2017 මැයි 13 වන සෙනසුරාදා

26 වැනිදා මල් වගාවට හොඳ නැකතක්

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 187

ඔවුන්ගේ මල් වගා කටයුතු මෙන්ම ඒවා හා සම්බන්ධ ව්‍යාපාරික කටයුතුද සාර්ථක වන ප්‍රබල ශුභ මුහුර්ථයක් 2017 ජූනි මාසයේ 26 වෙනිදා යෙදේ. කලබලේට නැතිව කල්තියා සූදානම් වී දැනට අතහැර දමා පවතින මල් වගා ව්‍යාපෘතිද සාර්ථක කරගැනීමට නව ආරම්භයක්ද දිය හැක.

ඔබේ දැනුමට මල් වගා යෝග
1.රැස කිව සිටිය කිවි දින මල් පැළ සාද 
පුෂ හැම දිනම මල් සැදුමට උතුම් වද 
බස පෙර සිටම ඒ ලෙස උතුම් දින බුද
නිසැකව මෙදැන එක්කර යෝග මල් සද

2.තුනතුරු අස්විදය සහ සුබ හෝරා ද
ගෙන අට පස සුදු කර මල් සැදූ සඳ 
ගුරු දින බුදද බුද ගුරු දුටු රැසින් සොඳ 
සැදු මල් විළස දේ රුව මන නද සුවඳ

2017.06.26 වෙනිදා සඳුදා පෙ.ව. 6.21 සිට 6.57 දක්වා මල් පැළ රෝපණයට උතුරු දිශාව බලා ශුභයි.
• සම්පූර්ණ දින කාලයම මල් සිටුවීමට සුදුසු පුෂ නැකත ක්‍රියාත්මක වෙයි.
• ධනස්ථානාධිපති චන්ද්‍රයා ධනස්ථානයේම සර්ව ක්ෂේත්‍ර බලයෙන් තැන්පත් වෙයි.
• එකී බලවත් චන්ද්‍රයාගේම හෝරාවද පවතී.

• තවද විෂ පංචමයද ගෙවී ගොස් බුධ - ගුරු සහ ශුක්‍ර යන පංචමයන් පවතී. එකී බුද ලග්නය හා හතරට අධිපති වෙමින් ලග්නයේද ගුරු 7 හා 10 අධිපති අයස්ථානයේදී බලවත් වී ඇත.
• 3 සහ ලග්නය අධිපතියන්ගේ සේවනයේ බලයෙන් ලග්නය බලවත් වී ඇත.
• 5 – 6 – 8 – 12 යන ස්ථාන ග්‍රහයින්ගෙන් තොරව ශුද්ධ වී ඇත.

මෙකී බලවත් යෝගය යොදාගෙන මල් පැළ රෝපණය කොටගෙන සුවඳවත්වූ අලංකාර ගෙඋයන් මලින්, යුතු මල් ගොමු පරිසරයක් මවා ගන්නවා පමණක් නොව ව්‍යාපාරික ලාභයක්ද අත්කර ගැනීමට උත්සුක විය හැක.
කෙසේ වෙතත්:- බෙරණ - පුවපල් - පුවසඳ - රෙහෙන - හත - සුවන - අද - සා - සියවස යන නැකත්වලින් උපත ලබාසිටින ඡන්මීන්ට නැකතින් විපුල ඵල ලැබිය නොහැක.
ජ්‍යෙතිෂ්‍යයට පිවිසෙන ආධුනිකයින්ගේ ප්‍රයෝජනය පිණිස සුභ මුහුර්ථ සාධනයට පිවිසීමේ යෝගද සහිතව ශුභ මුහුර්ථය ඉදිරිපත් කර ඇත.

ජ්‍යෙතිෂ නන්දන
විශ්ව කීර්ති ජ්‍යෙතිෂ විද්‍යා පණ්ඩිත ශිරෝමනී
දකුණුලක ශිඛර ජ්‍යොතිෂ 
පර්යේෂණාධිපති
තලගල - අක්මීමන
සුරා ශ්‍රී ගුණවර්ධන