2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

ඔය වගේ වැඩ කරන්නේ මරි මෝඩ කෙල්ලෝ

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 327

ඒ මහ කළුවරෙත් මං දැක්කා ඉංජිනේරු අර්වින්ද් ස්වාමි මට රවාන ඉන්න හැටි. ඒ විතරක් නෙවෙයි කෙලින් ඉන්න බැරි තරම් එයා මත්වෙලා ඉන්න හැටි. මං නෙවෙයි ඒත් එයා දිහා ගණන් ගන්න බැල්මක් හෙලුවේ.

''අදාරතී... මං සැරයක් කිව්වා. ගෙදර යන්නයි කිව්වේ මෙතන ඉන්නේ නැතිව...''

ඔන්න ඒ පාර එයා සිගරට් එකකුත් පත්තු කරගත්තා. ඇස්වලින් මත් බව වෑහෙනවා. බොත්තම් බාගෙට ඇරගත්තු කමිසෙත් කිසි පිළිවෙළක් නෑ. අපොයි දෙයියනේ මෙහෙමත් ඉංජිනේරුවෝද ලංකාවේ පාලම් හදන්නේ....

''තමුංට ඇහුනද මම කියපු දේ. මෙතන අනික මේ මහ රූ කළුවරේ ගෑනු ළමයෙකුට තියා... පාරේ සරන නගර සෝබිනියකුටවත් සුදුසු නෑ මේ වගේ රස්තියාදුවේ ඉන්න.''

''නගර සෝබිනී.... හරි අපූරු නමක්නේ ඒක...''

''ඇයි තමුං හිතුවේ මං ඒ වගේ නම් දන්නේ නෑ කියලද?''

මට හිනා ගියා. එයා ඒක කියපු තාලෙට. ඒ මොකද මේ තරම් කාලෙකට එයා මං එක්ක කතාකරන වචන දෙක තුන වෙන්න ඇති මේ. මං දැක්ක නිදහසේ සිගරට් එක බොන්න වෙන්න ඇති එයා ඉඳගත්තා පාලම් ඇන්දෙනුත්. අපූරු පහන් කණුවක් තිබුණා එතන. ඒකට සවි කරලා තිබුණු විදුලි බුබුලෙන් හරි ලස්සන ආලෝකයකුයි විහිදුනේ. ඇත්තටම මං දැක්කා... අරවින්ද් ස්වාමි හරි ලස්සනයි.

''දැන් බලන්න තමුං මට කියනවා මේ රෑ කළුවරේ තමුං ඇයි මෙතෙන්ට ආවේ?''

ඔන්න එයා දැන් මං එක්ක ප්‍රශ්නෝත්තර වැඩසටහනකට සූදානම් වෙනවා....

''හරි වැඩක්නේ... මට කළුවර, රෑ කියලා වෙනසක් නෑ... කොහොමත් මේ පාලම කියන්නේ අපි පුංචි කාලෙත් ඇවිත් සෙල්ලම් කරපු තැන. අනික අර පේන්නේ අපේ මිනර්වා කොටේජ් එක. පාලම කියන්නේ අපිට අපේ ගෙදර මිදුල වගේ.... එතෙන්ට එන්න මොකටද කාගෙන්වත් අවසරයක්?''

මාත් නිකං හිටියේ නෑ. හිතත් හදාගත්තා අද නම් දෙකක් කතා කරනවාමය අහංකාර නිල් ඇස් කණ්නාඩිකාරයාට කියන එකට...

''මං තමයි මෙතන ප්‍රධාන ඉංජිනේරු තැන. අනික මේ ටවුන් එකේ ඉදිරියේදීත් කරන්න තියෙන ලොකු වැඩ කොටසක් පැවරිලා තියෙන්නේ මගේ බාරයට. මේ තමුංගේ ගම නම් දන්නව ඇතිනේ මේ නගර සීමාව මැද මොනතරම් කැණීම් සහ ගොඩනැගීම් කරන්න වෙලා තියෙනවද කියලා.''

මෙන්න මෙයා ඒ පාර ලොකු සාකච්ඡාවකට වගේ එකකට සූදානම් වෙනවා. අනික පුදුම ලොකුකමකින් වචන හසුරුවන්නේ.

''එච්චර විස්තර නම් මං දන්නේ නෑ.... මං කිව්වේ මේ පාලම උඩට එන්න අපිට කාගෙවත් අවසර ඕනේ නෑ කියන එක...''

''ආ... ඒ කියන්නේ මේ මහ රූත් තමුංට පුළුවන් මෙතෙන්ට ඇවිත් සරුංගලයක් වගේ කැරකෙන්න පාවෙන්න. එහෙම නේ...?''

''චිකේයියා... මොනවද ඒ වචන... සරුංගලයක් වගේ කැරකෙන්න පාවෙන්න?''

''ඔව් අයිසේ.... එහෙම තමයි කිසි වැදගැම්මක් නැතිව රස්තියාදු කෙලින කෙල්ලන්ට අපි පාවිච්චි කරන නම් ගම්... සරුංගල්, වෙසක් කූඩු, එතකොට....''

