මාත් පොඩ්ඩක් ළං වුණා එයා හිටිය තැනට. ඒ විතරක් නෙවෙයි මං හිතන්නේ මගේ මුහුණ පුරා මං මවාගෙන සිටි තරහත් ටික ටික දියවෙලා යමිනුයි තිබුණේ. මත් බවෙන් වැනෙමින් හිටියත් එයාගේ මුහුණේ තිබුණා යම්කිසි අතීත කතාවත් මතක් කරගන්න උත්සාහ ගන්න බවක්. පව්.... මට එහෙමයි හිතුනේ. කොච්චර උනත් මෙයා මේ මටනේ එයාගේ කතාව කියන්න හදන්නේ. ඔන්න මමත් පෙන්වන්න ගත්තා එයාට මගේ හිතේ කිසි තරහක් නැති බව. අහංකාරයා නිල් ඇස් කණ්නාඩි කාරයා එහෙම නැතිනම් ලෝකල් අර්වින්ද් ස්වාමි කියලා එයාට අනවර්ත නම් පටබැඳලා තිබුණත් මං ආයෙ නම් එයාට ඒ විදියට නම් දාන්නෙත් නෑ කියලා හිතුවා. හරියටම කියනව නම් මං එයාට බොහොම ළඟින් ගිහින් හිටගත්තා.... ඒ කියන්නේ එයා බැරි වෙලාවත් පාලම් ඇන්දෙන් වතුරට වැටෙන්න ගියොත් අල්ලගන්නත් පුළුවන් විදියට.
එයා උගුර හදාගෙන ඒ දිග කතාවට ලෑස්ති වෙන බවක් තිබුණා. සිගරට් එකක් පත්තු කරගන්න හිතාගෙන සිගරට් පැකට්ටුව සාක්කුවෙන් එළියට ගත්තත් ආයෙත් ඒක ඕන නෑ වගේ එකකින් එයා ඒක සාක්කුවට දමා ගත්තා. මං දැක්කා එයා කිහිප සැරයක්ම මට හොරෙන් මං දිහා බලන හැටි. ඇස්වල පොඩි උපහාසාත්මක බවක් තිබුණත් මං හිතුවේ ඒක එයාගේ ඇස්වල විදිය කියන එකයි. සමහර විට එයා හිතන්න ඇති පව් මේ අදාරතී කොච්චර හොඳ ගෑනු ළමයෙක්ද... එයා මොන දේ කිව්වත් ගණන් ගන්නේ නැතිව මං ළඟටම වෙලා ඉන්න හැටි කියලා.
ඇත්තටම හඳඑළිය පුදුම සිසිලසකුයි ඒ වෙලාවේ ගෙනාවේ. කළපුව හෙමින් හෙමින් දිය පෙරලුවා. ඒ එළියට දිලිසෙන ගමන්. කනට ගෙනාවා මිහිරි ශබ්දයකුත්. ඒ අතරින් කිරලුන් කෑගැහුවා. වැහිලිහිණින් උනත් එක හුළඟකදී රංචු පිටින් ඒ මේ අත ඉගිලිලා ගිහින් තමුන් රාත්‍රිය ගත කරන්න හිතාගෙන හිටි තැන් වෙනස් කළා... ඈත මහ පල්ලියේ සුරුවම් කොත විදුලි බුබුලුවලින් නැහැවිලා තිබුණා. ඒ මිටියාවත දෙපැත්තේ තිබුණු පහන් කණු හොඳට පැහැදිලිව පෙනුණා මං හිටපු පාලම උඩට. මොකද කලින් තිබුණු පරණ අබලන් පාලමට වඩා අලුත් ඉංජිනේරුවා හදපු පාලම හුඟක් උස්සලා උඩින් හදලා තිබුණා. මට හිතුණා මං ඉන්නේ අහසේ වලාකුළු අතර කියලත්....
මගේ ඇස් දෙක ඒ විදියට පාලම උඩින් පටන් අරගෙන නගරය පුරා සක්මන් කරලා ආවත් ඉංජිනේරු මහත්තයා අර කියනවයි කියපු එයාගේ කතාව කියන්න පටන් අරන් තිබුණේ නෑ. මං හුඟක් නිශ්ශබ්දව හිටියා එයාට පටන් ගන්න අවස්ථාව දීලා. හැබැයි එයාට මං හුස්ම උඩ පහල දාන සද්දෙත් ඇහෙන්න ඇති. ඒ වෙනකොට ඒ තරමින්ම මං සමීපවෙලා තිබුණා එයා හිටපු පාලම් ඇන්දට...
