2017 මැයි 20 වන සෙනසුරාදා

අවාරයේ රෑ කාලේ සිරිපා වන්දනා තහනම්

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 419

සෑම වසරකම වෙසක් පුර පසළොස්වක පෙහොය දිනයෙන් සිරිපා වන්දනා වාරය අවසන් වෙයි. උඳුවප් පුන් පොහොය දිනයෙන් ආරම්භ වන සිරිපා වන්දනා වාරය හය මාසයක් පුරාවට පැවැත්වෙයි. සිරිපා වන්දනා වාරය අවසන් වුවද, බොහෝ අවස්ථාවල අවාර සමයේ සිරිපා කරුණා කරන පිරිස්ද සිටිති. මෙවර සිරිපා වන්දනා වාරයෙන් පසු එවැනි අවාර සමයේ රාත‍්‍රී කාලයේ සිරිපා වන්දනා කිරිම තහනම් කරන බව වත්මන් ශ‍්‍රීපාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙගමුවේ ධම්මදින්න හිමියෝ පසුගියදා නල්ලතන්නිය ශ‍්‍රීපාද බෞද්ධ මධ්‍යස්ථානයේදී ප‍්‍රකාශ කළහ.

ක‍්‍රිස්තු පූර්ව 577 දී ලක්දිව කැලණියට වැඩි සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමනල කන්දේ  වම් සිරිපා ලාංඡනය පිහිටුවීමත් සමඟ සමනල කන්ද ශ‍්‍රීපාදස්ථානය ලෙස නම් වූ ලොවපුරා බෞද්ධ ජනතාවගේ වන්දනාව පාත‍්‍රවෙමින් පවතී.

නිස්සංකමල්ල, වළගම්මබා ආදී මෙරට රජකළ බොහෝ රජවරුන්ද, පාහියන්, ඉබන් බතූතා වැනි දේශ ගවේශකයන්ද, ථේරපුතථාභය, දීඝඡන්තු වැනි මහා යෝධයන් ද  සිරිපා කරුණා කළ බව පොත පතේ සඳහන් වේ.

ශ‍්‍රීපාදස්ථානය තම ආගමික නායකයන් ද ස්පර්ශ කළ බිමක් ලෙස තවත් ආගම් කිහිපයක මතයක් පවතී. ඇඩම්ස්පීක්, ශිවනොලිපාදම්, වැනි නාමයන්ගෙන් එය නම් කරන්නේ එනිසා බව එම ආගම් අදහන්නෝ කියති.

තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ කැලණියට වැඩි අවස්ථාවේ ප‍්‍රාදේශීය පාලකයෙක්ව සිටි සුමන සමන් ප‍්‍රතිරාජයාගේ ආරාධනාවෙන් සමන්තකූඨ පර්වතයට වැඩම කිරීමෙන් පසුව ඒ අසල පිහිටි සුමන සමන් ප‍්‍රතිරාජයාගේ ලෙනේදී දහවල් දානය ගෙන පසු එහිම දිවා විහරණය කළ බව බෞද්ධ ඉතිහාසයේ කියවෙයි. එකී දිවා විහරණය කළ ලෙන කුමක් ද යන්න ගැන තවමත් නිසි ස්ථාවරයක් නැතත් කලක පටන් බොහෝ බෞද්ධයෝ විශ්වාස කළේ සිරිපා මලුව පහළින් පිහිටි භගවා ලෙන දිවා ගුහාව බවය.

නමුත් වර්තමානයේ  කුරුවිට එරත්න මාර්ගයේ බටතොට පිහිටි සුවිශාල ලෙන සම්මා සම්බුදු රජාණන් වහන්සේ දිවා විහරණය කළ ‘දිවාගුහාව’ හඳුන්වා දසදහස් ගණන් බෞද්ධයෝ වන්දනාමාන කිරිමට එති. එතැන ‘දිවාගුහාව’ ලෙස නම් වී වසර පහළොවක වැඩි නැත. ඒ ස්ථානයේ වසර පුරාම වන්දනා කිරීමට හැකියාවක් පවතී.

තථාගතයණන් වහන්සේගේ ස්පර්ශය ලැබූ ලොව පිහිටි පුණ්‍යභූමි වලින් මෙසේ වසරේ හය මාසයකට හෝ කෙටි කාලයක පමණක් වන්දනා මාන කරන සිද්ධස්ථානයක් ඇත්නම් ඒ ශ‍්‍රීපාදස්ථානය පමණකැයි විශ්වාසයක් පවතී. එය එසේ වූයේ ඇයි? අවාරේ සිරිපා ගමන් තහනම් කළ යුත්තේ ඇයි? එවැනි තහනමක් කිරීම සුදුසුද? ආදී ප‍්‍රශ්න ගණනාවක් මේ තීරණයෙන් පසු නැගෙන්නට ඉඩ ඇත.