''මේ එන්න එපා... ඒ වගේ කැත වචන මට විතරක් පාවිච්චි කරගෙන... තක්කි දන්නව නම් එහෙම මේ කොහෙද යන කබල් ඉංජිනේරුවෙක් එයාගේ මිනිපිරීට සරුංගලයක් කිව්ව කියලා හම්බ වෙයි...''

''ඇයි එයා මට මොනව කරන්නද?''

''කරන දේ ඒ වෙලාවට.... අනේ මන්ද හොඳට ඉගෙන ගත්තු මහත්තයෙක් කියලයි අපි හිතුවේ. ඒ වුණාට වැදගත්කමට කතා කරන්නවත් ඉගෙන ගෙන නෑනේ...''

මං හිතුවේ ඒ ටික කිව්වාම එයාට තරහ යයි කියලා. නමුත් ඒ පාරත් එයා කළේ සවුත්තු විදියට මට හිනාවුණු එක... බීලා ඉවර වෙච්ච සිගරට් කොටේ කළපුවට විසිකරලා කිසි ගානක් නැතිව ආයෙත් අලුත් එකක් පත්තු කරගත්තු එක... ඒ විතරක් නෙවෙයි මං කියපු වචනයක් නැවත නැවතත් කියලා තනියෙන් හිනාවුණු එක...

''කබල් ඉංජිනේරුවා... ඔව්... හහ්.... අපූරුයි. ලස්සනයි ඒ වචනේ.... කබල් ඉංජිනේරුවා...''

මමත් හිටියා පොඩි අහංකාර කමකින්ම... ඒ ගතිය කොච්චර දුරට මං ඇඟට අරගෙන හිටියද කිව්වොත්... නිකමට වත් එයාව ගණන් ගත්තේ නෑ... ළඟපාත තියෙන කුඩා කුඩා ගල් අහුලගෙන... හඳ එළියෙන් දිලිසෙන කලපු වතුරට දමලා ගැහුවා මිසක්. ඔන්න එයා ඒ පාරත් මට ඔලොක්කුවට කතා කරනවා.

''අයිසේ මේ... ඔය ජැටියේ දාලා තියෙන චිප් ගල් තියෙන්නේ නැවත වතුරට දාන්න නෙවෙයි. ඔය කරන්නේ ලොකු වරදක්... ඉගෙන ගත්තේ නැතුව තේ කඩ කරගෙන විතරක් ඉඳලා හරියන්නේ නෑ... නිකමට හරි පොතක් පතක් කියවලා රටේ තොටේ දෙයක්වත් ඉගෙන ගන්න ඕන. ඔය වගේ කාලේ කකා ගල් කැට අරන් වතුරට දාන්නේ... මොකුත්ම දන්නේ නැති මරි මෝඩ කෙල්ලෝ.... අනික තමුං දන්නවද මට පුළුවන් ඔය කරන වරදට තමුංව අත්අඩංගුවට ගන්න කියලා පොලීසියට කියන්න.... මොකද ඔය කරන්නේ රජයේ දේපල අනිසි ලෙස නාස්ති කිරීමක්.''

මං බලාගෙන හිටියා එයා දිහා එක දිගට රවාගෙන. මොකද ඒ කියපු හෑල්ල අස්සේ තිබුණු වචන මාව දිගින් දිගටම හුඟක් රිදෙව්වා.... කොහොමද නිල් ඇස් කණ්නාඩිකාර ඉංජිනේරුවා මාව දාලා තියෙන බාල තැන. මං තරහ පිරිලා ඉතිරෙන ඇස්වලින් රවාගෙනයි හිටියේ එයා දිහා. මට පුළුවන් වුණා නම් ගිහින් එයාට ගහන්න මං එකක් කරන්න සූදානමකයි ඉන්නේ. ඒත් මගේ තරහවත් මං රවාගෙන ඉන්න ඇස් දෙකවත් සත පහකට ගණන් ගන්නේ නැති එයා පාලම් ඇන්ද උඩ ඉඳගෙන බොහොම සැහැල්ලුවකයි හැසිරෙන්නේ...

''මේ... තමුං ඔය මට මරි මෝඩ රස්තියාදු ගහන සරුංගලේ කිව්වට තමුං කරන්නෙත් ඒ ටිකනේ. මොකද මං වගේයැ තමුං. ලොකු ඉංජිනේරුවෙක්නේ... ඒ වුණාට හැසිරෙන්නේ මෙතන වැඩකරන කම්කරු අත් උදව්කාරයෙකුටත් වඩා බාල තාලෙට. එහෙම නොවෙයි නම් මේ රූ මෙතෙන්ට ඇවිත් එක දිගට සිගරට් පත්තු කර කර උරන්න අරන් තියෙන්නේ අනේ මන්ද ලැජ්ජයි ඒ ගැන නම්... අම්මා තාත්තා උගන්නන්න මහන්සි වෙලා මිසක් වැදගත් මිනිහෙක් කරන්න උත්සාහගෙන නෑ වගේ....''
මමත් ඇරියේ නෑ. මටත් ඕන හොඳම වචනවලින් අහංකාරයට දමලා ගහන්න. ඒ විතරක් නෙවෙයි එයාට හොඳටම තරහ යන හැටි බලලා සවුත්තුවට හිනාවෙන්න... ඒ වුණාට එයා මගේ තරහා සත පහකටවත් ගණන් නොගෙනයි ඊළඟ වචනෙත් කිව්වේ.
''අපි දෙන්නගේ කතාවට අම්මා තාත්තා ඇදගන්න එපා මැණිකේ?''

