2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා

මම ලියන්නේ නැහැ ලියවෙන්න අරිනවා - සුනන්ද කරුණාරත්න

 2022 පෙබරවාරි 26 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 261

සුනන්ද කරුණාරත්න ලියූ කන්‍යා දියවරට එළඹ කාව්‍ය සංග්‍රහයට 2013 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවිය. ඔහු එයට පෙර ලියූ දූවිලි මිනිසා කවි පොතද විචාරක අවධානයට ලක්විය. සුනන්දගේ අලුත්ම කවි පොත පැහැනද පහන් කේ. බුක්ස් ප්‍රකාශනයකි. මේ ගැන ඔහු සමඟ කළ සංවාදයකි.

• අවුරුදු දහයකට පසුව එළිදුටු ඔබේ අලුත් කවි පොත ගැන හඳුන්වා දුන්නොත්?

මේ කෘතිය කාව්‍ය නිර්මාණ 30 කින් සමන්විතයි. පසුගිය වසර නමයක පමණ කාලය තිස්සේ මා සෙමෙන් ලියූ කවිවලින් කොටසක් තමයි මේ කෘතියට ඇතුළත් වෙන්නේ. ගෙවුණු කාලය කියලා කියන්නේ මා බෙහෙවින් කවි කිය වූ, ඒ ගැන අදහස් දැක්වූ සමයක්. ඒ නිසා මගේ කවියත් විවිධාකාරයෙන් පෝෂණය වුණා. එම නිසා ආකෘතිය හා බස් වහර ආදී වශයෙන් එකිනෙකට වෙනස් වූ කවි කිහිපයක් මේ කෘතියේ අන්තර්ගතයි.

එහෙත් බොහෝ කවිවලදී මා උත්සාහ කර ඇත්තේ කවියෙහි යම්පෙල මතුකර ගැනීමටයි. එනම් මනුෂ්‍ය ජීවිතය පිළිබඳ යම් දාර්ශනික චින්තාවක් කවියෙන් මතුකර ගැනීමටයි. ඉහළම කවිය එවැනි බුද්ධිමය තත්ත්වයක් පාඨකයාට ප්‍රදානය කළ යුතු බව මම හිතනවා. තරමක අවධානයෙන් කියවා කවියේ අර්ථය ග්‍රහණය කරගත යුතු නිර්මාණ මෙහි සංග්‍රහ කරන්නට මම උත්සුක වුණා. 

• ඔබ සෞන්දර්යාත්මක කවි මඟක යන බවයි අපට පෙනෙන්නේ. ප්‍රවේශමෙන් වචන ගොනු කරන බවත් පේනවා. සමහර තරුණ කවීන් වාර්ගික අවුල, සමාජ ගැටලු ගැන රළු වචන වලින් කවි ලියනවා නේද?

කවිය මූලික වශයෙන් සෞන්දර්ය වස්තුවක් යැයි මම විශ්වාස කරනවා. කවියෙකු විසින් කවිය තුළ කළ යුතු සියල්ලම කොටස් දෙකකට දළ වශයෙන් බෙදුවොත් කලාත්මක හා අර්ථමය ලෙස හඳුනාගන්න පුළුවනි. ඒ අනුව හැමවිටම කවිය සුන්දර හා කලාත්මක වස්තුවක් ලෙස ගොඩනැගීමට මම හැකිතාක් උත්සාහ කරනවා. කවිබස ගැනත් මම විශේෂ අවධානයක් යොමු කරනවා. එනම් කවිය විසින් ඉල්ලා සිටින බස ඊට පිරිනමමින් ඒ ඒ කවියට ආවේණික සෞන්දර්යය මතුකර ගැනීමයි මම කරන්න හදන්නේ. එහෙත් කවි බස සම්බන්ධයෙන් මගේ සිහිනය වන්නේ කාව්‍යයෝක්ති උපමා ආදිය අඩු ඉතා සරල, කාටත් තේරුන බස්වහරක් නිර්මාණය කර ගැනීම. එවැනි බසක් පාඨකයා මුලාවේ හෙළන්නේ නැති බව මම විශ්වාස කරනවා. 