ලංකාවේ උසින් සිව්වැන ස්ථානයේ පසුවන සමනළකන්දේ උස මීටර් 2243කි. වර්තමානයේ සිරිපා කරුණා කරණ බැතිමතුන් ගමන් ගන්නා මාර්ග හතකි. හැටන් මාර්ගය හෙවත් නල්ලතන්නිය හාරහා වැටී ඇති මාර්ගය, රත්නපුර මාර්ගය හෙවත් ගිලීමලේ ශ‍්‍රී පලාබද්දල හරහා වැටී ඇති රජමාවත, කුරුවිට මාර්ගය හෙවත් එරත්න අඩවිකන්ද හරහා වැටී ඇති මාර්ග ප‍්‍රධාන ඒවා ය.

ඊට අමතරව මූක්කුවත්ත මාර්ගය, රාජමලේ මාර්ගය හෙවත් මරේවත්ත මාර්ගය, දැරණියගල, මාලිබොඩ මාර්ගය, ඌව මාර්ගය හෙවත් ගවරවිල මස්කෙළිය මාර්ගය ද සිරිපා කරුණා කරණ මාර්ග වේ. මෙම මාර්ග ඉහත කී මාර්ග තුනට අතර මගදී සම්බන්ධ වන අතර මේ මාර්ගවල පහසුකම් අවම ය.

ශ‍්‍රීපාදස්ථාන පිහිටා ඇති සමනළ අඩවිය වැසි වනාන්තරයකි. නිරිතදිග මෝසම් වැස්සෙන් පෝෂිතවන වනාන්තර කලාපයක එය පිහිටා ඇත. අන්තර් මෝසම් වැස්සෙන් ද මේ කලාපයේ අඩුවක් නැත. ඒනිසා මහ වැසි ඇදහැලෙන සමයේ සිරිපා කරුණා නොකිරීමට අතීතයේ පියවර ගන්න ඇතැයි විශ්වාසයක් පවතී. වර්තමානයේ නිරිතදිග මෝසම් කාලය ලෙස හඳුන්වන්නේ මෙසමයයි. එනම් මැයි මාසයේ සිට සැප්තැම්බර් අග දක්වා ය. ගංගා ඇළදොළ දෙගොඩතලා යමින් දවසේ වැඩි කාලයක් මීදුමෙන් වැසී, මහ වැසි ඇදහැලෙන මේ වකවානුවේ එහි යන එන්නන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවන නිසා සිත් පහන් කරගෙන සිරිපා මලුව කරා ළඟා විය නොහැකිය එහෙයින් සිරිපා වන්දනාවාරය හය මාසකට සීමා කරන්න ඇතැයි අදටත් විශ්වාසයක් පවතී. බොහෝ විට දවසේ වැඩි කාලයක් වනාන්තරය වැසී ඇති මීදුම නිසා නිසි අයුරින් පාර සොයා ගත නොහැකිව අතරමංවන්නට බොහෝ දෙනකු හට සිදුවීම මේ කාල වකවානු සීමා කරන්නට හේතු වන්නට ඇත.

කෙසේ නමුත් කාලයාගේ ඇවෑමෙන් සිරිපා මාර්ග විදුලි ආලෝකයෙන් ආලෝකමත් වී දම්වැල් වෙනුවට සිමෙන්තියෙන් පඩි බැඳ යකඩෙන් අත්වාරු බැඳ ඇති මෙසමයේ සිරිපා වන්දනාව පහසුය. වැසි ඇදහැලෙන විට මහගිරිදඹේ පඩිවලින් පහළ වැටෙන ජල දහරාව ගමන බාධාවකි. ඒ හැරෙන්නට මීදුම හෙවත් කොඩේ නිසා කෙනෙකු අතරමං නොවනු ඇත.
පරිසරයේ වෙනස දකින පරිසරවේදීන්, 

පර් යේෂකයන්, වැනි ගමනේ වෙනසක් බලාපොරොත්තුවන සීමිත පිරිසක් අවාර සමයේ සමනළ අඩවියට ඇතුළු වී සිරිපා මලුවට ද ගොස් එය වැඳපුදාගෙන ආපසු පැමිණියහ.

නමුත් මෑත කාලයේ විවිධ සංවිධානවල පුද්ගලයින් සිරිපා මලුව ආක‍්‍රමණය කරමින් එහි පැවැත්මට බාධා කරන තත්ත්වයක් මතුවීමෙන් අවාර සමයේ සිරිපා වන්දනාව තහනම් කිරිමට හේතුව බව ශ‍්‍රීපාදස්ථානාධිපති හිමියන් පැවසූ බව මාධ්‍යයන් ඔස්සේ පළවිය.

