2022 ජුනි 26 වන ඉරිදා

බාල පරිවර්තන රැල්ලෙන් රටට වැඩක් නෑ - ප්‍රවීණ පරිවර්තක චූලානන්ද සමරනායක

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 215

සම්මාන කිහිපයක්ම හිමි කරගත් ප්‍රවීණ පරිවර්තක චූලානන්ද සමරනායකගේ අලුත්ම කෘතිය ඉන්දීය - පකිස්ථාන් ලේඛක සදාත් පසන් මන්ටෝගේ කෙටිකතා එකතුවකි. එය විදර්ශන ප්‍රකාශනයක් ලෙස නිකුත් වී තිබේ.

ඔබේ පසුගිය කාලයේ නිකුත් වූ අලුත්ම කෘතිය වුණු ඉන්දීය ලේඛක හසන් මන්ටෝගේ දෙපළු කරන ලද හදවතක චෝදනා පත්‍රය ගැන විස්තර කළොත්....

මේකට ඔහුගෙ ඉංග‍්‍රීසි බසට පරිවර්තනය වුණු කෙටිකතා අතරින් අති බහුතරයක් ඒ කියන්නෙ කතා 61ක් ඇතුළත් වෙනවා. 

මන්ටෝ කියන්නෙ දෙකඩ වෙන්න පෙර ඉන්දියාවට අයත්, දෙකඩවීමෙන් පසුව තම බලවත් අකමැත්තෙන් පකිස්ථානයේ කරච්චියට පිටුවහල් වෙන්න සිදුවුන ඒ බෙදී වෙන්වීම දරා ගන්න බැරුව අකාලයේ ජීවිතය හැරගිය විශිෂ්ට ලේඛකයෙක්. ඒත් ඉන්දියාව වගේම පාකිස්ථානයටත් ඔහුගෙ අගය දැනුණෙ නෑ. යටත්විජිත ආණ්ඩුව වගේම පකිස්ථාන ආණ්ඩුවත් ඔහුට නඩු පවරනවා. අසභ්‍ය දේවල් ලිවුව කියල. ඒත් විනිසුරන් විසින් ඔහු නිදහස් කරනු ලබනවා. ඔහුගෙ ජීවිතය වගේම ලේඛක ජීවිතයත් පහසු එකක් නෙවෙයි.

ඔහු ඉන්දීය ජීවිතයේ පත්ල ඉතා සියුම්ව ස්පර්ශ කරනවා. ඔහුට කියන්නෙ ඉන්දියාවෙ ගෝර්කි කියල. ඔහුත් ගෝර්කි වගේම අවපීඩිත ජනයාගේ ජීවිතය දැඩිව අල්ල ගන්නා. ඒ ඇසුරින් වටනා නිර්මාණ කරනවා.

මම ඔහුගේ වටිනාම කෙටිකතා සියල්ල සිංහලට පරිවර්තනය කරනවා. මේකට මම ඉන්දියාවට ගිය වෙලාවෙ මිලට ගත් ඔහුගෙ කෙටිකතා එකතු දෙකක කතා, මගෙ මිත‍්‍රයෙක් වන කේරළ කිවියර ඒ වගේම මාක්ස්වාදියෙක් වන කේ.ජී. සංගරපිල්ලෙ මට දුන් කෙටි කතා, එරික් ඉලයප්පාරච්චිගෙන් ලැබුණ පොතක කතා වගේම එස්.ජී. පුංචිහේවා මහතාගෙන් ලැබුණ පොතක කතාත් ඇතුළත් වෙනවා. පොත මෙතරම් විශාල වෙද්දීත් මං ඒක කරගෙන ගියේ එහි ප්‍රකාශක ජනක ඉණිමංකඩ සහෝදරය පොත තොච්චර ලොකු වුණත් කමක් නෑ කතා සියල්ලම කරන්න කියල දුන් දිරිමත් කිරීමත් සමගිනුයි. මෙතනදී විශේෂ දෙයක් කියන්න ඕනෑ. මට මන්ටෝ ගැන කියල ඔහුගෙ කෙටිකතා අනිවාර්යයෙන්ම උඹ අතින් පරිවර්තනය වෙන්න ඕනෑ කියල බල කළේ කිවියර සංගරපිල්ලෙ. ඔහු මේ ගැන විවිධ අවස්ථාවල විමසල තියෙනවා.
 
