2022 මාර්තු 13 වන ඉරිදා

එහෙනම් එයා ආපහු මාව රැවැට්ටුවා

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 196

ඇත්තටම මං බලාගෙන හිටියා ඒ දිහා. මට විශ්වාස කරන්න බැරිවුණා නිල් ඇස් කණ්නාඩිකාර අහංකාරයද මේ මගේ ඉදිරියේ ඉඳන් මට අඬගහන්නේ කියන එක. මං මාරුවෙන් මාරුවට බැලුවා අපේ අවන්හල දිහාත්... නිල් ඇස් කණ්නාඩිකාර ඉංජිනේරුවා දිහාත්... හරිම සෞම්‍ය සුළඟකුත් හමාගෙන ගියා පරිසරයේ.... මං හෙමීට ගියා එයාගේ කාර් එක තියෙන තැනට.

''මොනවද?''
මං එහෙමයි ඇහුවේ. මොකද එයා මට යමක් දෙන්නනේ කතා කළේ.
''ආ....''
එයා නැවතත් දික් කළා අත මිට මොලවා ගත් යමක්. ඇත්තටම මගේ හිත ඇතුළේ ඇවිලුනා මොකක්දෝ යමක්. ඒ සතුටුදායක සිතිවිල්ලක්ද දුක්ඛදායක එකක්ද කියන්න මට තේරුමක් නෑ. මං හිනාවුණා එයා එක්ක කට කොනකින්... ඒත් එයා මිට මොලවන් ඉන්න අත ළඟට මගේ අත යවන්න මොකක්දෝ බැරි හැඟීමක් ආවා එකපාරටම හිතට...
''ගන්න අදාරතී...''
තාමත් එයා මං එයාගේ අතේ ඇති දේ ගනීවි කියන බලාපොරොත්තුවෙන් හිටියා. කාටවත් නොපෙණුනත් මගේ කකුල් පවා තරමකට වෙව්ලන්න අරන් තිබුණා. මට ළඟින්ම දැනුණා එයා ළඟින් වහනය වන විලවුන් සුවඳ. ඇත්තටම මගේ ඇතුල් හිතයි දෙපාවලට වඩා වෙව්ලමින් ඇති බව දැනුණේ.
''අදාරතී... මොකෝ මේ බයෙන්... ඔයා එහෙම බය ඇති කෙල්ලක් නෙවෙයිනේ. ප්‍රොන්තො නම් දවසක මං එක්ක කිව්වේ අදාරතීට කියන අනිත් නම චණ්ඩි රුජින කියන එකයි.''
හරි පුදුමයි නිල් ඇස් කණ්නාඩිකාර අර්වින්ද් ස්වාමි අදත් මේ දැනුත් මා එක්ක කතා කළා ඊයේ රාත්‍රියේදී තරම්ම සුහදව. ඒත් පොඩි සැකයක් තිබුණා එයාගේ ක්ෂණික වෙනස්වීම් ගැනත්. මොකද එයා මේ වෙනතුරුම මට කළේ රුවටීම්. ඊයේ රාත්‍රියේදිත් එහෙමයි. බොහොම අපූරුවට මා ළඟින්ම ඉඳන් කතා කළත් ඊට ටිකකට පස්සේ මොකක්වත් නොදන්නවා වගේ යන්න ගියා. මගේ හිත මටම කොඳුරන්න ගත්තා. අෙයත් මෙයාට රුවටෙනවද? එයා දෙන දේ ගන්නවද? නැතිද? නැවත නැවතත් මෙයා කරන දේවල්වලට රුවටෙනවද? නැතිනම් මේ අහංකාරයා ඉදිරියේ මගේ සුපුරුදු අහංකාරකම් දියත් කරනවද?
''නෑ ඕන නෑ... ඔයා ඕක තියාගන්න.'' මම හිතන්නත් කලින් තමයි මගේ කටින් එහෙම කියැවුණේ.
''මොකක්?''
''හ්ම්...''
''ඇයි?''
''මට ඕන නෑ...''
''ඒ මොකද?''
''මං දන්නේ නෑනේ ඔය මොනවද කියන්න.''
''අපොයි මේක භයානක දෙයක් නෙවෙයි.''
''ඒකට කමක් නෑ. මට ඕන නෑ.''
''අපොයි අදාරතී... දොරකඩටම ඇවිත් බොහොම දයාවකින් දෙන්න හදන දේ එපාය කියන්න එපා... ඒක අපේ හිතවත්කම්වලට එච්චර හරි නෑ.''
