2016 දෙසැම්බර් 07 වන බදාදා

බූරු කතාවක්

 2016 දෙසැම්බර් 07 වන බදාදා, පෙ.ව. 12:00 282

හස්තය හෙවත් හොඬය ඇත්තා හස්තියාය. දළ ඇත්තේ ඇතාය. මේ කවුරුත් අලිය. අලියෙකු නොවන අලියෙකුට සිටියේ මොහොමඩ් අලි පමණි. එහෙත් ඔහුටද අලියෙකුගේ බඳු ශක්තියක් හස්තයක් තිබුණේය.


පොදු පිළිගැනීමේ හැටියට අලියා මොළේ තියෙන සත්වයෙකි. අලියාට හොඳ මතකයක්ද ඇත. ගොන් අලියෝ සිටින්නේ මිනිසුන් අතරේය. ඒ මිනිසා කෙරුවෙ අලි මෝඩ වැඩක්නෙ යනුවෙන් කියන අවස්ථාද ඇත. ධර්මපාලතුමාද කම්මැලි සිංහලයන් අවදිකරනු පිණිස ගොන් අලියා, හොර අලියා යනුවෙන් බැණ වැදුණේය.


උදේනි රජුගේ හස්තිකාන්ත මන්තරේ කතාව ගමේ ගොඩේ උදවිය පවා දනිති. අයි.ටී. පරපුර නම් ඒවා ගැන අසා නැතුවාට සැක නැත.


වෙස්සන්තර රජුගේ ඇළි ඇතා, මාරයා එවූ නාලාගිරි, ශක්‍රයාගේ ඓරාවන, දුටු ගැමුණුගේ කණ්ඩුල, එළාරගේ පර්වත හා පරාක්‍රමබාහුගේ පුෂ්පදත්ත යනාදි අලි ඇතුන් ගැන අපේ සාහිත්‍යයේ සඳහන් වෙයි.


පසු කාලයකදි පනාමුරේ ඇත් රාජා හා දළදා පෙරහැරේ රාජා ආදි ඇත්තු ඉතිහාසයට එක්වූහ. ලංකාව කුඩා දූපතක් වුවද අමෙරිකාව, ජර්මනිය, එංගන්තය වැනි රට රාජ්ජවලටද නැති අලි සම්පතින් පොහොසත්ය. පුරාණ කාලයේදි අපට රටින් අස්සයකු තැගි ලැබුණු විට, ඒ වෙනුවට පෙරළා තෑගි කළේ අලියෙකි. ඒ අලි සමඟ ඇත්ගොව්වකුටද රට පැටවෙන්නට සිදුවූ අතර අලියාගේ ඇවෑමෙන් ඔහුට ඒ රටවල තනිවන්නට සිදුවූයේය. එබඳු ඇත් ගොව්වෙකු ගැන පෘතුගිසි නවකතාකරුවකු විසින් රසවත් කතාවක්ද ලියා පළ කොට ඇත.


මේ සතියේ හිටි හැටියේ අලි ගැන කියන්නට සිතුණේ අලි-මිනිස් ගැටුම්වලින් මිය යන පුද්ගලයකුට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවීමේ යෝජනාවක් ජොගින් ඇමතිතුමා විසින් කැබිනට්ටුවට යෝජනා කිරීමට යන වග ආරංචි වූ හෙයිනි. මිනිසුන් අතින් මිය යන අලින්ට ඊට වැඩි මුදලක් ගෙවීමට සිදුවන බැවින්දෝ ඒ ගැන නම් තවම කතාවක් නැත. දුම්රියේ හැපී මියයන අලින්ටත් වන්දි ගෙවීමට ගියහොත් දුම්රිය දෙපාර්තමේන්තුවම බංකොලොත් වෙනවා සිකුරුය.


මුදල් ඇමැතිතුමා කියන ආකාරයට මේ ආණ්ඩුවට ලැබුණු භාණ්ඩාගාරය අලියා ගිලපු දිවුලක් වගේය. තත්ත්වය එසේ තිබියදීත් අලියා ගැසිමෙන් මියපරලොව යන උදවියට ලක්ෂ පහක් දීමට යාම ගැන එකී ඇමැතිතුමාට අලි ඉස්තූතියක් පුද කළ යුතුමය.

 
තම තමන්ගේ අසනීප සනීප කර ගැනීම සඳහා පිටරටවලට ගිය දේශපාලන හස්තීන් සඳහා මහජන මුදලින් රුපියල් ලක්ෂ සිය ගණන් නොමසුරුව වියදම් කළ මේ රටේ, ලක්ෂ පහක් යනු මොන දිවුලක්දැයි, එතුමාට සිතෙන්නට ඇත.
ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන හා රණසිංහ ප්‍රේමදාස වැන්නෝද මේ රටේ සිටි මහ අලියෝය. ජේ.ආර්.ගේ කාලේ කළ මහවැලි යෝජනා ක්‍රමයද, මේ රටේ අලින්ට උන්හිටි තැන් නැතුව යාමට අලි හේතුවක්  වූ බව පරිසරවේදීහු  පෙන්වා දෙති. එහෙයින් මේ අලි වන්දිය ඒ පලහිලව්වත් මකා දමන්නට හේතු කර  ගත්තා විය හැකිය. අලි ඇතුන් දමාවත්, ගිය නුවණ යළි ඇද්දවිය නොහැකි යැයි  කතාවක්ද ඇත.
අලුත් ආණ්ඩුවේ බජට්ටුවෙන් පසු, හෙම්බිරිස්සාව දී නිව්මෝනියාව ගත්තාක් වැනි හැඟීමක් ඇතිවූ බව මගේ අසල්වැසියෙක් ළඟදී කියා සිටියේය. අලි කොටි දෙඤ්ඤං කියා රිළා අණ්ඩක් හෝ නරි නැට්ටක්වත් නොදුන්නේ යැයි අසා ගන්නවාට වඩා ලක්ෂ පහේ අලි වන්දියක් හෝ දීමෙන් ජාං බේරාගැනීමට ජොගින්ලා, ජෝකීන්ලා කල්පනා කරනවා විය හැකිය.


