2017 මැයි 13 වන සෙනසුරාදා

කෝ අපිට හීන

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 127

අහස කළු කරමින් තිබුණේ උදේ පාන්දර සිටය. වහිනවා නම් හොඳයැයි මා කල්පනා කළේ ඇඳට වී රෙද්දකුත් පොරවාගෙන සිටින ගමන්මය. වැස්ස නොව මුහුද ගොඩගැලුවද අද ඇයත් සමඟ ඇඳුම් ගන්නට යා යුතුය. වැහි බර අහස විසින් දැවෙන සූර්යා වසාගෙන සිටීම තව තව කඩවල් ගාණේ ඇවිදින්නට ඇයව පොළඹවාලීය. අවුරුදු ඉවර වූවද කඩපිල්වල සෙනඟය. සැබවින්ම මේ සියලු සත්ත්වයෝ තම සියලු වස්තුව වියදම් කරන කාලයයි.

“කඩවල් උතුරන්න සෙනඟ”

මම කීවේ මේ ගමනේ නීරස බව විඳිමිනි.

“මේ කාලෙට මෙහෙම තමයි ඉතින්”

ඇයට ගමන රස බව මට වැටහුණේය.

අපි කඩයකින් එළියට විත් තවත් කඩයකට යාමට පාරට ආවෙමු.

ඇසි පිය ගසන මොහොතින් සට සට ගා විශාල වැහි බිඳු ඇද වැටෙන්නට විය
මොහොතක් ගතවත්ම මහා වරුසාවකි.

ඇයද තුරුලට ගෙන මම පාරේ ගිය ත්‍රී රෝද රථයකට අත වැනීමි
ක්ෂණිකව ගමන් මඟ වෙනස් කළ රියදුරු අපි දෙදෙනා එහි නංවා ගත්හ

“කොහොමද මල්ලි වැස්ස, ඇපත් නෑ මිනිස්සුන්ට” 

ඔහු කීවේ ලේන්සුවලින් ඔලුව පිසින අපි දෙදෙනා දෙස පැති කණ්ණාඩියෙන් බලමිනි

“ඒක තමයි අයියෙ එක පාරට කඩන් වැටුණෙ” 

මමද කීවේ තවමත් වරුසාවෙන් බේරෙන්නට සෙවණක් සොයා හිස් ලූලූ අත දුවන මිනිසුන් දෙස බලමිනි

“ඔහොම තමයි මල්ලි ජිවිතෙත් එක පාරට තමයි දෙන්නෙ දුවන්න පාර හොයාගන්න බැරි වෙන්න. හැම වේලාවෙම අපි රෙඩි පිට ඉන්න ඕන, ඔහු ත්‍රීරෝද රථයේ හැඩලය එක අතකින් හසුරවමින් අපිට අනෙක් අතින් උපදෙස් ලබාදුනි.

මේ රථයට ගොඩ වූ කී දෙනෙක් සමඟ ඔහු මෙලෙස කතා කරන්නට ඇත්ද? ඒත් මට ඒ කතාවේ කිසිදු ව්‍යාජ බවක් නොදැනුණි.

“ඒකනම් ඇත්ත අයියේ. අයියා කොච්චර කල් මේ රස්සාව කරනවද?”

මම ඇසුවේ සංවාදය කරගෙන යාමටය.

“අවුරුදු 5, 6ක් විතර මේක තමයි මල්ලී කරන්නෙ. අපිට ලොකු ලොකු හීන නෑනෙ.  දරුවට හොඳට උගන්නා ගන්න එක තමයි ලොකුම බලාපොරොත්තුව”.

මවුපියන් එසේය. රියදුරකු වුවද ඔහුත්  පියකු ලෙස තම වගකීම ඉටු කරන්නෙක්ය. අපි සැබවින්ම දෑත් එක්කොට අත්පොළසන් දිය යුත්තේ මෙවන් මිනිසුන්ටය.

වැස්ස නිසා කඩාකප්පල් වූ ඇගේ කඩපිල් සංචාරය ගැන තැවුලෙන් ඇය වැස්ස දෙස බලා සිටියාය.

