2017 මැයි 13 වන සෙනසුරාදා

මුවන් මරුවන්ට කෙළිබිමක් වූ මිහින්තලේ අභය භූමිය

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 308

මේ දිනවල සිදාදියේ හා ගම්දොරවල මිනිසාට මෙන්ම වනේ සතාසීපාවටත් ගිනියම් වූ හිරුගේ ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදුව තිබේ. පසුගිය අවුරුද්දේ අගභාගයේ ඊසානදිග මෝසම් වර්ෂාව අප රටට හරියාකාරව පතිත නොවුණු නිසා මහ වැව් ජලාශ පිරී ඉතිරී ගියේ නැත. ඇළ දොළවලට හරියට ජලය ලැබුණේත් නැත. ඒ නිසා 2016 අගභාගයේ අහස අල්ලා සිටි පෑවිල්ල 2017ටත් පැමිණියේය. ඉඳහිට වැහි ඇල්ලක් දෙකක් වැටුණද තවම රටට මහ වැසි නැත. මේ නිසා දෙපා සතාට මෙන්ම වනේ වන සතාටද අත්ව ඇත්තේ මහත් කරදරයකි. 

විශේෂයෙන් වියළි කලාපයේ පිහිටි අනුරාධපුරය, පොළොන්නරුව, පුත්තලම, අම්පාර, වවුනියාව, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, මොණරාගල, හම්බන්තොට, මන්නාරම වැනි දිස්ත්‍රික්ක රැසක පිහිටි ජාතික වනෝද්‍යාන, අභය භූමි හා රක්ෂිත වනාන්තරවල වන සතුන් දිය පොදක් සොයා ජීවිතය අවදානමට ලක් කරමින් ඉබාගාතේ යාමට පුරුදුව සිටිති. වනාන්තරවල අභ්‍යන්තරයේ තිබෙන ස්වභාවික ජල පොකුණු, කුඩා වැව්, ජල මාර්ග සිඳීගොස් ඇති නිසා වන සතුන් වනයෙන් පිටතට පැමිණ පිපාසය නිවාගැනීමට උත්සාහ කරති. මේ උත්සාහයේදී මුවන් ගෝනුන් වැනි අහිංසකයන් දඩමස් ලොබින් තුවක්කු මානාගෙන සිටින දඩයක්කරුවන්ගේ පහසු ඉලක්ක බවට පත්වෙති.

මේ ගැන දුක්බරම කතාව අසන්නට ලැබෙන්නේ මිහින්තලේ අභය භූමියෙනි. මිහින්තලේ පූජා භූමිය කේන්ද්‍ර කරගත් එම අභය භූමිය ප්‍රකාශයට පත් කළේ 1938 මැයි 27 දා සුද්දන්ගේ කාලයේදීය. එතෙක් මිහින්තලෙත් පැවතියේ සුද්දන්ගේ දඩබිමක් වශයෙනි.

හෙක්ටයාර් 999.7ක විශාලත්වයකින් යුත් මේ අභය භූමිය මිහින්තලා කඳුවැටිය, කළුදිය පොකුණ, රාජගිරිලන කන්ද ආදී අවට වන ප්‍රදේශවල පැතිරී තිබේ. මුවන් 700ක පමණ රංචුවක් මෙන්ම ගෝනා, හාවා, ඉත්තෑවා, මීමින්නා, වල් ඌරා මෙන්ම අලියා ද මෙහි වෙසෙති. ඒත් මෙහි සුන්දරත්වය ඉහළ නංවන මුවාට සෑම නියං කාලයක සේම මේ දිනවලද අත්ව තිබෙන්නේ ඛේදනීය ඉරණමකි. අභය භූමිය තුළ තිබෙන ගල් වළවල්වල, පොකුණුවල ජලය සිඳී ගොසිනි. මේ නිසා මුවෝ අවට වැව්වලට ජලය සොයා සැරිසරති. මේ ගැන විපරම් කිරීමට අප කතා කළේ මිහින්තලේ රජමහා විහාරාධිපති වලවැහැගුණවැවේ ධම්මරතන නාහිමියන්ටය.

මිහිඳු හිමියන් වර්ෂ 2324කට පෙර ප්‍රකාශ කළ ලෝකයේ මුල්ම අභය භූමිය තමයි, මිහින්තලේ. දැන් මිහින්තලාවට අත් වී තිබෙන්නේ කනගාටුදායක ඉරණමක්. ඉඩෝර කාලයේ ඒ අනතුර ඉහළ යනවා. බඳින තුවක්කු (කඳන්), උගුල් ඇටවීම වගේ දේවල්වලින් මෙන්ම වාහනවලට හප්පලාත් මුවන් මරනවා. ඒ වගේම තවත් බලවතුන් පිරිසක් ටී 56 තුවක්කුවලින් වෙඩි තියනවා. අනුරාධපුරයේ සමහර උසස් නිලධාරීන්ගේ සාදවලට කටගැස්මට ජීවිත පූජා කිරීමට මුවන්ට සිදුවෙලා. මේවා ප්‍රසිද්ධ රහස්. පුරාවිද්‍යා මුරකරුවෝත් සිටියදී තමයි මේවා සිදුවන්නේ. අනුරාධපුර හෝටල්වලට දඩමස් සපයන තැනක් වෙලා තියෙන්නෙත් මිහින්තලේ. මම මේ ගැන වනජිවී ඇමැතිතුමාටත් කිව්වා. මිහින්තලේ වනජීවී කාර්යාලයක් පිහිටුවන්න කියලා ඉල්ලීමකුත් කළා.

