2022 අගෝස්තු 07 වන ඉරිදා

අන්තර්වාර අටපට්ටම

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 171

සිරි ලංකාවේ සිටින්නේ මහ පුදුම මිනිස්සු ජාතියකි. ඔවුන් දෙවියන් වහන්සේ හෝ මහා බ්‍රහ්මයා මැව්වා යැයි කියන මිනිසුන්ගෙන් කොටසක් නම් විය නොහැකිය.

ටික දවසක් වහිනකොට ඔවුහු වැස්සට බනින්නට ගනිති. ඉන්පසු අව්ව පායා ටික දවසක් යනවිට අම්ම මෝ නැතුව සූර්යාට බනින්නට පටන් ගනිති.

පාලමක් උඩින් යනවිට, කිසිදු වරදක් නොකල ගඟට, කාරා කෙළ ගසති. රාත්‍රියේදී මුත්‍රා කරති. නගර අලංකරණයට තබා ඇති, සිමෙන්ති මල් බඳුන්, බුලත් කෙළින් නහවති. විටට ගත් හුණු ටිකේ ඉතිරිය, ළඟම බිත්තියේ, තාප්පයේ ගා වනසති.

මේ රටේ බඩුමිල පාලනය කරන්නේ වෙළෙන්දෝමය. සහල් මිල ගණන් ඉහළ දමන මෝල් මුදලාලිගේ කටවල් වහන්නට, ඇමැතිලාටවත් බැරිය. එළවළු වෙළෙන්දෝ ගණන් කියන්නේ පාරිභෝගිකයාට සිහිමුර්ජා වන ආකාරයටය. බිත්තර වෙළෙන්දෝ ගණන් ඔසවන්නේ තමන්ම කෙකර ගා බිත්තර දැමූ ලෙසටය.

හාඩ්වෙයාර්කාරයෝ අවුරුදු ගණන් තම ගබඩාවල ගොඩගසාගෙන තිබූ සිමෙන්ති ඇස්බැස්ටස් හා යකඩ කම්බි ආදියට කල් යල් බලා ගණන් වැඩි කරන්නේ සිත්පිත් නැති ආකාරයටය.

අමාරුවෙන් ණයට ගත් ඩොලර් ටික ගෙවා ගෙන්වා දෙන, තෙල් ටික, ෆුල් ටෑන්ක් ගසා ගන්නා ඇතැම් රථ හිමියෝ, ඒවා හොරට වැඩි මිලට විකුණා, යළි යළිත් පෝලිමට යති. කිසියම් භාණ්ඩයක හිඟයක් හෝ මිල වැඩිවීමක් ආරංචි වූ සැණින්, මිල මුදල් ඇත්තෝ සුපිරි වෙළෙඳසල්වලට දිවගොස් ඒවා ගොඩගසා ගන්නේ, නැති එකාට නැත්තටම නැති වන්නටය. මේ ලැයිස්තුව දිගින් දිගටම කියන්නට ගියහොත්, මෙවර ''හී සරයේ'' වෙන දෙයක් ලියන්නට නොහැකි වනු ඇත.

මේ දිනවල මේ අමුතු දූපතේ කතාබහට ලක්වන අලුත්ම මාතෘකාව සර්ව පාක්ෂික ආණ්ඩුවය. එහෙම ආණ්ඩුවක් හැදීමත් ලෙහෙසි නැත.

''අපොයි ඔය මිනිහ එක්ක මොන හවුලේ ආණ්ඩුද?'' කියමින්, සමහර පොඩි පක්ෂ මගහරිති.

තවත් සමහරු ''පස්ස දොරෙන් ආපු ඔය බැඳුම්කරයා අපට ෂුවර් නැතැ''යි කියමින් පස්ස ගසති.

තව කිහිප දෙනෙක්, කොන්දේසි මල්ලක් රිටක අග එල්ලා, දිගු කරගෙන බලා සිටිති. ඇමැති කට්ටක් ලැබුණොත්, ගොඩේ ගොඩය. ජනතාවගේ මනාපයෙන්, පාර්ලිමේන්තුවට යන අය, ඉන්පසු ජනතාව සමඟ අමනාප වූවාක් මෙන් කටයුතු කිරීම මේ රටේ හැටියකි.