මට හිතුණා එයා ඒ වචන ටික නොකීව නම් හොඳයි කියලා. මොකද මංවත් නොදැන මගේ හිත බලාපොරොත්තු වුණා එයාගෙන් මෙන්න මේ වචන. ඒ කියන්නේ එයා මේ දැන් මොහොතකට කලින් කතා කරපු ඒ වචන ටිකම මෙන්න මේ විදියට වෙනස් කරලා.
''අනේ අදාරතී... ඔයාගේ ළඟටම ඇවිත් බොහොම ආදරේකින් දෙන්න හදන දේ එපාය කියන්න එපා.... ඒක මං ඔයාට කරන්න හදන ආදරේට ගැලපෙන්නෙ නෑ.''
දෙවියනේ මං මොනවද මේ හිතන්නේ ආදරේ.... ඒ කියන්නේ මං එයාට ආදරේ කරනවාද? එහෙම නැතිනම් එයා මට ආදරේ කරනවද කියන සැකයකින්ද මං ඉන්නේ.
''අදාරතී? මොකෝ එකපාරටම ගොලු වුණේ? මට වෙලා යනවා. මං අද අපේ හෙඩ් ඔෆීස් යන්න ඕන. මේක ඔයාට උදෙන්ම ලැබෙන්න ඕන කී නිසයි දෙන්න ආවේ...''
මං ආයිත් ක්ෂණිකවම බැලුවා එයා දිහා. එයා කිසිම පැකිලීමකින් තොරවයි මං දිහා බලාන හිටියේ. ඇත්තටම එයාගේ ඇස්වල තිබුණා ඕනම ගෑනු ළමයෙක් ඇදීගෙන ඇදීගෙන එයා ළඟටම යන ගතියක්. හරියටම විදුලි සැරයක් වගේ දිලිසෙන හිනාවකුයි එයාගේ මං දිහා බලාගත්තු මූනෙත් තිබුණේ. ප්‍රොන්තෝ චණ්ඩි රුජින කියලා මාව හඳුන්වා දීලා තිබුණත් මේ වෙලාවේදී නම් මං මේ නිල් ඇස් කණ්නාඩිකාර ඉංජිනේරුවා ඉස්සර කූඹි පැටියෙකුටත් වඩා අසරණ තත්ත්වෙකින්. ඒ තරමටම එයා මා ඉදිරියේ බොහොම තේජාන්විතයි.
''අදාරතී... මොකෝ දාඩිය දාලා. බයවෙලා වගේ... අනේ මන්ද මූණත් එක්ක සුදුමැලි වෙලානේ.''
''නෑ එහෙම දෙයක් නෑ.... ඔය දෙන්න ආපු එක දැන් දීලා යන්නකෝ.... මට වැඩ තියෙනවා...''
මං බොහොම අමාරුවෙන් අකුරු එක එක එකතු කරගෙන කිව්වා කියලා මටම ඇහුණා. එයා හිනාවුණා. හරිම උපහාසාත්මක බවකින්.
''අදාරතීට මොකක් හරි අසනීපයක්ද? මට පේනවා හිටගෙන ඉන්නෙත් තරමක අපහසුතාවයකින් කියලා. එහෙම නම් කියන්න. මං වීරංගට කෝල් එකක් දීලා ඔයාට බෙහෙත් ටිකක් අරන් දෙන්නම්.''
''වීරංග? කවුද එයා?''
''එයා තමයි ඔයත් දන්න මගේ යාළුවා... ඩොක්ටර්...''
''ආ... එහෙමද... ඔව්ම නේන්නම්... ඔයාට යාළුවොත් ගොඩක් ඉන්නවනේ. ඇයි අර සුද්දී... එයාට මොකද වුණේ. එයා එහෙම කෝ දැන්?''
''සුද්දී? ඒ කවුද සුද්දී...?''
මං හිතන්නේ මං එයාට නරක කතාවකුයි කිව්වේ. අනේ මන්ද එයා ඉදිරියේ මේ මට මොකද වෙලා තියෙන්නේ?
''අදාරතී?''
''හ්ම්?''
''මොකක්ද ඒ සුද්දියෙකුගේ කතාවක් කිව්වේ... කවුද සුද්දී?''
ඔව් මට තේරුණා එයාට උත්තර නොදී මට ගැලවුමක් නැති බව. මොකද මමමයි කට වරද්ද ගත්තෙත්. මං නැවත ප්‍රාණවත් වෙන්න උත්සාහ කළා. ඒ මොකද මේ වෙනකොට මගේ තොල කට පවා සිඳීයමින් තිබුණා. මං මෙතෙක් මටත් නොදැනම හංගාන හිටි මගේ හිත... ටික ටික එළිවෙන්න අරන් තිබුණා. අහංකාර අර්වින්ද් ස්වාමි ඉදිරියේ... ඒ කියන්නේ මං එයාට ආදරේ කළාද කාටවත් නොදැනෙන්නම?