එමෙන්ම කවියේ රචනය ගැන මම ගොඩක් සැලකිලිමත් වෙනවා. කවි පද කඩන ආකාරය, විරාම ලකුණු ගැන පවා විශේෂයෙන් හිතනවා. හේතුව මම ගොඩක් වෙලාවට කවියේ චින්තාව මතුකර ගන්න කවියේ රචනය යොදාගන්න නිසා.
වාර්ගික අවුල හෝ සමාජ ගැටලු ගැන කවියෙන් කතා කිරීමේ නෙවෙයි අර්බුදය තියෙන්නේ. ඒවා මගෙත් ප්‍රියතම තේමාවන්. ආරියවංශ, රණවීර, එරික්, නන්දන වැනි ජ්‍යෙෂ්ඨ කවියෝ මොනතරම් කදිමට මේ තේමාවන් කවියට කලාත්මකව ගෙනැල්ලා තියෙනවද? වරද තියෙන්නේ කවියේ කලාත්මක බව ගැන නොසිතා ඔබ කියන්න වගේ ඍජුව රළු බසින් අකාව්‍යාත්මකව මේ තේමා කවිය තුළ වර නැගීමයි.

• වියපත්, ප්‍රවීණ කවීන් වෙනුවට තරුණ කවීන් පිරිසක් තමයි අපේ කවි කෙතේ බහුලව දැකගත හැක්කේ. ඔබ එයට එකඟද?

නෑ. කවිය තරුණ කවි කිවිඳියන් අතේ ඉතා ජනප්‍රිය බව ඇත්ත. ඔවුන් ඉතා සක්‍රියව කවියෙහි නියැලී ඉන්න බවත් ඇත්ත. ඒත් ඒ විදිහටම ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ කවීන් පිරිසක් තවමත් සක්‍රියව කවියේ නියැලී ඉන්නවා. පරාක්‍රම, රත්න ශ්‍රී, රණවීර, නන්දන, එරික්, හෑගොඩ, බුද්ධි ඉන් කිහිප දෙනෙක්. වඩා වැදගත් කරුණ තමයි 70-80 දශකවල මේ ප්‍රවීණ කවීන් එළිපෙහෙළි කළ කාව්‍ය මාවත් දිගේ තමයි තවමත් තරුණ කවීන් ගමන් කරන්නේ. තරුණ කවීන්ගේ අනුභූතීන්, බස, තේමාවන් දිහා බැලුවොත් මේ කාරණය තේරුම් ගන්න පුළුවන්.

• ඔබ දිගු විරාමයකට පසුවයි කවි පොතක් පළ කරන්නේ. සමහරු කඩිනමින් කවි පොත් පළ කිරීමට යන බව පේනවා නේද?

ඔව්. මුලිනුත් කිව්වා වගේ මම ටිකක් සෙමෙන් ලියන්නෙක්. ලියනවට වඩා ලියවෙන්න අරින කෙනෙක්. හැබැයි මට විශ්වාසය තියෙනවා වේගයෙන් ලියන්නත් පුළුවන් කියලා. ඒත් මට වේගයෙන් ලියල පොත් සංඛ්‍යාව වැඩිකර ගැනීමේ ලොකු උවමනාවක් නෑ. 

අනික් අතට වේගයෙන් ලියන හැම කවියාම ගුණාත්මයෙන් දුර්වලයි කියන්නත් බෑ. ජ්‍යෙෂ්ඨයන් අතරත්, තරුණයන් අතරත් වේගයෙන් ලිව්වත් හොඳ නිර්මාණ නිරතුරු එළියට දාන කවියො ඉන්නවා.

• තරුණ කවි පරම්පරාව සම්භාව්‍ය කාව්‍ය කෘති ඇසුරු කරන්නේ ඉතා අඩුවෙන් බවයි පෙනෙන්නේ. ඒ ගැන ඔබේ අදහස?

ඔව් ඒක ඇත්ත. කරුණ කවීන් ජ්‍යෙෂ්ඨ පරම්පරාවට වඩා වෙනස්. ජ්‍යෙෂ්ඨ පරම්පරාවට අපේ සම්භාව්‍ය සාහිත්‍ය පිළිබඳ හොඳ හැදෑරීමක් තියෙනවා. ඒ බව ඔවුන්ගේ නිර්මාණ වලිනුත් පේනවා. විශේෂයෙන්ම කවි බස කියන කාරණයේදී. සම්භාව්‍ය සිංහල සාහිත්‍යය කියවනවා වෙනුවට නූතන විචාර න්‍යාය කියවීම වැදගත් කියල තරුණ කවීන් හිතනවද කියලත් වෙලාවකට මට හිතෙනවා. ඒත් ඔබ හොඳ කවියෙක් වෙන්න නම් ඔබේ සම්ප්‍රදාය පිළිබඳ හොඳ අවබෝධයක් තිබිය යුතුයි. මේ කාරණය මීට වඩා ගැඹුරින් තරුණ කවීන් වටහා ගත්තොත් හොඳයි කියලා මට හිතෙනවා.

 කුසුම්සිරි විජයවර්ධන

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00