2022 සැප්තැම්බර් 04 වන ඉරිදා

කඩදාසි හිඟයේ අවදානම

 2022 සැප්තැම්බර් 04 වන ඉරිදා, පෙ.ව. 08:00 174

ප්‍රාදේශීය මාධ්‍යවේදියකු වන ලියනවිට, තම හිතවත් ඇමැතිවරයකු හමුවීමට ගියේ වැදගත් කාරණයක් කතා කිරීමටය.

''සර්, එන තත්ත්වෙ නම් හොඳ නෑ.''

ලියනවිට කීවේ ආරම්භයක් හැටියටය.

''ඒක තමයි, අපිත් ලොක්කට කියන්නෙ දැන්ම ඡන්දෙකට යන්ඩ එපා කියලා.''

ඇමැතිවරයා පැවසුවේ විස්කි වීදුරුවට අයිස් කැටයක් දමමිනි.

''මම කියන්නෙ වෙන තත්ත්වයක් ගැන සර්. මෙහෙම ගියොත් පත්තර ගහන එක නවත්තලම දාන්න වෙයි. කඩදාසි ගිනි ගණන්.''

''ඒ වුණාට තාම පත්තර ගහනවනෙ.''

''ඔව්. ඒත් අමාරුවෙන්. පිටුත් අඩුයි. මිලත් වැඩියි.''

''කලබල වෙන්න දෙයක් නෑ.. තාම පත්තර පෝලිම් හැදිලා නෑනෙ.''

''ඒ වුණාට පත්තර කියන්නෙත් ජනතාවට අවශ්‍ය එදිනෙදා භාණ්ඩයක් වගේ දෙයක්නෙ. ඒත් මෙහෙම ඒක සුඛෝපභෝගී භාණ්ඩයක් වෙලා නවතී.''

''පත්තර මිලට කලින් බිත්තර මිල පහත දාන්න ඕනෙ. පත්තර කියවන්න නම් මිනිස්සු ජීවත්වෙලා ඉන්න එපායැ.''

''රටේ ලෝකේ වෙන දේවල් දැනගැනීම මිනිස්සුන්ගෙ අයිතියක්නෙ සර්.''

''ඒකට පත්තරම ඕනෙ නෑනෙ. රෑපවාහිනි, ගුවන්විදුලි ප්‍රවෘත්ති තියෙන්නෙ. ඒ නැතත් අර සමාජ මාධ්‍ය ජාලා තියෙන්නෙ.''

''ඒ වුණත් මුද්‍රිත මාධ්‍ය කියන්නෙත් ඉතාම වැදගත් දෙයක් සර්. විශේෂයෙන්ම පුවත්පත කියන්නෙ රටක ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබිඹුවක්.''

''ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපි බලාගන්නම් අයිසෙ. ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ. ඒක රකින්න තමයි පොලිසියයි ත්‍රිවිධ හමුදාවයි තියෙන්නෙ.''

''පුවත්පතටත් විශාල බලයක් තියෙන බව අමතක කරන්න එපා සර්.. පුවත්පතට පුළුවන් ආණ්ඩු හදන්න වගේම ආණ්ඩු පෙරළන්නත්.''

තම විස්කි වීදුරුව මේසය මත තැබූ ලියනවිට තරමක ආවේගයෙන් කතා කළේය.

''හා හා.. බලාගෙන. මහජන ආරක්ෂක පනත යටතේ තමුසෙවත් අත්අඩංගුවට ගන්ඩ පුළුවන්.''

''මං පුවත්පත් කලාවේදියෙක් මිසක් ත්‍රස්තවාදියෙක් නෙවෙයි ඇමැතිතුමා.''

''සමහර වෙලාවට අපිට ඔය දෙකේ වෙනසක් පේන්නෙත් නෑ.''

ඇමැති කට කොණකින් සිනාසුණේය.

