන්නේ

තක්කි ගේ ඇතුළේ ඉඳන් කෑ ගැහුවා.

මං ටිකක් එළියේ ඉඳලා එන්නම්... මෙතන හරි සනීපයි..

අවන්හල ඉදිරියේ මැයි ගහ යට ආයෙත් කොළ හැලිලා තිබුණා. මහ රාත්‍රිය ළං වෙමින් පැවතියත් ගහ කළේ අතොරක් නැතිව නැවත නැවතත් කොළ හලපු එක. ඒ රූ හරිම සුන්දරයි. මං හිතන්නේ මට එහෙමයි දැනෙන්නේ.... මං ඉඳගෙන හිටියා. තක්කිගේ අවන්හල ඉදිරියේ කාලයක් තිස්සේම නවත්වා දමා ඇති පරණ කාර් කටුව අස්සේ ඇත්තටම අපේ දුක, සතුට, කඳුළ, සිනහව, වේදනාව හෝ සංවේදනාව මේ සියලු දේ ඒ කාර් කටුව හඳුනාගෙන හිටියා. අවුරැදු ගානක ඉඳන් දිරාපත් වෙමින් තිබුණත් කාර් එකත් හරියටම අපේ මිනර්වා කොටේජ් එක වගේම අපිට එක එක වෙලාවට හෙවණ දුන්නා. අලුත් නාට්ටියක්, ඒකට අලුත් සින්දුවක් එහෙම... එතකොට අලුත් අලුත් දෙබස් ලියන්න ඕන උනාම රෝමියෝ උනත් මහ රූ නැගිටගෙන ඇවිත් ඉඳගත්තේ මේ කාර් එක අස්සේ... ඒක තුළ තිබුණු හුදකලාව.... ඒක රෝමියෝට අලුත් නිර්මාණවලට පාර කැපුවා කියලයි එයා කිව්වේ....

වළාකුළු අස්සෙන් එළියට ඇවිත් නැවත වැහෙන නැවත ඇරෙන හඳ හරි අපූරැවකුයි ගෙනාවේ. වටපිටාවේ නිහඬ බව ඉස්සෙන්න ඉස්සෙන්න... නගර කෙළවර මුහුදේ ශබ්දයත් හොඳ පැහැදිලිව ඇහෙන්න ගත්තා. මට ඒ වෙනකොටත් හිතිලා තිබුණා බොහොම හෙමෙන් ඇවිදගෙන එක්කෝ වෙරළට නැතිනම් කළපුව සමීපයට ඇවිද යන්න.

ආ... ඉඳා.... මං කෝපි ඩිංගක් හැදුවා. මේක බීපං.... ඒක බීලා ඇවිත් නිදාගනිං... දැන් හුඟක් රෑ වෙලා... මං නම් යනවා ඇහැ ඩිංගක් පියාගන්න.

තක්කි රස්නෙන් දුන්නු කෝපි කෝප්පේ.... ඒ වෙලාවේ වටපිටාවෙන් ආපු තෙත හුළඟත් එක්ක ශරීරයට අමුතු මිහිරක් ගෙනාවා. නවයයි හතළිහට කොළඹ යන කෝච්චියේ සද්දෙ බොහොම පැහැදිලිවයි හුළඟ උරාගත්තේ. මගේ හිතිවිලිවලටත් අමුතු දෙයක් වෙලා තිබුණා. මං හිස් කෝප්පේ කාර් එක ඇතුළේ තියලා ඇවිදගෙන ගියා කළපු බැම්ම අයිනට. ඒක තරමක හිතුවක්කාර වැඩක් වුණත්... මගේ හිත හෙව්වා තනියෙන් ඉන්න හැකි විශාල හිස් ඉඩක්.

ඒ රිදීපාට දිය කළඹ දැඟලුවා සුළඟ එක්ක. අලුතින් හැදුණු පාලම් බැම්ම බොහොම ශක්තිමත්ව විරාජමානව හිටියා කළපුව බදාගෙන. හරියටම නිල් ඇස් කණ්නාඩිකාර ඉංජිනේරැ අහංකාරයාගේ තේජස අරන් වගේ.... මං හිනාවුණා හෙමිං...