''ඇයි සුද්දි කිව්වාම ටිකක් හොඳ නෑ කියලා හිතුණද? එයා ඔයාගේ ආදරවන්ති නේද...? ඇයි දවසක් හොඳටම බීලා අපේ අවන්හලේ අර ඉස්සරහ තියෙන කබල් කාර් එක ඇතුළේ වැටිලා දෙඩෙව්වේ...''
''කවුරු ගැනද? මං සුද්දියේ සුද්දියේ කියලද කිව්වේ?''
එයාටම හිනා ගියා එයා ඒ වචන කියපු විදියටම. ඇත්තටම මගේ ගැනුණ හිත මේ වෙනකොට වෙඬරු පිඩක් තරමින් දිය වී යමින් පැවතුණා. ඔහු ඉදිරියේ මං කිව්වා එකපාරටම.
''සුද්දියේ කිව්වේ කෑ. කැරොලිනා... මයි ඩියර්... මයි ලවර් කිව්වා... ඔයා දන්නවද මං ඔයාට පැලෙන්න ආදරෙයි... මගේ කැරොලිනා කිව්වා...''
අරවින්ද් ස්වාමිගේ හිනා කට එකපාරටම වියළුනා. එයා බොහොම නිසල ඇස් දෙකකිනුයි මං දිහා බැලුවේ. මාත් බලා හිටියා එක දිගටම එයා දිහා... මට දැනුණා මගෙ ඇස්වලට බොහොම වේගෙන් කඳුළු වන වගක්. එයා මං ළඟටම ආවා. මගේ අත අරන්... එයා මෙතෙක් අත මිට මොලවාන හිටි දේ දුන්නා. කැරොලිනා ගැන කියන්න ගිහින් මගේ ඇස් දෙකට උණන කඳුළු ගැන මට සැකයක් දැනුණේ නෑ. ඒ කියන්නේ මට දැනෙමින් තිබුණා. අහංකාර අර්වින්ද් ස්වාමි මට ආදරය කරන්න අරන් බවක්... ඒ නිසාම එයා අල්ලගත්තු මගේ අතේ අතැඟලි හෙමින් විහිදවලා මං ඉඩ දුන්නා එයා ගෙනාපු දේ මගේ අත්ල උඩින් තියන්න... ඒත්....
''මොනවද මේ...?''
''ලස්සන කරාබු දෙකක්... ඔයා දාගන්න ඒක.''
''ඔයාට කොයින්ද?''
''මගේ නෙවෙයි.''
''එහෙනම්?''
''ඕක ඔයාට දෙන්න කියලා මට දුන්නෙ. ඕක දෙන්න හිතපු කෙනාට ඔයා ඉදිරියට ඇවිත් ඒක දෙන්න තියෙන බැරිකමක් නිසා...''
''එතකොට එතකොට ඔයා නෙවෙයිද මට මේක දෙන්නේ...''
''නෑ...''
''එහෙනම්...?''
''ලුසේන්...''
මගේ දෙපා පණ නැති වෙන වගක් මට දැනුණා. නිල් ඇස් කණ්නාඩිකාර අහංකාරය නැවතත් මාව රුවැට්ටුව බව දැනුණා. මං හිතන්නේ කඳුළු අතරින්ම මං එයාට කිව්වා. බොහොම කෝපයෙන්.
''නෑ මට මේක එපා... මේක ගිහින් දෙන්න ඔයාගේ කැරොලිනාට?''
''කැරොලිනාට දෙයක් දෙනව නම් ඒක මං අරන් දෙන්නම්. ලුසේන් මේක දුන්නේ ඔයාට දෙන්න කියලා. ඒ නිසා මේක ගන්න.''
මං හිතන්නේ මං එතෙක් දරාගෙන හිටි අන්තිම ශක්තියත් හමාපු හුළඟට ගහගෙන ගියා. කෑ ගහල අඬන්න ඕන වුණත් මං එහෙම කළේ නෑ. ඒත් කරාබු දෙක තිබුණ පෙට්ටිය එතැනම අත ඇරලා බොහොම වේගෙන් මිනර්වා කොටේජ් එකේ මට හිමි කබල් කාමරේට දුවගෙන ආවා.

ලබන සතියට...

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00