මෙම පරිවර්තනය අපේ සමාජයට වැදගත් වන්නේ කුමන ආකාරයෙන්ද?

ලංකාව කියන්නෙත් ඉන්දියාව වගේම ජාතිවාදයෙන් තදට බැටකන රටක්. අදටත්  ඕනම මොහොතක මේ රට තුළ ජාතිවාදය අවුළුවන්න පුළුවන්. ඒකට ආගමික සංස්ථාවන් වගේම දේශපාලකයනුත් පෝර දානවා. මන්ටෝගෙ කතා අතර ජාතිවාදයේ මෙන්ම බෙදී වෙන්වීමේ ඛේදය විග‍්‍රහ කෙරෙන අපූර්ව කතා ගණනාවක් තියෙනවා. ඒ හැම කතාවක්ම අප කම්පනයට ලක්කරන, ඒ වගේම අපේ සිතන රටාව වෙනස් කරන්න බල

යාව දෙකඩවීමේ වේදනාව පළකිරීම පිණිස ඔහු සොයාගත් මාවතත් මේ කෙටි කතාමයි. ඔහුගේ කතා තුළ ඉතා තියුණ උපහාසයක් ගැබ්වෙනවා. ඒ වගේම ඒ තුළින් මනුෂ්‍යත්වයට කෙරෙන ආමන්ත‍්‍රණය අති ප්‍රබලයි. 

පසුගිය කාලයේ පරිවර්තන රැල්ලක් අපට දකින්න ලැබුණා. තෝරාගැනීමකින් තොරව කරන්නන් වාලේ පොත් පරිවර්තනය කිරීමට සමහරු පෙළඹී සිටියා. එය ඔබ දකින්නේ කෙසේද?

මම නම් වඩාම කැමති පාඨකයා මුල් බසින්ම නිර්මාණයක් කියවන එකටයි. ඒත් අපිට එහෙම කරන්න හැම වෙලාවෙම බෑ. ඒ වගේම අපි අපේම බසින් කියවන්න අනුරාගික ඇල්මක් දක්වනවා. ඒත් එහෙම වුණා කියල තේරීමකින් තොරව ඔහේ පරිවර්තනය කරන රැල්ලක් අපේ රටේ තියෙනවා. ඒක පරිවර්තකයගෙ මෙන්ම පාඨකයගෙත් කාලය අපතේ හැරීමක්.

පරිවර්තකයෙක් නව ක්ෂිතිජයන් විවර කරන කෙනෙක් විය යුතුයි. ඔහු හුදු තාක්ෂණික කටයුත්තක නියැලෙන්නෙක් නෙවෙයි. ඔහු නිර්මාණකරුවෙක්. භාෂා දෙකක් දැන සිටීම මෙහිදී ප්‍රමාණවත් වෙන්නෙ නෑ. 

අද සමහරු තමන් සිත් ගැනීම නිසා පරිවර්තන කරනවා. එහෙත් පරිවර්තන කෘතියක් ඊට එහා ගිය දෙයක් විය යුතුයි. විශේෂයෙන්ම ප්‍රපාතයකට ඇද වැටෙමින් තියෙන අපේ රටේ මිනිසුන් වඩා පුළුල් දැක්මක් සහිත පුරවැසියන් බවට පත්කිරීමට සමත් කෘති හඳුන්වා දිය යුතුව තියෙනවා. ඒක පරිවර්තකයගෙ වගකීමක්. අනෙක් අතින් ඔහු සංස්කෘතීන් යා කරන්නෙක්. ඒ නිසාම ඔහුට තමන් පරිවර්තනයට තෝරාගන්නා කෘතිය මෙන්ම එහි පසුබිම, අදාළ ජනතාවගේ විවිධ සංස්කෘතික ලක්ෂණ ඇතුළු විශාල පරාසයක් ගැන කියවීමක් අවශ්‍ය කරනවා. 

සමුගනිමි ගුල්සාරිවලින් පටන්ගත් ඔබේ පරිවර්තන කලාව දෙස බලන විට පේන්නේ විශිෂ්ඨ කෘති අතරින් අපේ සමාජයට කාලීනව වැදගත් වන සේ තෝරාගත් පොත් ඉදිරිපත් කරන බවයි. ඒ ගැන කිව්වොත්....

