2017 මැයි 20 වන සෙනසුරාදා

ගිනිමැලයක් අයිෙන් Amaya Lake ඩිනර් එකක්!

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 245

අපේ රටේ සංචාරක ආකර්ෂණවලට මැදිව පිහිටලා තියෙන දඹුල්ල කියන්නේ ලංකාවේ හොඳම රෙසෝට් හෝටල් පිහිටලා තිබෙන ප්‍රදේශයක්. අනුරාධපුර, පොළොන්නරුව සහ සීගිරිය කියන සංස්කෘතික නගරවලට යාබද දඹුල්ල, සුප්‍රකට ලෙන් විහාර නිසා 1991 වසරේදී ලෝක උරුම ලැයිස්තුවටත් ඇතුළත් වුණා. 

දඹුල්ල හෝටල් අතරට එක්වුණු අලුත්ම හෝටලයක් තමයි Amaya Lake. මීට පෙර Culture Club ලෙස හැඳින්වුණු මේ හෝටලය ඉදිවෙලා තියෙන්නේ සුන්දර කණ්ඩලම වැව ආසන්නයේම යි. සුඛෝපභෝගි කාමර 98ක් සහිත මේ හෝටලය සුවදායී විවේකයක් අපේක්ෂාවෙන් සංචාරය කරන්නෙක්ට කදිම නවාතැනක්. මේ සෑම කාමරයක්ම පාහේ ස්වභාවික පරිසරයට ඉතාම සමීප වන ආකාරයට නිමවා තිබීම විශේෂත්වයක්. කාමරවල පැහැය පවා ගුරුපාටින් සාමාන්‍ය පරිසරයට ගැලපෙන ලෙස යොදාගෙන තිබෙනවා.

මීට අමතරව අධි සුඛෝපභෝගී Suites දෙකකුත් හෝටලය සතුයි. ඒවා අති නවීන විසිත්ත කාමරයකින්, විශාල ඉඩපහසුවක් සහිත නාන කාමරයකින්, නවීන තාලයේ මුළුතැන්ගෙයකින්, ආලින්දයකින් වගේම ජැකූසි සහිත ඊටම වෙන්වූ පිහිනුම් තටාකයකින් සමන්විතයි.

නවාතැන් පහසුකම් වගේම හෝටලයේ සමාරා අවන්හලේ රසවත් ආහාරත් බාර් පරිශ්‍රයේ නැවුම් කොක්ටේල් සංග්‍රහයත් හෝටල‍් පරිසරයට වැඩි වටිනාකමක් එකතුකිරීමට සමත්. ඒ වගේම අවශ්‍ය නම් කණ්ඩලම වැව මායිමේ ගිනි මැලයක් අසල රාත්‍රී ආහාරවේල භුක්ති විඳින්නත් පුළුවන්.

මේ හෝටල් පරිශ්‍රයේ Amaya Signature නමින් වෙන් කරන ලද වෙනත් හෝටල් භූමියකුත් තිබෙනවා. වඩාත් පාරිසරික නැඹුරුවක් සහිත මේ හෝටලය Villa, Suites ආදී වශයෙන් වඩාත් ඉහළ සුඛෝපභෝගීත්වයක් සහිතව නමුත් ඉතාමත් පරිසර හිතකාමී අයුරින් නිර්මාණය කර තිබෙනවා. එහි Family Suite එක මේ අතරින් විශේෂයි. ලා දුඹුරු පාට සහ රන්වන් පැහැයෙන් සරසා තිබෙන එහි පොළොව සම්පූර්ණයෙන්ම දැවයෙන් ඉදිකරන ලද්දක්. ඇතුළත ආලෝක අවශ්‍යතාවයෙනුත් වැඩි ප්‍රමාණයක් ස්වභාවික ආලෝකය ඔස්සේ සපුරා ගැනෙනවා. පවුලට අලුත් මතකයන් එක්කරන එහි වැඩිහිටියන් හතරදෙනෙකුට සහ ළමුන් දෙදෙනකුට ඉඩ පහසුකම් පවතිනවා.

සීගිරිය හෝ මින්නේරිය වැනි අවට පිහිටි සංචාරක ස්ථානයකට ගොස් නැවත හෝටලට පැමිණෙන සංචාරකයන්ගේ විඩාව මුළුමනින්ම පහකිරීමට හැකි උසස් තත්ත්වයේ ආයුර්වේද ස්පා එකකුත් Amaya Lake තිෙබනවා. එහි ප්‍රතිකාර සියයට සියයක්ම ආයුර්වේද ප්‍රතිකර්ම අනුව ලබාදෙන්නේ සංචාරකයන්ට ඖෂධීය සම්බාහන සත්කාරයක් පිළිගන්වමිනුයි. 

♦  සනත් වීරසූරිය
     සේයා රූ - නිලාන් මලිගස්පෙ 

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00