ධම්මරතන නාහිමියන් පවසන්නේ වන සතුන් වනයෙන් පිටතට පැමිණීමට ප්‍රධාන හේතුව වනාන්තරය තුළ තිබූ ගල්වළවල් පිරී ජලය සිඳී යාමයි. මේ ගල් ‍කෙබ සුද්ද කර යළිත් ජලය පුරවා දැමුවහොත් වන සතුන්ගේ පිපාසය බොහෝ දුරට සංසිඳවිය හැකිවනු ඇත. මිහින්තලේ අභය භූමියේ බඳින තුවක්කුවක් බැඳි තවත් පුද්ගලයෙක් පසුගියදා පොලිස් අත්අඩංගුවට පත් විය. වසරකට පමණ පෙරදී ඔහුගේ පුතා මියගියේද නිවසේ තිබූ බඳින තුවක්කුවක් පත්තුවීම නිසාය. ඒ අතර නියඟයෙන් බැටකන විල්පත්තුව වනෝද්‍යානයේ කෘත්‍රිම ජල වළවල්, පොකුණු ආදියට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ජලය පුරවන බවට පසුගිය සතියේ වාර්තා විය. 
හෙක්ටයාර් 131693ක් විශාල විල්ලු පිරුණ තෙත්බිමක් වශයෙන්ද ප්‍රකට විල්පත්තුව මේ වනවිට විශාල ජල හිඟයකට මුහුණ පා තිබේ. මේ උද්‍යානය පසුගිය වසර කිහිපය තුළම අප්‍රේල් මැයි වනවිට මෙතරම් උග්‍ර ජල හිඟයකට මුහුණ පා නැත. වනෝද්‍යානය අවට මෑත අතීතයේ සිදුවූ වන විනාශය ජල මූලාශ්‍ර ඉක්මණින් සිඳීමට එක් හේතුවක් බව පරිසරවේදීහු පවසති.

නියඟය නිසා අනතුරේ වැටෙන වන ජීවීන්ගේ රුකවරණයට සිටින්නේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි. වනජීවී නියාමක නිලධාරීහු ක්ෂේත්‍ර රාජකාරීවල නිරත වෙමින් වන සතුන් බේරාගැනීමට හැකි පමණ උත්සාහ කරති. මේ ගැන දැනගැනීමට අපි කතා කළේ වනජීවී නියාමකයන්ගේ සංගමයේ සභාපති චමින්ද ප්‍රියලාල් අත්තනායකටය.

“රටේ වනාන්තරවලින් 13 ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින අභයභූමි සහ ජාතික වනෝද්‍යාන වශයෙන් තිබෙනවා. වන සතුන් ජීවත්වන්නේ මේ වනාන්තරවල පමණක් නොවේ. අනෙක් වනාන්තරවල ජීවත්වන වන ජීවීන් නියඟයෙන් ජල හිඟයෙන් රැකගැනීමට අපි උපරිම උත්සාහ දරනවා. නමුත් නිලධාරී හිඟය ප්‍රධාන ගැටලුවක්. විල්පත්තු, කුමන, යාල වගේ වනෝද්‍යානවල කෘත්‍රිම ජලාශ ඉදිකර තිබෙනවා. මෑතකදී යාල කලාප අංක 1 අලුතෙන් වැවක් හැදුවා. සංගමයක් විදිහට හදිසි ආපදා තත්ත්වයකට මුහුණ දීමේ අභියෝගය ගැන අපි සාකච්ඡා කරලා තිබෙනවා.
ඉඩෝර කාලයේදී වන නියාමක නිලධාරීන්ගේ වැඩ වැඩිවෙනවා. ඒ කාලයට දඩයක්කරුවන් වැඩිවෙන නිසා විශේෂ රාජකාරී මුර සංචාර වැඩි කරනවා. ඒ වගේම දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය වගේ ඒවා ඉහළ නගිනවා. ඒ වගේම අපි දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළා මේ දුෂ්කර කාලේ නිලධාරීන්ට ලබාදෙන පහසුකම් ද ඉහළ නංවන්න කියලා.

දැන් මාස පහක් තිස්සේ වියළි කලාපය ඉරිතලා ගොසිනි. තවත් මාස තුනක් පමණ ඉදිරියට ඉඩෝර කාලය පැමිණීමට ඉඩ ඇත. තවමත් ජලාශ හා ගංඟා ආශ්‍රිතව පවතින උඩවලව, ලුණුගම්වෙහෙර, කලාවැව, මාදුරුඔය, මින්නේරිය, කවුඩුල්ල, ජල ගැලුම් නිම්නය වැනි වනෝද්‍යානවලට නියඟය එතරම් බලපා ඇත. ඉදිරියේදී කාලගුණ තත්ත්වය මත ඒ පෙදෙස්වලටත් නියං රතුසා අඩු විහිදුවීමට ඉඩ තිබේ. 
ඒ වනවිට අසරණ වන සතා සීපාවා කෙරෙහි දැන් සිටම විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. නැත්නම් කරල පැහෙන්නේ දඩයක්කරුවන්ගේය.

 කුසුම්සිරි