ඉන්දීය ලේඛක ආනන්ද් නීලකණ්ටන්ගේ ''Asura'' නමැති ඉංග්‍රීසි නවකතාවේ පූර්ණ අනුවාදයක් ලෙස ප්‍රවීණ සාහිත්‍ය පරිවර්තක සේනාරත්න වීරසිංහ විසින් පළ කරන ලද අසුර හෙවත් රාවණා නවකතාව බැලූ බැල්මට පුරාණෝක්තියක් ලෙස දැකිය හැකි වෙයි. මේ නවකතාවට පාදක වූ රාවණ පුවත ඇතැම්හු Mythology හෙවත් පුරාණෝක්ති ගණයට ඇතුළු කරති. එහෙත් පුරාණෝක්ති පිළිබඳව මානව විද්‍යාත්මකව හදාරන ආචාර්යවරයකු වශයෙන් මගේ නිරීක්ෂණය වන්නේ, රාවණ පුවත පුරාවෘත්තයක් (Legend) වන බවය. පුරාණෝක්තිවල ලක්ෂණ පිළිබඳව මානව විද්‍යාත්මක හැදෑරීම් කළ ලෙවිස්ට්‍රවුස්, ජේම්ස් ප්‍රේසර් වැනි විද්වතුනට අනුව පුරාණෝක්තිවල සැඟවුණු අරුතක් පවතී. එය ලිංගිකත්වය, මානවයාගේ සංස්කෘතිය පිළිබඳ ද්විත්ව ප්‍රතිවිරෝධී ලක්ෂණ ඇති ආඛ්‍යානයකි. නිදසුන් ලෙස ලෙවිස්ට්‍රවුස් විසින් පැසිපික් කැනේඩියානු වෙරළාසන්න පෙදෙසින් සොයාගත් අස්දිවල් පුරාණෝක්තියත්, ලංකාවේ ඉතිහාසයට ද සම්බන්ධ පුරාණෝක්තියක් වූ සිංහබාහු කතාව සැලකිය හැකිය. එහෙත් පුරාවෘත්තය යම් යම් විසරණයවීම් හැරුණුවිට වාස්තවික සත්‍යයක පරාවර්තනයකි. එය වෙනත් අතුරු ජන අන්දර සමඟ ද බද්ධ වී තිබිය හැකිය. පුරාණෝක්තිය, මානව පරිණාමයේ එක් එක් අවධිවල ක්‍රියාත්මක වූ වංශචිහ්න (Totems), ලිංගික තහංචි (incest taboo), ඊඩිපස් සංකීර්ණ (Oedipus complex) වැනි ත්‍රත්ව සමඟ ද සම්බන්ධ වේ. ඒ අනුව රාවණා කතාවේ ව්‍යුහාත්මක ලක්ෂණ පුරාණෝක්තියකට වඩා පුරාවෘත්තයක රැව උසුලන බව පෙනේ.
නීලකණ්ටන්ගේ ''අසුර'' කෘතියේ වෘතාන්ත ආකෘතිය මඳක් පරීක්ෂා කළහොත් එහි මුඛ්‍ය චරිතය වූ රාවණ පිළිබඳව පුරාවෘත්තයේ කියවෙන, යුග ලක්ෂණ කිසිවක් මේ කෘතිය කියවන පාඨකයාට නොලැබෙනු ඇත. සැකෙවින්ම කියතොත් රාවණා පුරාවෘත්තය ගොඩනැගුණු යුගයෙන් මේ නවකතාවට ලැබී ඇත්තේ චරිතවල නාමකරණ සහ ඔවුන් මූලිකව සිදු කළ කාර්යවල ආදර්ශයකැයි සිතමි. පුරාවෘත්තයේ ඇති යුග ලක්ෂණ, ඉතිහාස විචාරය ඉදිරිපත් කළ හිපලයිට් ටේන් මෙසේ දක්වයි.
1. මනුෂ්‍ය වර්ගය
2. අවධිය
3. පරිසරය
මේ ලක්ෂණ තුළ අදාළ යුගයට අයත් මනෝ සංස්ථිතියක් (Mental structure) ගොඩනැගෙයි. එම ලක්ෂණවලට වෙනස්ව යමින් නීලකණ්ටන් රාවණ චරිතය සමඟ භද්‍ර, මහා ඛලි, මාලා, වික්‍රම, මරීච, මායන් සහ තවත් චරිත රැසක, විටෙක පරිත්‍යාගශීලී, තව විටෙක ද්‍රෝහී හෝ වියරු චර්යා, තුලනය කිරීමක යෙදෙයි. මහාචාර්ය රේමන්ඩ් විලියම්ස් දැක්වූ සංස්කෘතික භෞතිකවාදය (Cultural materialism), නීලකණ්ටන්ගේ අසුර කෘතියේ කතා විකාශනය හා චරිත ක්‍රියාකාරීත්වය පසුබිමෙහි හඳුනාගත හැකිය. නීලකණ්ටන් මෙහි මවන රාවණ, සීතා නම් රෑමතිය දිනාගන්නට උත්සුක වූ අනභිභවනීය ප්‍රෞඪ දේශයක මහා රාජයකු වේදවේදාදන්ත හසල වූ මායා ශාස්ත්‍රයේ පාරප්‍රාප්ත සක්විත්තකු නොවේ. ඔහු විටෙක ආත්මාරක්ෂාව සඳහා කුරිරැ ඝාතන කරයි. අවස්ථාවාදී ලෙස ස්ත්‍රීන් දූෂණය කරයි. මේ වෘතාන්තයේ අවශේෂ චරිතවල තත්ත්වයද ඊට සමානය. රාමායන පුරාවෘත්තයේ තිබුණු ආධ්‍යාත්මික ශක්තීන්, දිව්‍යමය බල පරාස මේ නූතන පුවතින් බැහැර වන්නේ කතුවරයාගේ පෞද්ගලික දෘෂ්ටියද වඩාත් භෞතික හා ගතික වූවක් වන බැවිනි.
කෘතියක් වශයෙන් මෙම නවකතාව නව ඉතිහාසවාදය (Now historicism) අනුගමනය කරයි. නව ඉතිහාසවාදයේ ලක්ෂණ වන්නේ අතීත පුරාවෘත්තයක වත්මනට නොපෙනෙන වාස්තවික හා මනුෂ්‍යමය යථාර්ථය ප්‍රතිනිර්මාණය කිරීමය. ඒ අංශයේදී නීලකණ්ටන්ගේ දෘෂ්ටියට හසුවන රාවණ පුරාවෘත්තය අධිකථනවලින් හා ගූඪවාදයෙන් සපුරා බැහැර වූවකි. එය එක් අතකින් ඉන්දීය ලේඛක අර්වින්ද් ආඩිගාංර්ගේ White tiger නවකතාව සිහිපත් කරයි.
මහාචාර්ය සාලිය කුලරත්න