''නැත්නම් ඕන නෑ. ඒක පස්සේ දවසක කියන්නම්....''
මෙන්න අහසින් තරු කඩා වැටෙන්න ගත්ත වගේ එයා එකපාරටම කිව්වා මෙන්න ඒ ගමන එයා පාලම් ඇන්දෙන් බැහැලා යන්නත් යනවා. ඒක හරි පුදුමයි මං කතා කළා එයාට...
''මේ...?''
එයා හැරිලා බැලුවා. හරි අපූරුයි තමයි ඒ බලපු ක්ෂණික බැල්ම නම්. ඒත් මං ඒක වගකට නොගෙන නැවත කිව්වා.
''කෝ?''
''මොකක්ද?''
''අර දෙනවා කී උත්තරේ?''
''මොන උත්තරේද?''
මෙන්න ඒ පාර එයා මොකුත්ම නොදන්න විදියට හරියට මැරිලා ඉපදිලා වගේ ඇහුවා.
''ඇයි මට දෙනවා කිව්වේ උත්තරයක්?''
''මොකක්ද අහපු ප්‍රශ්නේ?''
මෙන්න ඒ පාර එයා අමුතුම චරිත නිරූපණයකට සූදානම් වෙනවා. මං බැලුවා වටපිටාව දිහාත්. ඒ විතරක් නෙවෙයි මං මගේ ඇසුත් අතගෑවා. සමහරවිට මං හීනයක් දකිනවද?
''ප්‍රශ්නේ කිව්වා....''
ආයෙත් මං ඇහුවා.
''ඔව්.... මට මතක නෑ. මොකක් හරි ප්‍රශ්නයක් ඉදිරිපත් කළාද ඔයා?''
ඔන්න ඉතින් නැවතත් මගේ තරහා ටික ටික එන්න ගත්තා. හරියට අමු රොඩු ගොඩකට ගින්දර තිබ්බාම ඇවිලෙන්න ටිකක් පමා වෙනවා වගේ දුම් දාන්න ගත්තා ඇස්වලින් විතරක්.
''ඇයි දැන් මතක නෑ මෙතන අපි දෙන්න අතර සිද්ධ වුණු කතාබහ?''
''නෑ මතක නෑ... එහෙම කතාබහක් වුණාද?''
ඔන්න ඉතින් මගේ තරහ ආයෙත් උස්සන්න වුණා. මං ගියා එයා ළඟටම. පැත්තට හැරිලා මං දිහා බලාගෙන හිටපු එයා ඒ විදියටම හිටියා. ඇත්තටම කියනව නම් මීට විනාඩි ගණනකට පෙර මං එක්ක ඇති කරගත් හිතවත්කමත් අමතක කරලා වගේ මං ආයෙත් කතා කරන්න ගත්තා. එයා එක්ක අර මුලින්ම කතාකළ විදියට.
''මේ ඕයි... තමුසේ මොකද නිකං මැරිලා ඉපදිලා වගේ කතා කරන්න තියාගත්තේ... ඇයි මෙතන මීට පෙර සිද්ධ වෙච්ච කතාබහ අමතක වුණාද?''
''එහෙම දෙයක් වුණාද?''
''එහෙම දෙයක් වුණාද අහන්නේ.... ඒ කතාව කියන්න තමුන් සූදානම් වෙච්චි සූදානම් විල්ලට තමයි මමත් ළඟටම ඇවිත් ඉඳගත්තේ...''
''ළඟටම ආවා කිව්වා?''
ඔන්න ඉතින් මගේ රතු කට්ටත් පනින නොපනින තැනට පත්වෙමින් තිබුණා. මට ආයෙත් හිතුනා කබල් ඉංජිනේරුවට හොඳටම බනින්නත්. ඒත් ඒ හිත ඉවසගෙන මං ආයෙත් කිව්වා...
''ඇයි මතක නෑ? මං කිව්ව එක... මං ඇහුවා ඇයි මේ හැටි බොන්නේ කියලා?'' මං මතක් කරලා දෙන්න හැදුවා එයාට ඒ විදියට.
''ඊටපස්සේ තමුංම නේද කිව්වේ... ඒක දිග කතාවක් උත්තර දෙනකං මට ඉන්න කියලා.''
