නිදහස් කියුබාවේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන ෆිදෙල් කැස්ත්‍රෝ මියගියේය. වසර 50කට ආසන්න කාලයක් එහි රාජ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ කැස්ත්‍රෝ කියුබාව ලෝකයේ අමෙරිකාවට නොදෙවැනි තැනකට ගෙන එන්නට උත්සාහ කළේය. අමෙරිකාව ඇතුළු බටහිර ජාතින් වෙතින් පැනවුණු සම්බාධක මධ්‍යයේ ඔහු ගෙන ගිය රුසියානු මොඩලයේ පාලනය ඒකාධිපති පාලනයක් යැයි විවේචන එල්ල වුවද ලෝකයේ හොඳම වෛද්‍ය පහසුකම් සහ ඉහළ අධ්‍යාපනය ඇති රටක් ලෙස කියුබාව ප්‍රසිද්ධිය ලැබුවේය. ෆිදෙල් කැස්ත්‍රෝ ලෝකයේ නායකයන් අතර අමුතුම පන්නයේ හැසිරීම් සහිත තැනැත්තෙකි. අමෙරිකාව එළිපත්තේ සිට ප්‍රසිද්ධියේ තනිවම එරටට අභියෝග කළ හෙයින්ම ඩොලර් බිලියනයකටත් වඩා වැයකරමින් ඇටැවූ මරඋගුල් 638කට ආසන්න සංඛ්‍යාවකින් අසාමාන්‍ය ලෙස දිවි ගලවාගන වසර 90දී ස්වභාවික මරණයකට ගොදුරැවීමට තරම් වාසනාව ලද එකම විප්ලවීය නායකයා ඔහුය.
සදානුස්මරණීය කියුබානු විප්ලවය ඓතිහාසික ජයග්‍රහණයක් කරා ගෙන යන්නට සමත්වූයේ ඔහු සතු සුවිශේෂී ගුණාංග රැසක් හේතුවෙනි. මේ නිසාම ඔහු සෙසු ලෝකයා හට දිස්වූයේ අමුතු මිනිසෙකු ලෙසිනි. ඒ නිසාම ඔහු ගැන කියැවෙන අමුතු කතාද රැසකි.
ස්පාඤ්ඤ අමෙරිකානු යුද සමයේ වයස අවුරුදු 13දී අනාථයකු ලෙස කියුබාවට සංක්‍රමණය වූ කැස්ත්‍රෝගේ පියා උක් වතු සේවකයකු ලෙස කටයුතු අරඹා පසුව උක්වතු හිමිකාරයකු වූ අයෙකි. ජෙසුයිට් පාසල්වලින් මූලික අධ්‍යාපනය හැදෑරූ කැස්ත්‍රෝ පාසල් වියේ සිටම ක්‍රීඩකයකු සහ නායකත්ව හැකියාවෙන් යුතු තැනැත්තෙකු ලෙස නමක් දිනා ගත්තේය. හවානා සරසවියෙන් නීති උපාධිය ලබා නීතිඥයකු ලෙස කටයුතු කළද පසුව කැස්ත්‍රෝ රටේ එවකට පැවැති දේශපාලනික රැල්ලට එක්ව ඒකාධිපති පාලක බැටිස්ටා බලයෙන් පහකිරීමේ සටනේ නායකත්වයට ක්‍රම ක්‍රමයෙන් පත්වූයේය.
1953 ජූලි 26 සැන්ටියාගෝහි මොන්කාඩා බැරැක්කයට එරෙහිව සිදුකළ ප්‍රහාරය කැස්ත්‍රෝගේ නම විප්ලවවාදී ඉතිහාසයට එක්කළ අතර ඔහුට මුල් වතාවට හිරගෙදරට යාමටද කටයුතු සැලැස්වීය. මොන්කාඩෝ සටනින් වසර දෙකකට පසු නිදහස ලැබූ ඔහු මෙක්සිකෝව වෙත පලාගියේ ජීවිත තර්ජන හමුවේ සිය සටන් ව්‍යාපාරය ශක්තිමත් කරගන්නටය. ඓතිහාසික විප්ලවවාදීන් දෙදෙනකු වන කැස්ත්‍රෝ සහ චේගුවේරා හමුව සිදුවන්නේ මෙතැනදීය.
