2022 මාර්තු 13 වන ඉරිදා

ලෝක පාලක මෝදි

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 111

නොබෙල් සම්මානලාභී ඉතාලි නාට්‍යකරුවකු වූ දාරියෝ ෆෝ වතිකානුවේ දොරකඩ සිටම පාප් වහන්සේ සමඟ (වලි) දාගත්තකු ලෙස ප්‍රකටය. දාරියෝ මියගියේ වයස 90 දීය.

බොහෝ දෙනකු නොසිතූ අයුරින් ඔහු ගියේ නිරයට නොව ස්වර්ගයටය. එහිදී ඔහුට හිටපු පාප් වහන්සේ නමක් මුණගැසුණි.

''ආ... දාරියෝ... තමුසෙත් මෙහෙ ආවද?''

පාප් වහන්සේ පුදුමයෙන් - එහෙත් සතුටින් ඇසීය.

''ඔව්නෙ... මමවත් හිතුවෙ නෑ ඔබවහන්සෙව ආයෙත් දකින්න.''

දාරියෝ ඔහුට සුපුරුදු උපහාසයෙන් යුතුව පිළිතුරු දුන්නේය.

''තමුසෙ මෙහෙ ආපු එක ලොකු දෙයක්''

පාප්තුමා කීවේ දාරියෝගේ උරහිසට තට්ටුවක් දමමිනි. දාරියෝ කිසිත් නොකියා බලා සිටියේය.

''ඒ මොකද දන්නවද.. මෙහෙ කිසිම විනෝදයක් නෑ... කොටින්ම ටී.වී. එකක්වත් නෑ... ඒකත් යවලා අපායට... ඉතින් දැන් දාරියොට පුළුවන් අපිට බලන්න නාට්‍යයක්වත් කරන්න.''

''අපෝයි! ඔබවහන්සෙ හදන්නෙ මාවත් අපායට යවන්න.''

දාරියෝ ෆෝ මහ හඬින් සිනාසුණේය.

මෑතකදී ඒ දෙදෙනා යළි මුණගැසුණි. දාරියෝ ෆෝ ඒ මොහොතේ සිටියේ යුක්රේන - රුසියානු යුද්ධය ගැන බලවත් කනගාටුවෙනි.

''පාප්තුමනි, මේ ලෝකය පාලනය කරන්නෙ කවුද?'' 

දාරියෝ ඇසුවේය.

''වෙන කවුද ඉතින් අපේ දෙවියන් වහන්සේ මිසක්!''

''ඒ ඉස්සර වෙන්ඩැති. දැන් වෙන කෙනෙක්ලු''

''දාරියෝ.. තමුසෙ මෙහෙදිවත් කට පරිස්සම් කර ගන්නවා. නැත්තං මේ ලැබිල තියෙන චාන්ස් එකත් නැතිවෙයි.''

පාපතුමා ආපසු යාමට සැරසෙත්ම තම ජංගම දුරකථනය පිටතට ගත් දාරියෝ එහි තිබූ දෙයක් පෙන්වීය.

''පොඩ්ඩක් ඉන්න.. මේකෙ තියෙන විදිහට දැන් ලෝකය පාලනය කරන්නෙ ඉන්දියාවේ අගමැති මෝදි.''

''මොනවා! ඒක වෙන්ඩ බැරි දෙයක්නෙ.''

පාප්තුමා ඇස් ලොකු කර ගත්තේය.

''ඇත්ත බොරු මම දන්නෙ නෑ. ඒත් මේකෙ තියෙන විදිහට නම් මෙහෙමයි.''

දාරියෝ ෆෝ අන්තර් ග්‍රහලෝක ජාලයේ පෘථිවිය දැක්වෙන වෙබ් අඩවියක් විවෘත කර එය කියැවීමට පටන් ගත්තේය.

ඔහු මුලින්ම කියැවූයේ ලෝකයේ තිබෙන ප්‍රධානතම ආයතන දොළහක ප්‍රධාන විධායක නිලධාරීන්ගේ නම්ය. ඉන්ද්‍රා නූයි (පෙප්සිකෝ), අජ්පාල් සිං බන්ගා (මාස්ටර් කාඩ්), ජයශ්‍රී උලාල් (ඇරිස්ටා නෙට්වර්ක්), අර්වින්ද් ක්‍රිෂ්ණා (අයි.බී.එම්), ප්‍රාග් අග්‍රවාල් (ට්විටර්) සහ සංජේ මෙහොර්ට්‍රා (මයික්‍රොන් ටෙක්නොලොජි) වැනි විශිෂ්ටයෝ ඒ අතර වූහ.

පාප්තුමා උස් හඬින් හුස්මක් ඉහළට ගත්තේය. 