ඩුප්ලිකේට් අර්වින්ද් සාමි...

එහෙමයි ප්‍රොන්තෝ එයාට කිව්වේ... මොනවා වුණත් මිනිහාට රඟපෑම වගේම සිංදු කීමත් පිහිටලා තිබුණා... ආයේ ආයෙත් මතක් වුණා... එයා ගයපු ගීත....

සිහින අහසේ වසන්තේ....

තාරකා මල් හිනැහුණා...

රංචු ගැහිලා කුරැල්ලෝ

ඔහේ පියඹා ගියාවේ....

ඇත්තටම මට පිස්සුද? මට එහෙමත් හිතුණා. මේ රූ මං කොහෙද මේ ඇවිදන්නේ. පාලම උඩට ගියාම මිනර්වා කොටේජ් එක හඳ එළියේ බොහොම අපූරැවට පෙනුණා. මුලු නගරයමත් එතැනට හරිම ලස්සනයි. පාට පාටින් දැල්වුණු නිවුණු විදුලි බුබුලු එක්ක. නගරය මහ රාත්‍රියේ පාළුව වින්දා. හරියට මං වගේ... හදිසියෙම ගසාගෙන ගිය මහ හුළඟට බයේ මං අල්ලගත්තා පාලම් ඇන්ද... ඔව්... ඒක හරිම ශක්තිමත් විදියට මාව දරාගත්තා...

බැම්ම අයිනෙන් පහළ බෑවුමේ තැනින් තැන පිහිටලා තිබුණු කුඩා කුඩා ගෙවල්වල... කුඩා කුඩා ලාම්පු පත්තු වුණා. මං බලාගෙන හිටියා ඒ දිහා... ඒත්,

අදාරතී...

කන ළඟ ලොකු රුල්ලක් ගැහුවා වගේ ඒ හඬ ඇහුණා.... දෙවියනේ අර්වින්ද් ස්වාමි...

තමුසේ මොකද මෙතන?

එයා ඒක ඇහුවේ බොහොම සැරෙන්.

ඇයි?

මං තනි වචනෙන් උත්තර දුන්නෙ අහක බලාගෙන.

ඇයි කියන්නේ... තමුංගේ මොළේ අමාරැවක් තියෙනවද?

මොළේ අමාරුවක්?

ඔව් අයිසේ... මේක මේ පාර.... අනික මෙව්වයේ වැඩකරන උං රූ වෙනකොට බීලා... මේ හැමතැනම ඇවිදිනවා. තමුසෙට ඕන ආයිත් මේ බැම්ම අයිනේ ජීවත්වෙන බාල මිනිස්සුන්ගෙන් කතන්දර අහන්නද?

දෙයියනේ මෙයා හිතලා තියෙන දුර?

මට එහෙමයි කියවුනේ. මං දැක්කා එයාගේ ඇස් දෙකෙන් සැර පිටවෙනවා වගේ බැල්මක්.

හිතලා තියෙන දුර? කරැණාකරලා යනවා ගෙදර... මගෙන් කුණුහරැප අහගන්නේ නැතිව.

මං ඉන්නේ පාලම උඩනේ... එතන කාටවත් අයිති තැනක් නෙවෙයි. මට ඕන වෙලාවක් මට ඉන්න පුළුවන්.... අනික මේක අපේ ගම?

මං දන්නේ නෑ මගේ කටට වචන ආවේ කොහෙන්ද කියන එක. ඒත්... එයා නම් මං දිහා බලාන හිටියේ සතෙක් වගේ. ඒ විතරක් නෙවෙයි පාලමේ වැඩකරන මිනිස්සුන්ට බැන්නට එයාත් මේ වෙලාවේ ඉන්නේ බීලා... අනේ හැබෑටම ඇයි මේ හොඳට ඉගෙන ගෙන හොඳ රස්සාවකුත් කරන නිල් ඇස් කණ්නාඩිකාරයා මෙච්චර බොන්නේ...

තුෂාරි අබේසේකර

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00