කියුබාවේ මෙන්ම ලතින් අමෙරිකානු ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබූ ග්‍රැන්මා යොට් යාත්‍රාවේ ආගමනය සිදුවූයේ 1955 නොවැම්බර් මස 25 දිනය. දොඩම් ගෙඩි 3000ක් සහ ආහාර ඉතා ස්වල්පයක් සහිතව කියුබාව බේරාගැනීම සඳහා සටන්කරුවන් 82ක් සමඟ ආ එම මුහුදු ගමන පිළිබඳ අත්දැකීම් පසුව ලෝකය පුරා ප්‍රවාදගත විප්ලවීය සටහනක් තැබීමට සමත්වූයේය. මේ යාත්‍රා ගමනින් දිවි බේරාගත්තේ විසි දෙනෙකු පමණය. 61ක්ම බැටිස්ටා හමුදා ප්‍රහාරයන්ගෙන් මිය ගියේය. රට තුළට ආ පිරිස බෙදී සැඟවී විසිර ගියහ. කැස්ත්‍රෝ සහ තවත් දෙදෙනකු රයිෆල් දෙකක් පමණක් අතැතිව සියෙරා මෙස්ත්‍රා නැගෙනහිර කඳුකරයට පලා ගියේය. එතැන් සිට රට තුළ ඇවිල ගිය ගරිල්ලා සටන වාර්තාගතය. ඒකාධිපති බැටිස්ටා දින 76ක හඹායාමක් මෙහෙයවූයේ ෆිදෙල් දඩයම සඳහාය. අමෙරිකාව පිළිබඳ මුල්ම නොපහන් බව ෆිදෙල් තුළට ඇතුළුවන්නේ මේ කාලයේදීය. බැටිස්ටාගේ ඒකාධිපති හමුදාවන්ට සොල්දාදුවන් දස දහසකගේ ආධාර ලබාදීමටත් සියෙරා මෙස්ත්‍රා සටන්කරුවන් වෙත බෝම්බ හෙළීමට ගුවන් යානා සැපැයීමත් නිසාය. එදා එරට සමග ඇතිවූ ඒ විරෝධය අයිසන් හවර් සිට ඔබාමා දක්වා අමෙරිකාවේ ජනාධිපතිවරැන් 11 දෙනකුගේ පාලන කාලය තුළදී කැස්ත්‍රෝ වෙතින් පහව ගියේ නැත. එය ඔහු මිය යනතුරුම පැවැති අඳුරු මතකයකි.
කඳුකරයේ අබිරහස් කඳවුර වූ ලා ප්ලාටා සිට කැස්ත්‍රෝ මෙහෙය වූ සටනින් 1959 ජනවාරි 01 ඒකාධිපති බැටිස්ටා පලායාමත් සමග කියුබානු ජනතාවට නිදහස අත්පත් විය. ලෝකයම කැස්ත්‍රෝ ගැන කතා කරන්නට විය. අමෙරිකාව එළිපත්තේ සෝවියට් රුසියානු හිතවාදී වූ කොමියුනිස්ට් පාලනයක් බිහිවූයේය. ඔහු ගැන අමුතු කතා ලෝකය පුරා පැතිර යන්නට වූයේද ඒ සමයේ සිටමය. ස්ත්‍රී ලෝලියකු, අධික කාමසුඛල්ලිකානු යෝගී ජීවිතයක් ගත කරන්නෙකු කොටින්ම සෙල්ලක්කාර ඒකාධිපතියකු, මුදල් මිටි බඳින්නෙකු හැටියට ඔහුට එරෙහි තදබල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත්ව තිබුණි. එතැන් සිට ඔහු ඝාතන ප්‍රයත්න රැසක්ද ක්‍රියාත්මක වන්නට විය.
කැස්ත්‍රෝ පිළිබඳ සඳහන් වන හැමතැනදීම ඔහුගේ මුව පුරා වැඩුණු රැවුල සහිත ඡායාරූප දක්නට ලැබේ. පසුකාලීනව දක්නට ලැබෙන විප්ලවය සහ රැවුල අතර අපූරු සම්බන්ධයට කැස්ත්‍රෝගේ මේ කියන ඡායාරූපද දැඩි බලපෑමක් කරන්නට ඇත. එහෙත් කැස්ත්‍රෝ රැවුල නොකපන්නට හේතුවූ කාරණාව ඔහුම හෙළිකළ පරිදි වෙනම එකකි. ඔහු රැවුල කපා නැත්තේ ඒ වෙනුවෙන් ගත කරන්නට වෙන කාලය අපතේ නොයවා ප්‍රයෝජනවත් වෙනත් වැඩට යොදාගැනීමටය. රැවුල නොකපා සිටීමෙන් තමන්ට වසරකට මිනිත්තු 5000ක් ඉතිරි කර ගැනීමට හැකිවූ බව කැස්ත්‍රෝ ගණන් හදා තිබුණි. නමුත් මේ රැවුලේ කතාව වෙනත් විදිහට අර්ථ දක්වන්නෝද වෙති. ඒ ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක වූ ඝාතන උපක්‍රමවලින් වැළැකීමට ගත් උත්සාහයක් ලෙසටය. රැවුල කපන රේසරයට වස පොවන්නට බැරිකමක් නැති හෙයිනි.
