2022 මැයි 15 වන ඉරිදා

කඩදාසි ඉල්ලා සටන් කරන්න සිදුවෙලා

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:00 202

පසුගියදා කොල්ලුපිටිය හන්දියට එක්රොක් වූ ලේඛකයන්, පාඨකයන්, ප්‍රකාශකයන් සහ මුද්‍රණකරැවන් එහි සිට ගෝඨාගෝගම දක්වා විරෝධතා පෙළපාලියක් ගියහ. ඔවුන්ගේ ඉල්ලීම වුණේ මේ වර්ෂයේ මුල පටන් දැඩිව පවතින කඩදාසි හිඟය හා මුද්‍රණ උපකරණ හිඟය නිසා පොත්පත් පළ කිරීම ඉතා අසීරු වී පවතින බවයි. කළුකඩයේ පවතින අධික මිල ගණන්වලට කඩදාසි රුගෙන පළකරන පොත්වලට අධික මිලක් නියම කිරීමට සිදුවීම නිසා එවැනි පොත් මිලදී ගැනීමට නොහැකි බව කියමින් පාඨකයෝත් එදින උද්ඝෝෂණය කළහ. මේ වනවිට වෙළෙඳපොළේ කඩදාසි මිල ගණන් තුන් හතර ගුණයකින් ඉහළ ගොස් ඇතැයිද කළුකඩ මුදලාලිලා සතිපතා මිල ඉහළ දමන බවත් මුද්‍රණාල හිමියෝ පවසති. 

එදින උද්ඝෝෂණයට සමහරු පැමිණ සිටියේ හබරල කොළවල ලියූ සටන් පාඨ රැගෙනය. තවත් සමහරු ගෝනිවල පරණ මුද්‍රණ ප්ලේට් තහඩුවල සටන් පාඨ ලියා තිබුණි. ඒ කඩදාසි හිඟය සංකේතවත් කරමිනි. පොත් නැති රටක්, පොත් ලියන්නේ කෙසේද, තීන්ත මිල අඩු කරනු වැනි සටන් පාඨ දැකගත හැකි විය. මේ එක් විරෝධතා පුවරුවක ලියා තිබූ කවියකි:

පෑන තමයි අපේ සවිය‍
අකුරු තමයි අපේ අවිය‍
සාධාරණ ඉටු වෙනකං
කියනව අපි සටන් කවිය

මේ මුද්‍රණ ක්ෂේත්‍රය ගිලගත් අවුල ගැන සාහිත්‍යවේදී කීර්ති වැලිසරගේගේ අදහසයි:

අපේ රටේ අසංස්කෘතික සමාජයක් බිහිවෙමින් යන හැටි පසුගිය කාලයේ අපි දැක්කා. එයට පිළිතුරු හැටියට කලාව, සාහිත්‍යය පාසල් විෂය නිර්දේශවලින් අතිරේකව කියැවීමේ අවස්ථාව දරුවන්ට ලබාදෙන ලෙස අපි යෝජනා කළා. සිංහල සාහිත්‍ය දෙමළටත්, දෙමළ සාහිත්‍ය සිංහලටත් පරිවර්තනය කර, මේ දෙකම ඉංග්‍රීසියටත් යොදාගමු කියලාත් යෝජනා කළා. 

නමුත් මේ අර්බුදකාරී සමයේ අනිකුත් සියලු ක්ෂේත්‍ර නායයාම් වගේම මුද්‍රණ ක්ෂේත්‍රයටත් කණ කොකා හඬන තත්වයක් ඇවිත්. අපි සාහිත්‍ය සමාජයේ ප්‍රසාරණයක් බලාපොරොත්තු වුණත් දැන් ඒකෙ සංකෝචනයක් දකින්න ලැබෙනවා. අපේ සමාජය වඩා යහපත් සංස්කෘතික ජයග්‍රහණයන් අත්පත් කර ගැනීමේ දිසාවට වෙනස් විය යුතුයි කියලා කටයුතු කළ සියලු දෙනා අද විපිලිසර වෙලා.

පොත් කර්මාන්තයේදී පොතක මුද්‍රණ වියදමෙන් සියයට 30ත් 32ත් අතර වැයවන්නේ කඩදාසි සඳහායි. ඒ අනුව කඩදාසි සඳහා පනවා ඇති බදු අඩුකරන ලෙස පොත් කර්මාන්ත ක්ෂේත්‍රයේ සහ ප්‍රකාශන ක්ෂේත්‍රයේ ඉල්ලීමක්ව පැවතියත් රජයෙන් එයට සතුටුදායක විසඳුමක් ලැබුණේ නැත. 

මේ ගැන විරෝධතාවට සහභාගි වූ විදර්ශන ප්‍රකාශන අධිපති ජනක ඉණිමංකඩ අපට පැවසුවේ මෙවන් අදහසකි:

ලංකාවේ ප්‍රකාශන හා මුද්‍රණ කර්මාන්තය සියයට 90ක් රඳා පවතින්නේ පිටරටවලින් ආනයනය කරන අමුද්‍රව්‍ය මතයි. පවතින විදේශ විනිමය අර්බුදය නිසා මේ අමුද්‍රව්‍ය ගෙන්වීම ප්‍රශ්නයක් වෙලා. මේක මුද්‍රණ හා ප්‍රකාශන කර්මාන්තයට තීරණාත්මක විදිහට බලපානවා. ඉන්දියාව විශාල මුද්‍රණ කර්මාන්තයක් පවතින රටක්. ඒ නිසා මම  තාවකාලිකව මේ ප්‍රශ්නය තරමක් සමනය වන තෙක් ඉන්දියාව සමඟ සහයෝගී මුද්‍රණ වැඩපිළිවෙළකට යාම සුදුසු බව යෝජනා කරනවා. අපිට ඉන්දියාවෙන් පොත් මුද්‍රණය කරලා ගෙන්වාගත හැකි වුණත් එවිට විශාල පිරිසක් සේවය කරන මුද්‍රණ කර්මාන්තය බිඳ වැටෙනවා. මේ නිසා මුද්‍රණ හා ප්‍රකාශන පාර්ශ්ව දෙකම සමඟ සහයෝගී වැඩපිළිවෙළක් තමයි යෝග්‍ය වන්නේ.