''මොකක්? මැණිකේ...?''

''ඔව්... ලස්සන නැතිද මැණිකේ කිව්වාම. මං හිතුවා සරුංගලේ නොකියා මැණිකේ කියන්න.''

''මේ එන්න එපා. ඔය වගේ ඒවා කියාගෙන. කබල් ඉංජිනේරුවෝ කබල්ම තමයි. ආයි ඉතින් කොච්චර ලස්සන වචන කතා කළත් ඔරිජිනල් වෙන්නේ නෑ...''

''පුහ්...''

මං දැක්කා මං එක්ක කොච්චර කතා කරමින් රණ්ඩු වෙමින් හිටියත් එයාගේ ඇස්වලින් මත් බව බේරෙන හැටි. පාලම් ඇන්ද උඩ හිටියට එයා එහාට මෙහාට සමබර නොවෙන හැටි. ඒ වුණත් එයාට තිබුණා ලොකු පුහුණුවකුත් ඒ වගේ අනාරක්ෂිත තැන්වල හිඳගෙන ඉන්නත්. අනික ටික ටික වෙලාව යනකොට එයා කතා කරපු වචන සිඳී යන හැටිත්... නිදිමතකින් වගේ එකකින් එයා හැසිරෙන හැටි..

''අනේ මන්දා... ඉංජිනේරුවෙක් නේද මේ... මහ සවුත්තු විදියට හැසිරෙන්නේ... සැපට ඉන්න නිදියන්න. කන්න බොන්න හොඳට තියාගෙනත් මේ පාලම් උඩ ලගින්නේ...''

මටත් ඕන වුණේ අපේ වචන හරඹේ ඇතුළේ එයාව පරාද කරලම දාන්න. මට තේරිලා තිබුණා එයා මට පරාද වෙමින් යන බව... එයා නැගිට්ටා ඒ ඉන්න තැනින්... හැබැයි මේ වෙනකොට එයා හොඳටම වැනුණා වෙරි මතින්. මං ඇහුවා එයා ළඟටම ගිහින්.

''ඇයි මනුස්සයෝ මේ තරම් බොන්නේ... නළුවෙක් වගේ ලස්සන වුණාට වැඩක් නෑ. බේබද්දෙක් වගේ බොනවා නම්... මේ කෙලින් හිටගෙන ඉන්නත් බෑ... හරියටම කියනවා නම් ඉංජිනේරුවෙක් නෙවෙයි නොම්බර එකේ රස්තියාදුකාරයෙක් වගේ... ඇයි මෙහෙම උනේ යාළුවෙලා හිටපු කෙල්ලවත් බූට් එක තියලා ගියාද?''

මං එහෙම කිව්වම එයා ඒකට කලෙත් මහ හයියෙන් කැත හිනාවක් දාපු එක... මං හැරුණා හොඳටම ගස්සපු බැල්මකින්. මට ඕන වුණේ එයාව සත පහකටවත් ගණන් නොගෙන ආපහු මිනර්වා කොටේජ් එකට යන්න. ඔව් එයා මට පරාදයි. ඒකයි එයා මට වචනයක්වත් නැවත නොකිව්වේ... මං අඩියක් දෙකක් ඉදිරියට තිබ්බා එයා ඉන්න තැනින් සමුගෙන... එතකොටයි එයා නැවතත් කතා කළේ...

''මැණිකේ... ඔයා යනවද?''

දෙයියනේ අහංකාරයා ඒ ගමන මොකාටද එන්න යන්නේ...

''ඔව් යන්න තමයි?''

''අර අහපු ප්‍රශ්නෙට උත්තර අහන්නේ නැතුවම?''

''මොකක්ද ප්‍රශ්නේ?''

''බේබද්දෙක් වුණේ ඇයි කියල ඇහුවා මට මතකයි.''

''හ්ම්... ඇහුවා තමයි.''

''එහෙනම් උත්තරේ දෙන්නද?''

මං බලාගෙන හිටියා බොහොම අහංකාර විදියට එයා දිහා... එයා නැවතත් හිනාවුණා මං දිහා බලාගෙන කිසිම ගණනක් නැතිව පාලම් ඇන්ද උඩ හරිබරි ගැහුණා දිග කතාවක් කියන්න වගේ.

ලබන සතියට