කැස්ත්‍රෝගේ ජීවිතය හා සමානම ඓතිහාසික වාර්තාවක් ඔහු ඝාතන සඳහා දැරූ උත්සාහයන් ගැන තිබේ.
කැස්ත්‍රෝගේ කැපී පෙනෙන පුරුද්දක් වූ හවානා සුරුට්ටුවට පුපුරණ ද්‍රව්‍ය යෙදීම සිට ඔහුගේ ළඟම හිතවතියක ඔහුට වස දීමට යොදාගැනීම දක්වා විවිධ උප්පරවැට්ටි ඒ අතර වේ. මුහුදේ කිමිදීමට ආසා කළ කැස්ත්‍රෝගේ ඒ පුරුද්ද උපයෝගී කරගනිමින් මුහුදු පත්ලේ බෝම්බ වළලා දැමීමටත් පිහිනුම් ඇඳුමට දිලීරයක් එක්කර සමේ රෝගයක් ඇතිකිරීමටත් ගත් උත්සාහයක් ගැනද වාර්තා වේ. කැස්ත්‍රෝ පානය කරන තේ, කෝපි කෝප්පයට හෝ ඔහු ඉතා කැමැතිම අතුරුපසක් වන අයිස්ක්‍රීම්වලට මාරාන්තික බැක්ටීරියාවක් එක්කිරීමටද උත්සාහ ගෙන තිබුණි. හවානා හිල්ටන් හෝටලයේදී ඔහුට පිරිනැමූ මිල්ක්ෂේක් පානයකට විස යොදන්නට ගත් උත්සාහයක්ද අන්තිමේදී වැරැදී ගියේය. කැස්ත්‍රෝට එල්ලය ගන්නට යැයි කියා කියුබාව තුළට ආයුධ එන්නට ගත්තේ හැට ගණන්වල පමණ සිටය. අධිවේගී රයිෆල්වල සිට විස කැවූ පෑන් දක්වා මේ ආයුධ විවිධ විය.
කැස්ත්‍රෝ නසන්නට බැරි තැන ඔහු ලෝකයේ උපහාසයට ලක්කිරීම උදෙසා සියුම් සැලැසුමක්ද වරෙක ඉදිරිපත්ව තිබුණි. ඔහුගේ ගුවන් විදුලි විකාශනාගාරයට LSD මත්ද්‍රව්‍ය ඉසීම ඉන් එකකි. අනෙක් උප්පරවැට්ටිය වූයේ කැස්ත්‍රෝගේ සපත්තු යුවළට අැඟේ කෙස් හැලෙන රසායණ ද්‍රව්‍යයක් එක්කිරීමය. එසේ කළා නම් කැස්ත්‍රෝගේ ඉතිහාසගත රැවුල කොණ්ඩය සේම මුළු සිරුරේම කෙස් ලොම් හැලීමට ලක්වන්නට තිබුණි. කැස්ත්‍රෝ ඝාතන උප්පරවැට්ටිවල ආසන්නතම එළිදරව්ව සිදුවූයේ වසර 2000දීය. ඔහුගේ මහජන ඇමැතුම් මයික්‍රෆෝන පද්ධතිය යට රාත්තල් 200ක පුපුරණ ද්‍රව්‍ය සඟවා තිබී සොයාගැනීමත් සමඟය. නමුත් 2006 සිය සොහොයුරාට බලය පවරා ඉවත් වනතුරුත් ඉන්පසුව මියයන තුරාත් කැස්ත්‍රෝ දිගටම සිය අමෙරිකානු විරෝධී මතය ඉදිරිපත් කළේය.