දාරියෝ යළි පටන් ගත්තේය.

''එංගලන්තයේ මුදල් ඇමැති රිෂි සුනාක් - ඉන්ඩියන්. අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් - ඉන්ඩියන්. ප්‍රීති පටෙල් - ස්වදේශ කටයුතු ලේකම්, එංගලන්තය. හර්ජිට් සජාන් - ආරක්ෂක ඇමති, කැනඩාව. සුරේන්ද්‍රෙශ් මෙනන් - අගවිනිසුරු, සිංගප්පූරුව. මොහොමඩ් ඉෆ්රාන් අලි - ජනාධිපති, ගයනාව. ඇන්ටෝනියෝ කොස්තා - අගමැති, පෘතුගාලය. ප්‍රවීන්ද් ජගුනාත් - අගමැති, මොරිෂස්.''

මේ අයුරින් නම් දෙසීයක් පමණ කියවාගෙන යද්දි පාප්තුමා අතක් දිගුකර ''නවතිනවා'' යැයි කීය.

''තව තියෙනවා... කල්පනා චව්ලා - නාසා ආයතනය. සුනිටා විලියම්ස් - ගගනගාමිනී, අමෙරිකාව. කමලේශ් ලූලා - අජටාකාශ ආයතනය, අමෙරිකාව.. අශ්චින් වාසදේව - නාසා. ඊළඟට ලෝක බැංකුව... ජාත්‍යන්තර මුල්‍ය අරමුදල... ප්‍රධාන බැංකු... හමුදාව... පොලිසිය...''

''ඇති ඇති දාරියෝ... මට දාඩියත් දැම්මා.''

පාප්තුමා ලේන්සුව ගෙන නළල පිසදා ගත්තේය.

''ඔබවහන්සේට දැන් තේරෙනවද ලෝකය පාලනය කරන්නෙ කවුද කියලා... ඒ තමා මෝදි.''

දාරියෝ කට ඇද සිනාවක් පෑවේය.

''දාරියෝ... මට ප්‍රශ්නයක් තියෙනවා. ඔච්චර බලවත් මෝදිට මොකද බැරි ඉන්දියාව හරියට පාලනය කර ගන්ඩ.''

පාප්තුමා බැරූරුම් මුහුණක් මවමින් ඇසුවේය.

''ඒක මේ ලෝක දේශපාලනෙ හැටිනෙ. නායකයෝ කාටවත් තමන්ගෙ රටේ ප්‍රශ්න විසඳන්න වෙලාවක් නෑ. ඒකට හේතුව ඒගොල්ලො වෙන වෙන රටවල ප්‍රශ්න විසඳන්න යන එක. උදාහරණයක් හැටියට තමන්ගෙ රටේ ජනවර්ග ප්‍රශ්නය විසඳගන්න බැරි නායකයෝ කලාපීය සාමය උදා කරල දෙන්න වෙහෙසෙනවා.''

''මට තේරෙනවා... ආගමික නායකයො හැටියට අපිටත් ඔය ප්‍රශ්නවලට මැදිහත්වීමේ සීමාවක් තියෙනවනෙ. අනික අපි කියන ඒවා ඔය මිනිස්සු අහන්නෙත් නෑ.''

''ඒක නං අපිටත් තේරෙනවා. ඒත් ලෝකය ගිනි ගන්න කල් බලං ඉන්න එක හොඳ මදි නේද?''

''පහුගිය දවස්වල අපි පෘථිවියේ ප්‍රශ්න ගැන සම්මේලනයක් පැවැත්වුවා. අන්තිමේට අපි තීරණය කළේ ප්‍රශ්න නැති පෘථිවියකට පැවැත්මක් නෑ කියලා.''

''ඒක මාර තීරණයක්නෙ.''

''පොඩ්ඩක් හිතල බලනවා. ප්‍රශ්න නැති පෘථිවියකට ආගම ධර්මය වැඩක් නෑ. එතකොට නිරය, ස්වර්ගය වහල දාන්ඩ වෙනවා. සෑහෙන පිරිසකට ආදායම් මාර්ග නැතිවෙනවා.''

''අන්න හරි තැනකට ආවා. දැන් ඔබතුමාට තේරෙනවද මෝදි ඉන්දියාවෙ ප්‍රශ්න විසඳන්නෙ නැත්තෙ මොකද කියලා? කවුද කැමති තමන්ගෙ ඡන්ද පදනම නැතිකර ගන්ඩ.''

''තමුසෙ ඔය කතා කරන්නෙ ඉන්දියාව ගැනද සිරි ලංකාව ගැනද?''

දාරියෝ ෆෝ කිසිත් නොකියා සිනාසුණේය.

♦ කපිල කුමාර කාලිංග

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00