මට හැඟෙන විදිහට නම් මෙම යෝජනාවට සංශෝධන කීපයක් එක්කිරීමෙන් එය ජනතාවාදී කරගත හැකිය. ඒ මෙසේය.


ලක්ෂ පහක්ම  පිරිනැමෙන්නේ, අලි පහරදීමෙන් මියගියහොත් පමණි. ආබාධිත වන්නන්ද බොහෝය. අතක් පයක් හෝ කොන්ද කැඩී බේරෙන අලි වාසනාවන්තයින්ටද, ලක්ෂ දෙක තුන බැගින් හෝ (ආබාධය තක්සේරු කළ බලා) පිරිනැමීමට කටයුතු කරනවා නම් හොඳය. ගෙවල් දොරවල් කඩා දැමූ අවස්ථාවලදීද,  වන්දි  ලබාදීම හෝ ගෙවල් ලබාදීම කළ හැකිය.


මේ අනුව බලන කල අලි වන්දිය යනු, එක්තරා විදිහක ජීවිත රක්ෂණ ක්‍රමයකි. එසේත් නැතිනම් වාසනාව උරගා බලන ලොතරැයි ක්‍රමයකි.


ගල් අරක්කු ටිකක් බීමට හෝ බීඩියක් පත්තු කර ගැනීමට ක්‍රමයක් නැතිව, පාලම් ඇන්දක බෝක්කුවක වාඩි වී දස අතේ කල්පනා කරමින් සිටින දුප්පත් ගැමියකුට, හදිසියේ අලියකු පහර දීම නිසා, ලක්ෂයක් දෙකක් ලැබෙන්නේ නම් කොතරම් වාසනාවක්ද? (එහෙත් මෙහිදී කූට උපක්‍රමද භාවිතා විය හැකි බැවින්, පහර දී ඇත්තේ හීලෑ අලියකු විසින්ද, නොඑසේ නම් වල් අලියකු විසින්ද යන්න සොයා බැලිය යුතුය.)


අලින් පිළිබඳ ජනකතා, උපමා කතා හා උපහාස කතා බොහෝය. ඒ අතුරින් වඩාත් ජනප්‍රිය කතාව අලියා සහ අන්ධයෝ යැයි සිතමි. එදා අලියා අතපත ගා හරි හැටි හඳුනාගත නොහැකි වූ අන්ධයෝ, අදත් ලොව සිටිති.
අලුත් අලි කතාවකින් මෙවර හීසරය විද අවසන් කරන්නට හිතුවෙමි.


එක්තරා වනාන්තරයක අහම්බෙන් රජ වූ බූරුවෙක් කිසිදු වැඩක්පලක් නොකර කකා බිබී, අලසව කල් ගෙවූයේය.
මේ වනයේම විසූ අලියෙක් ද, කලක සිටම රජවීමේ ආසාවෙන් මාන බලමින් සිටියේය.


එක් දිනක් අලියා, නරියා කැඳවා බූරු රජු පළවා හැර, තමන් රජකමට පත් කිරීමේ උපායක් යොදාන්නැයි ඉල්ලා සිටියේය. ඊට ත්‍යාගයක් වශයෙන්, භාණ්ඩාගාර නිලමේකම පිරිනැමීමටද අලියා පොරොන්දු විය.


බූරුවා, බූරු කතා කිය කියා තැන තැන සංචාරය කිරීමට බොහෝ ප්‍රිය කළේය. මේ බව දත් නරියා, බූරු තෙමේ වනය මැදින් වෙනත් වනයක් නැරුඹීමට යාමට චාරිකාවක් සංවිධානය කළේය. නරියාගේ කපටි සැලසුම වූයේ ඒ අතරමගදී බොරු වළක දමා බූරුවා මරණයට පත් කිරීමයි.


කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුණි. බූරුවා බොරු වළේ වැටුණි. එය දකින්නට අලියා එතැනට පැමිණියේය. එක් පාදයකින් නරියාගේ පසුපසට පොඩි තට්ටුවක් දැම්මේය. නරියාද බොරු වළට ඇද වැටු‍ණේය.


“අනේ මාව ගොඩට ගන්න. මම පොරොන්දුව ඉෂ්ට කෙරුවනෙ. මට අර නිලමෙකම දෙන්නෙ නැද්ද?*


“උඹ වගේ නරියෙක්ට භාණ්ඩාගාර නිලමෙකම දෙනවට වඩා බූරුවම රජකම් කරන එක දහස් වාරයක් හොඳයි.*
එසේ කියූ අලියා යන්නට ගියේය. භාණ්ඩාගාර නිලමේ කෙනෙක් නොමැති නිසා එම වනාන්තරයේ සියලු සත්තු ඉතා සතුටින් කල්ගෙවති.

 

කපිල කුමාර කාලිංග