“අපි උදේ පාරට බහින්නේ දවසෙ ගේම ගහන්නනෙ මල්ලී. දවසට කොහොම හරි ගාළු හොයා ගන්නවා. රෑ 8.30 විතර වෙද්දී හයර් ටික ඉවර කරනවා. 9ට දේවාලෙ වහනවනෙ.“ යැයි කියා ඔහු සිනාසුණි.

ඔහු දේවාලෙ යැයි කීවේ නිසැකවම තැබෑරුමටය.

මහ පාරේ අවුව වැස්ස හා ඔට්ටු වෙමින් ගෙවන දිනයක් අවසන ඔහුගේම මනෝ ලෝකයක ටිකක් හති අරින්නට එපායැයි කීමට අපිට නොහැකිය.

“මේ බලන්න මල්ලි මගෙ අත”

ඔහු තම වමත මට පෑවේය.

අඟලක් අඟලක් ගාණේ කරගැටය.

ත්‍රී රෝද රථයේ ගියර් දමන්නේ අතින් බව මා දන්නා නමුදු එය මෙතරම් කටුකයැයි මා දැන සිටියේ නැත.

මිනිසුන්ගේ ජීවිත අපි සමීපව නැරඹිය යුතුය. එවිට කටු පිරිනු ගස්වල ඉඳ හිට පිපුණු මල්ද, මල් පිරුණු ගස් වල සැඟවී ගිය කටුද දැකිය හැකිය.

“මොන රස්සාවත් කට්ට තමයි අයියේ”

මම කිවේ ඔහු ගැන අනුකම්පාවෙන්ය.

“එකක් තියනවා මල්ලි ජීවිත කාලෙම එක එකා යටතේ වැඩ කරලා ලොකු උන්‍ට හම්බකරලා දෙනවට වඩා මම මේ රස්සාව කරලා මල්ලිලගෙන් ගන්න රුපියල් සීය මට වටිනවා. තුන්වේල කාලා අපි කොන්ද කෙලින් තියන් මේ පොළොවේ පය ගහලා ජීවත් වෙනවා මල්ලී වෙන මොනවද මිනිහෙක්ට ඕන”.

ඔහු කීවේ උස් ස්වරයෙනි. 

එහි පුදුමාකාර ආත්ම විශ්වාසයක් ගැබ්ව තිබුණි

අවුරුද්දේ උණුසුම තාම අඩුවී නැත

කොහේහෝ කඩයක රේඩියෝවක රබන් පද සමඟ කොහා හඬන ශබ්දයක්ද ඇසිණ. 

“මල්ලිලා ෂොපින් ආවද?” 

ඔහු ඇසුවේ නිහඬව සිටින ඇය දෙසද බලමිනි.

“ඔව් අයියෙ මේ බඩු වගයක් ගන්න ආවා” 

මම කීවෙමි.

“ගෑනුත් එක්ක ඕන එකක් කළහැකි ඔය ඇඳුම් තෝරන එක ඇරෙන්න”

ඔහු කීවේ සිනාසෙමිනි.

ඇයද සිනාසී ලජ්ජාවට මෙන් මට හේත්තු විය.

අපි ගමනාන්තයට පැමිණ ත්‍රීරෝද රථයෙන් බැස්සෙමු.

මුදල් ගෙවා අවසන ඔහු යන්නම් මල්ලී කියාගෙන යන්නට ගියේය.

ඒ මිනිසාගේ ජීවිතය කෙතරම් සුන්දර සරල එකක්දැයි මට සිතුණි.

සල්ලි සොයමින් ජීවිතයම විඳවන මිනිසුන් අතර ජීවිතය විඳින මිනිසුන්ද සිටින බව මට පසක් විය.

මම ඇය දෙසට හැරුනෙමි

දෙතොල නොකී දේ දෙනෙතේ ලියවී තිබුණි

අපි ළඟම තිබූ තවත් කඩයකට සෙනඟ අස්සෙන් රිංගා ගත්තෙමු

අහස තවමත් වැහිබරය 

කොයි මොහොතක නැවතත් වහීවිදැයි අපි නොදනිමු

(හමුවෙමු මේ අහස යටම) 

තිසුම් නලින

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00