සමුගනිමු ගුල්සාරි කෘතියෙ ඉඳලම මං කෘතියක් තෝරගන්නෙ එයින් අපේ සමාජයට යම් ආලෝකයක් සැපයෙනවද කියන කාරණාව ගැන හිතලයි. මම අයිත්මාතොව්ගෙ එක් කෘතියක් සියවසක් පවත්නා දවස^ කියල සිංහලට පරිවර්තනය කරනවා. ඒක විශාල නවකතාවක්. ඒ කතාව තුළ අතුරු කතාවක් එනවා. අයිත්මාතොව් කියන්නෙ තම ජන සාහිත්‍යය ඉතා මැනවින් නිර්මාණ තුළට ගෙන ආ කෙනෙන්. ඔහුගෙ අරමුණු අතර සිය ජන සාහිත්‍යය ආරක්ෂා කරගැනීමත් තියෙනවා. මම කිව්ව කෘතියෙ මැන්කර්ට්වරයා නැතිනම් මානව වහලා කියන සංකල්පය සාකච්ඡාවට ගනු ලබනවා. අයිත්මාතොව් මේ රෑපකය ගන්නෙ මහා රුසියානු සංස්කෘතියට කිර්ගීස් සංස්කෘතිය යට කිරීම ගැන කියන්න. හැබැයි අපේ දේශපාලනය ගත්තහමත් කොයිතරම් වහලුන් නිර්මාණය කරල තියෙනවද කියල පේනවා. අද අන් කවරදාටත් වඩා හොඳින් ඒක පේනවා. අයිත්මාතොව්ගෙ මේ කෘතිය ඒ හින්ද අපිව වෙනත් මානයක් හරහා කියවීමක් වගේ.

අද කඩදාසි හිඟය හා අධික මිල ගණන් නිසා හොඳ පොත් රාශියක් පළකර ගත නොහැකිව තිබෙනවා. ලේඛකයන් උකටලීව සිටිනවා. ඔබ මේ අවුල දකින්නේ කෙසේද?

අද මේ අර්බුදය තුළ ප්‍රකාශන කර්මාන්තය දරුණු අගාධයක වැටිලා. පළකරන්න බැරුව තියාගෙන ඉන්න මගෙ පරිවර්තන කෘති සංඛ්‍යාව තුනක්. මගෙ කවි පොත් දෙකක් සහ ළමා කතා කිහිපයකුත් ඒ අතර තියෙනවා. ඒවා කවදා පළ කරන්න ලැබෙයිද කියන්න බෑ. පාසල් පෙළ පොත්, ප්‍රශ්න පත‍්‍ර පවා මුද්‍රණය කිරීම අසිරුව ගිය රටක පොත් ගැන කවර කතාද. ඉස්සරහට බත් ඔතන්න පත්තර කොළයක් නැති වෙයි. තම ලැයිස්තුවෙ එකේ ඉඳල හුඟක් පහළට කෑම බීම විතරක්ම තියාගෙන ඉන්න බහුතරයක් ඉන්න රටක පොතක් කියන්නෙ ඒ තරම් අවශ්‍ය දෙයක් නෙවෙයි. ප්‍රකාශන කර්මාන්තය දියුණු කරන්න තියා පවත්වාගෙන යන්නවත් අවශ්‍යයි කියල හිතන්න සමත් දේශපාලකයො අපිට නෑ. තෙල් නැවෙන් තෙල් නැවට පෝලිමට දුවන්න සලස්වපු ජාතියක් අපි. ඉතාම කාලකණ්නි තාලෙට දේශපාලකයන්ගෙ පාපන්දු බවට ජනතාව පත්වුණ රටක් මේ. 

මේක වෙනස් විය යුතුයි. සියල්ලටම පළමුව ජනතාවට සතුරු දේශපාලන ක‍්‍රමය වෙනස් කළ යුතුයි. අද දවසෙ සියල්ලම පරයා නැගෙන අවශ්‍යතාව ඒක. එය නොකර අනෙක් කිසිවක් ජයගන්න බෑ.

 කුසුම්සිරි

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00