රටේ ඩොලර් සංචිත නැතිභංග වී යද්දී, ඒ දැන දැනත්, ''අපොයි එහෙම දෙයක් නැතැයි'' කියමින් ජනතාවට මුසාවාද බිණූ මැති ඇමැතිලා සහ ඇම්බැට්ට රාළලා පොළව පලාගෙන නරකාදියට වැටෙන්නට, ඔන්න මෙන්න තියා පැන ගත්තේ ''අපිව පත්කළ උඹලාත් මේවට වග කියන්ඩ ඕනෑ'' යයි කෝචෝක් එකක්ද දමමිනි.

මිනිස්සු අරගල කිරීමට පාරට බහින්නේ බැරිම තැනය. (ඒවා ඇතුලේ වෙන වෙන බළල් අත් තිබිය හැකිවීම වෙනම කාරණයකි)

මුලදී සංත්‍රාසයට පත් ලොකු ලොකු උදවිය, අරගලකරුවන් ඇමතුවේ ''දරුවන් - තරුණයන්'' යනුවෙන් වුවත් යළි තම බලය තහවුරු වනවිට, ඔවුන් ත්‍රස්තවාදීන්ය. කඩාකප්පල්කාරීන්ය. කෞතුක වස්තු සොරුන්ය. ජනතාව අරගල කරන තැනට පත්වූයේ ඇයිදැයි සිතා බැලීමට එහි වගකීම පවරා ගැනීමට රටින් පලා ගිය නායකයෝවත් ඉදිරිපත් නොවෙති.

නිර්වස්ත්‍ර වී ඇති බව දැනගත් විට කවුරුත් තැත් කරන්නේ, බේසමකින් හෝ විළි වසා ගැනීමටය. එහෙත් ඒ බොහෝ බේසම්වල අඩිය නැති බව ඔවුහු නොදනිති. රෙදි නැතිව පාරේ ගිය රජකු දුටු පොඩි එකෙකු ''ආං රජජුරුවො හෙළුවෙන් යනවෝ'' යැයි කෑගැසූ කතාවද මෙහිදී මතකයට නැඟෙයි.

ප්‍රජාතන්ත්‍රවාදය නැමැති සංකල්පය බිහිවූයේ, ක්‍රිස්තු පූර්ව පස්වැනි සියවසේ, ඇතෑන්ස් නුවරදීය. ''ඩිමොක්‍රටියා'' යන ග්‍රීක වදන සකස් වූයේ ''ඩිමෝ'' (ජනතාව) හා ක්‍රාටෝස් (බලය) යන දෙවදනෙනි. අද ලෝකයේ රටවල් පාලනය කෙරෙන්නේ, ජන බලය යන අරුත් දෙන, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයෙනි. එහෙත්, බොහෝ විට, රටින් රටට එය වෙනස්ය.

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ''තග'' දැමීමද, එබඳු ඇතැම්පාලකයන්ගේ ''නව ප්‍රජාතන්ත්‍රවාදී'' උපක්‍රමයක් වුවද හැමවිටම එය ඔවුන්ට පාරා වළල්ලක් වන බව ඉතිහාසය පෙන්වා දෙයි.

පයේ බරවායක් නම් ඊට බෙහෙත් කළ යුතුය. නොඑසේව, පිටිකර බෙහෙත් දැමීමෙන් පලක් නැත. අරගලයට ප්‍රතිකාර කළ යුත්තේද නිසි ක්‍රමයටය.

සර්ව පාක්ෂික කතා ඇතුළේ අන්තර්වාර පාලන යෝජනාව වසංවී ඇති බවට සමහරු දැන් චෝදනා නඟති. දුම්රිය මැදිරියක් තුළ, තෙරපී ඇඹරී යන අතරේ, කවුදෝ මෙසේ අසනු ඇසිණි. 

''එතකොට අර අන්තර්වාර පාලනේ කියන අටපට්ටම අටවන්නේම නැද්ද?'' 

කාගෙන්දෝ පිළිතුරක්ද ලැබුණි.

''ඒක අටවන ජනාධිපති බලා ගනීවි.''

I කපිල කුමාර කාලිංග

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00