''කඩදාසි හිඟයෙ තව පැත්තක් තියෙනවා සර්. මුද්‍රණ කර්මාන්තයෙන් ජීවත්වෙන ලක්ෂ ගාණක් ඉන්නවා. ඒ මිනිස්සුන්ගෙ රස්සාවල් නැති වේගෙන යන්නෙ. ලේඛකයො පොත් ලියන එක නවත්තයි මුද්‍රණය කරන්න ක්‍රමයක් නැති නිසා.''
''කඩදාසි ගේන කල් කාටත් ටිකක් ඉවසන්න වෙනවා. ලේඛකයන්ට පුළුවන්නෙ ඊ බුක්ස් ලියන්න. ආණ්ඩුවටම බැණ බැණ ඉන්නෙ නැතුව විකල්ප මාර්ග හොයාගන්න මිනිස්සු දැනගන්න ඕනෙ.''
''ඔව් සර්... මෙහෙම ගියොත් ඒක ඉක්මනටම සිද්ධවෙයි. මිනිස්සු විකල්පයක් තෝරගනී.''

ලියනවිට ඉක්මනින්ම ආපසු ගියේය.

එදින රාත්‍රී ආහාරය ගනිමින් සිටියදී ලියනවිට තම බිරිඳ සමඟ රටේ තත්ත්වය ගැන කතා කරන්නට විය. නිතරම සමාජ මාධ්‍ය අතර සැරිසරන හා ගුවන්විදුලියට සවන් දෙන ඇය තනිකරම %බ්‍රේකින් නිවුස්^ එකකි.
ඇමැතිතුමා සමඟ කළ සාකච්ඡාව ගැන ද කියූ ලියනවිට කඩදාසි හිඟයට පෙනෙන තෙක් මානයේ විසඳුමක් නැති බවද පැවසීය.

''මම ඔයාට කී දවසක් කිව්වද ඔය පත්තර රස්සාව අවදානම් නම් අයින් වෙන්න කියලා.''

ලියනවිට මහත්මිය නෝක්කඩු ස්වරයෙන් කීවාය.

''ඊට පස්සෙ අපි ජීවත් වෙන්නෙ කොහොමද?''

''මැති ඇමැතිවරු දන්න අඳුනන එකේ රස්සාවක් ඉල්ලගන්න බැරියැ?''

''අපෝ අපෝ... මම ප්‍රතිපත්තිගරුක පත්‍ර කලාවේදියෙක්. මට බෑ ආත්මය පාවා දෙන්න.''

''එහෙනම් ඔයාටත් පුළුවන්නෙ පොලිටික්ස්වලට බහින්න.. මීඩියා කරපු කී දෙනෙක් ඉන්නවද පාර්ලිමන්ට් එකේ.. තව ටිකෙන් එක්කෙනෙක් ජනාධිපතිත් වෙනවා.''

''ඔයා හිතනවද මම දිනයි කියලා... අඩුගාණේ පත්‍ර සංගමේවත් මට තාම තනතුරක් නෑ.''

''ඒකට හේතුව ඔයා තාම ජනප්‍රිය නැතිකම. ටීවී එකේ නිවුස් කියන්න ගියොත් කොහොමද? එක රුයින් ජනප්‍රිය වෙනවා.''

''මං වගේ නාකියෙක් ඒවට ගන්නෙ නෑ. ඔන්න ඔයාට නං චාන්ස් එකක් තියෙන්ඩ පුළුවන්, හොඳට මේකප් කර ගත්තම.''

ලියනවිට මහත්මිය රවා බැලූ නමුදු, මුහුණේ සියුම් සතුටක් ද මතුවිණි.

''ඇත්තටම ඔයාට බැරිද මට චාන්ස් එකක් අරන් දෙන්න, ටීවී චැනල්ස්වල කට්ටියත් අඳුරන එකේ?''

ඇය නිවේදිකාවක මෙන් ළෙංගතු ස්වරයකින් ඇසුවාය.

''ඔයා තුන්වේලටම නිවුස් කියන්න ගියාම මේ ගෙදර මිනිස්සු කන්නෙ බොන්නෙ කොහොමද?''

''මතක තියාගන්න, ඔයා දැනටත් වැඩිපුර කන්නෙ පිටින්.''

එදින මහ රෑ වනතුරුම ලියනවිටට ඇසුණේ කණ්ණාඩි මේසය ඉදිරිපසට වී ප්‍රවෘත්ති කීමට පුරුදු වන බිරිඳගේ හඬය.

මුද්‍රණ කඩදාසි හිඟය පුවත්පත් කලාවේදීන්ගේ වෘත්තියට පමණක් නොව, විවාහ ජීවිතයට පවා අවදානම් සහගත තත්ත්වයක් උදා කර තිබීම ඉතා කනගාටුදායකය.

I කපිල කුමාර කාලිංග