''ශිට්... මම එහෙම කිව්වද?''
''කිව්වද ඇහුවා...''
''ඇත්තටම එහෙම කිව්ව නම් මං වැරදියි.''
''ඒ විතරක් නෙවෙයි තමුං මට මැණිකේ කියලත් කිව්වා. මං ඉවසන් හිටියේ මගේ මනුස්සකමට. නැතිනම් හොඳ වැඩක් කරනවා.''
''ඇයි මැණිකේ ඉතින්.... මැණිකේ කියලා කිව්ව නම් ඒ ඉතින් ආදරේටනේ...''
''මොකක්?''
ඔන්න ඉතින් මගේ රතු කට්ට පැන්නා. මට වැටහුණා මෙයා මෙතෙක් කරලා තියෙන්නේ මාව විහිලුවට ගත්තු එක කියන එක. එයා මට උපහාසයට හිනත් වුණා. ඒත් අර පැත්තට බලාගෙන හිටපු ඇස්වල තිබුණා මොකක්දෝ මං නොහඳුනන හැඟීමකුත්.... මං ක්ෂණිකව අහක බලාගත්තා... නමුත් අත ඇරියේ නෑ එයාව මං ළඟටම ගියා එයාගේ.
''මේ තමුසේ මොකා වුණත් මට කමක් නෑ. අම්මපා මාව ගත්තේ විහිලුවට කියලා කලින් දැනුණා නම් මං තල්ලු කරනව කබල් ඉංජිනේරුවාව කලපුවේ වතුරටම. එතකොට ඉතින් බේරගන්න මේ මහ රූ කවුරුත්ම එන්නේ නෑ... පොඩි ළමයෙක් වගේ කලිසම් ෂර්ට් තෙමාගෙන ඕහෑ ඕහෑ කියා අඬන්න තමයි වෙන්නේ....''
මං එහෙම කියන කොට එයාගේ ස්වරෑපය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා... එයා මං දිහා ඊට පස්සේ බැලුවේ බොහොම සන්සුන්ව ශාන්ත විදියට.... මම තවදුරටත් එයාට බනින්න එකතු කරන්න කලින් එයා මං සමීපයටම ඇවිත් කිව්වා...
''ඔව්.... එහෙම ඔහෑ ඔහෑ කියලා අඬපු ළමයෙක්ව තමයි මං මගේ ජීවිත කාලෙම හොයමින් හිටියේ....''
අපොයි දෙයියනේ එයා හරි හික්මීමකිනුයි ඒ වචන කිව්වේ. එයාගේ කලින් තිබුණ ස්වරෑපය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලයි එයා හැසිරුණේ. එයා මොනවද ඒ කිව්වේ. නෑ මමයි එයාගෙන් ආයෙත් ඇහුවෙ.
''ඔහෑ... ඔහෑ ගාපු ළමයෙක්? ඒ කියන්නේ කුඩා බබෙක්?''
''ඔව්. කුඩාම කුඩා බබෙක්. ඉපදුනු ගමන් වගේ.''
''තමුංට පිස්සුද ඉංජිනේරු මහත්තයා...''
''නෑ පිස්සු නෑ අදාරතී.... ඒක තමයි මං ඔයාට කියන්න ගිය කතාව.''
''ඒ කියන්නේ පුංචි ළමයෙක් ගැන.''
''ඔව්. ඉපදුනු ගමන් මං අතට ගත් පුංචිම පුංචි ගෑනු ළමයෙක් ගැන. හැබැයි එතකොට මගේ වයස අවුරුදු හතයි. මං එයාව හොයන්නේ අවුරුදු හතේ ඉඳලා.''
''ඇයි ඒ එයා ඔයාගේ කවුරුත් නෙවෙයිද?''
''නෑ... එයා මගේ නංගි නෙවෙයි...''
''එහෙනම්...''
''එයා ඉපදුනේ මගේ නැන්දට...''
''එතකොට කෝ නැන්ද?''
අපේ කතාව සම්පූර්ණ වෙනතකට වෙනස් වුණාට පස්සේ.... ඒ මං අහපු අන්තිම ප්‍රශ්නෙත් එක්ක... ඔන්න මට ඇහුනා එකපාරටම.
''අදාරතී මොකද මෙතන කරන්නේ?''
දෙවියනේ රෝමියෝ මාව හොයාගෙන ඇවිත්. මට එහෙමයි කියවුණේ.
ලබන සතියට...