උන්වහන්සේ එසේ ප‍්‍රකාශ කිරිමට හේතුවක්ද තිබුණි. පසුගිය දිනවල ඇතැම් සංවිධානාත්මක පිරිස් සිරිපා මලුවට ගොස් වන්දනාමාන කරන බෞද්ධ සැදැහැවතුන්ට බාධාවන පරිදි හැසිරීමට ක‍්‍රියා කිරීම ප‍්‍රධාන හේතුවයි. සිරිපා වාරයේදී මෙලෙස හැසිරෙන පුද්ගලයන් අවාර සමයේ එහි යාමට ඉඩදුනහොත් කෙසේ හැසිරේවිද යන සැකය මත සිරිපා මලුවේ ආරක්‍ෂාව පතා අනාගත පරපුර වෙනුවෙන් රැකගත යුතු නිසා මෙවැනි තීරණයක් ගත් බවද කියැවිණි. 

මෙසේ සිරිපා බැතිමතුන්ට බාධාකරමින්, අධිකරණ නියෝග ද නොතකා ක‍්‍රියාකළ කිහිප දෙනෙක් දැන් සිටින්නේ ඇප මතය. 

සිරිපා මලුවට මෙවැනි තර්ජන පැමිණියේ අද ඊයේ නොවේ. ක‍්‍රි:ව: 1581 දී සීතාවක අගනුවර කරගෙන අප රටේ රජකළ පළමුවැනි රාජසිංහ රජ සමයේ රාජ්‍ය අනුග‍්‍රහයෙන් ශ‍්‍රීපාදස්ථානය බෞද්ධයන්ට අහිමිව ගිය බව ඉතිහාසයේ සදහන්වෙන බව පැරුන්නෝ කියති.

ශිව ආගම වැළඳග රාජසිංහ රජු මහ සඟුන් ඝාතනය කරමින් හැසිරුණු 1593 දක්වා වූ කාලය ප‍්‍රදේශයේ බෞද්ධ සිද්ධස්ථාන හැරයන්නට මහා සංඝයාට සිදුවීමෙන් ඒවා අභාවයට ගියේය. 

වර්තමානයේද සිරිපා මලුවට බෞද්ධයන් කියාගන්නා පිරිස්ම සංවිධානාත්මකව පැමිණ විවිධ කඩාකප්පාල්කාරී ක‍්‍රියාවන්හි නිරතවීම සම්බන්ධයෙන් තොරතුරු ඇති නිසා පොලීසියද සිටින්නේ සීරුවෙන්ය. සමහරු මලුවේ තැන්පත් කරන්නට බුදු පිළිම රැගෙන එති. සිරිපා මලුව යන මාර්ගයේ ගල්කුලුවල විවිධ වාක්‍ය ලියති. බෞද්ධයන්ට නොගැලපෙන ලෙස හැසිරෙති. ඔවුන්ට අවවාද දෙන්නට සූදානම් වනවිට හෝ එසේ නොකරන ලෙස දැන් වූ විට එන්නේ ගැටුමකටය.

මේ ප‍්‍රවණතාව පසුපස විවිධ සංවිධානාත්මක කල්ලි ඇති බවට විශ්වාසයක් පවතී. කෙසේ වුවත් ශ‍්‍රීපාදසථානය මෙවැනි බලපෑම් ඇතිවන්න පටන් ගත්තේ මෑතක සිටය. 

සිරිපා මලුවේ අනවශ්‍ය ලෙස රැදී ඉන්නට ඉඩ නොදීම නිසා අමනාපයට පත්වූ පිරිස් මෙවැනි ක‍්‍රියා කරන බවට සැකයක් පවතී. කෙසේ නමුත් ශ‍්‍රීපාදස්ථානයේ අගය වැඩිවී තිබෙන්නේ සැමදාම එහි යා නොහැකි නිසාය. එතැන ආරක්‍ෂා කිරීම වත්මන් ශ‍්‍රීපාදස්ථානාධිපතීන් වහන්සේට අයත් වගකීමක් නිසා උන්වහන්සේ ‘අවාරේ රාත‍්‍රීයේ සිරිපා වන්දනාව’ තහනම් කරන්නට හේතුවක් වන්නට ඇත.

එය එක් අතකින් අවාරෙ එහි යන එන්නන්ගේ ද ආරක්‍ෂාවට ගත් පියවරක් වන්න ඇත. කෙසේ නමුත් හොඳ චේතනාවෙන් අවාරයේ සිරිපා එන දෙස විදෙස් සංචාරකයන්ට එය නීරස තොරතුරක් වනු ඇත. එනිසා ඔවුන් පවසන්නේ මලුවේ ආරක්‍ෂාව තරකර අවාර සමයේ රාත‍්‍රියේත් සිරිපා වඳින්නට අවස්ථාව දියයුතු යැයි කියති. ශී‍්‍රපාදස්ථානය සියලු බෞද්ධයන්ට අයිති බිමක් පවසන මේ කණ්ඩායම් එහි තාවකාලික භාරකරුවන් බෞද්ධයන්ගේ වන්දනා මානයට තහංචි යෙදීම ආණ්ඩුක‍්‍රම ව්‍යවසථාවෙන් ඇති ආගම ඇදහීමේ අයිතිය කඩ කිරිමක් බව ද කියති.

 අජිත්ලාල් ශාන්තඋදය