ලේඛක ප්‍රකාශක විරෝධයට එක්ව සිටි ප්‍රවීණ ලේඛක අනුරසිරි හෙට්ටිගේ අපට තම අදහස සඳහන් කළේ මෙසේය:

වර්තමාන ආර්ථික, දේශපාලන සහ සමාජයීය මොහොත රටේ ස්ථාවරව පැවති බොහෝ දේ අපගමනය කරා කැඳවා ගෙන තිබේ. විශේෂයෙන්ම මුද්‍රණ කර්මාන්තය මූලික කරගත් ප්‍රකාශන කාර්යයට ඉන් සිදුව ඇති හානිය සහ පාඩුව රටේ අනාගතය කෙරෙහි අයහපත් ලෙස බලපා හැකි බව බොහෝ දෙනාට නොදැනුණු දෙයකි. මානව බුද්ධියට ඍජු බලපෑමක් සහිත සාහිත්‍යයට මේ මොහොතේ එල්ල වී පවතින තර්ජනය සුළුපටු නෙවේ. පතපොත මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි සහ ප්ලේට් ආදියත්, තීන්ත සහ යන්ත්‍ර සූත්‍ර අමතර කොටස් ආදිය හිඟවීමෙන් මුද්‍රණ කාර්යය සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබේ. කළුකඩ යාන්ත්‍රණය බලාත්මක වීමෙන් පතපොත සඳහා සාධාරණ අලෙවි මිලක් නියම කිරීමද උගහටය. පාසල් පෙළ පොත් සේම සටහන් පොත් මුද්‍රණය ඇන හිටීමෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ඇතිකර තිබෙන බාධාව ප්‍රබලය. මේ අයහපත් තත්ත්වය මුද්‍රණ සේවකයන්ට පමණක් නොව ලේඛකයන්ගේ දිවි පැවැත්මටත් වෘත්තීය සුරක්ෂිතභාවයටත් තර්ජනයකි. ඒ පිළිබඳව රජයේ කිසිදු අවධානයක් යොමු වී නැති පසුබිමක මුද්‍රණ, ප්‍රකාශක සහ ලේඛක ගණයාට, ජන අරගලයේ පාර්ශ්වකරුවන් ලෙස මහ පාරට බැසීමට සිදුවිය. එනිසා මේ මොහොත කළමනාකරණයට මැදිහත් වන ලෙස විකල්ප දේශපාලන යාන්ත්‍රණයට අපි බලකර සිටිමු. පතපොත රහිත රට චින්තනමය කාන්තාරයකි. බලධරයින්ට අප බලකර සිටින්නේ වහා මැදිහත් වී ප්‍රකාශන කර්මාන්තය රුකදෙන ලෙසයි.

මේ කඩදාසි හිඟය ගැන සඳහන් කරන ප්‍රවීණ ලේඛක කමල් පෙරේරාගේ අදහසයි:

“මුද්‍රණ කර්මාන්තය අභියෝගයට ලක්වී අපේ සමාජයේ ඈත ඉතිහාසයේ සිටම පවතින කියවීම නැතිවී යන තත්වයක් මතුවෙලා. පොත පත කියවීම සමාජයේ ආත්මගත වූ සංස්කෘතික කාරණයක්. පරාක්‍රමබාහු රජතුමාගේ සමයේ මංගල හස්තියාගේ පිට තබාගෙන ග්‍රන්ථ ගෙන ගිය බව සඳහන් වෙනවා. ”ග්‍රන්ථරාජයා” කියලයි පොත පත හැඳින්වූයේ. 

එවන් ඉතිහාසයක් සහිත සමාජයට වර්තමානයේ රටේ තිබෙන සියලු අර්බුද එක්ක බරපතළ තත්වයක් මතුවී තිබෙනවා. පොහොර නැතිව ගොවියෝ උද්ඝෝෂණය කරනවා. සිමෙන්ති ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය වගේම දැන් පැනඩෝල් පෙත්තක් ගන්නත් නැති තත්ත්වයකට පත්වෙලා. එවැනි තත්ත්වයක් තුළ ලේඛකයාට, ප්‍රකාශකයාට, මුද්‍රණ ශිල්පියාට සහ පාඨකයාට පමණක් නොවෙයි මුළු සමාජ දේහයටම බලපාන ප්‍රශ්නයක් බවට කඩදාසි හිඟය පත්වෙලා. මිනිසුන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සුනුවිසුණු කර දමන මට්ටමට කඩදාසි ප්‍රශ්නය සාහිත්‍යයට බලපා තිබෙනවා. 

ආණ්ඩුව මේ ගැන දක්වන්නේ කුඩම්මාගේ සැලකිල්ලක්. දූෂිත පාලකයින්ට ජනතාව දැනුවත්වීම බුද්ධිමත්වීම අනතුරක් නිසා වෙන්න ඇති. අපිට සැකයක් තියෙනවා ආණ්ඩුව මේ කරන්නේ කඩදාසිවල මිල ඉහළ නංවන්න කරන කූඨ උපක්‍රමයක්ද කියලා.

 කුසුම්සිරි