කැස්ත්‍රෝ ලෝක නායකයන් අතර අපූරු කතා කාරයෙකි. කලින් තැබූ කිසිදු සටහනක් කොළයක් නොබලා හුදු මතකයෙන් පමණක් තමන් තුළ කැකෑරෙමින් බුර බුරා නගින වෙඩි වගේ අදහස් එක දිගට පැය ගණන් දෙසා බෑමේ අපූරු සහජ දක්ෂතාවක් ඔහුට තිබුණි. පසුකාලීන විප්ලවවාදී අනුකාරක පිරිස් වෙතින්ද මේ ශෛලිය අනුගමනය කරනු දක්නට ලැබුණි. නමුත් කැස්ත්‍රෝගේ වාර්තා සම කිරීමට මෙතෙක් කිසිවෙක් සමත්ව නැත. ඔහු වරෙක එක දිගට පැය හතක් ජනතාව අමතා තිබේ. ගිනස් පොතට යන වාර්තාවක්ද තැබීමට ඔහු සමත්වූයේ ඓතිහාසික කතාවකිනි. 1960 දී එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා පැය හතරකුත් විනාඩි 29ක් එකදිගට කතා කිරීමෙනි. ඔහුගේ සුප්‍රකට ඉතිහාසය මා නිවැරුදි කරනු ඇත යන කියමන තමන් වෙනුවෙන් තනිව නඩු විභාගයට මුහුණදුන් අවස්ථාවේ සිදුකළ දිගුකතාවේ සඳහන් වූවකි. පසුව මෙරට විප්ලවවාදී නායකයන්ද 71 නඩුවේදී කැස්ත්‍රෝගේ කතාව අනුකරණය කළේය. 2001 දී කැස්ත්‍රෝ ජනතාව අමතන අතර ක්ලාන්තය හැදී වැටුණේය. 2004 දී වේදිකාව මත සිය කතාව අතරතුරදී ඇදවැටුණු කැස්ත්‍රෝ දකුණු අතත් දණහිසත් බිඳ ගත්තේය. නමුත් මාස 2ක් වැනි සුළු කාලයකදී ඔහු සුවය ලබා මහජනයා හමුවට එන්නට සමත් විය.
වසදීමේ ප්‍රයත්න නිසාම කැස්ත්‍රෝ සිය ආහාර පාන ගැන සැලකිලිමත් විය. තමන්ට ඉතා හිතෛෂිවන්ත රාජ්‍යවලින් ඔහු ආහාර ඇනැවුම් කළ අතර රට තුළද විශේෂ ස්ථාන ඒ සඳහා වූ බව කියයි. ඔහු විසූ Unit 160 ලෙස හැඳින්වෙන පුන්ටෝ සෙරෝ නිවස ඇත්තෙන්ම බලකොටුවක් බඳුය. ඒ තුළ ඔහුට කිරි ලබාගැනීමට වෙනම වැස්සියක්ද සියලු දරුවන්ට වෙනම වැස්සියන්ද වෙන්කර සිටි බව කියයි. ඔහු ගොවිතැනට හා ගම්බද ජීවිතයට ප්‍රිය කළ තැනැත්තෙකි.
කැස්ත්‍රෝ ලෝකයේ ධන කුවේරයන් අතරට එක් කරමින් ඔහුගේ ආදායම පවුම් මිලියන 100ටත් ඉහළ බවට 2014 ඔහුගේ ආරක්ෂකයකුව සිටි ජුවාන් සන්චෙස් පල කළ අදහසක් අල්ලා ගනිමින් Forbes වාර්තාවක් ඉදිරිපත් වූ අතර තමන්ගේ ආදායම මසකට පවුම් 20ක් බවත් තමන් සතු එකම සුඛෝපභෝගී අයිතිවාසිකම හවානා සුරුට්ටුව බවත් ඔහු කියා තිබුණි.
හොඳ කතාකාරයකු මෙන්ම කැස්ත්‍රෝ හොඳ කියවන්නෙකි. ඔහුගේ සිත බැඳගත් ලේඛකයා වූයේ අර්නස්ට් හෙමිංවේය. හෙමිංවේගේ ඝණ්ඨා නාදේ කා වෙනුවෙන්දෝ නමින් දැන් සිංහලයටත් පෙරැළී ඇති For Whom the Bell Tolls කැස්ත්‍රෝගේ සිත් ගත්ම කෘතිය බව කියයි. ගෙබ්රියල් ගාර්ෂියා මාකෙස් යනු සාහිත්‍යයේ විප්ලවයක් කළ නවකතා කාරයෙකි. ඔහු හෙමිංවේ මෙන්ම කැස්ත්‍රෝගේ ළඟම මිතුරෙකි. කැස්ත්‍රෝ සතුව තිබූ කැසෝ පියෙඩ්රා දූපත මේ අයට නිතර නවාතැන් දෙන්නට ඔහු නොමසුරැව යොදාගත් තැනක් බව වාර්තා වේ. ගාර්ෂියා මාකේස් වරෙක කීවේ කැස්ත්‍රෝ සතුව වචන සම්බන්ධයෙන් තිබූ කැපවීම ඉන්ද්‍රජාලිකමය ආකර්ෂණයක් දැරූ බවය.
කැස්ත්‍රෝ තමන් කියුබන් නිදහසේ අපොස්තුලුවරයා ලෙස සැලකෙන කවියකු හා ලේඛකයකු වූ ජොසේ මාර්ටි ෆෙරේස්ගේ අනුප්‍රාප්තිකයා ලෙස සැලකීමට සැමවිටම කැමැත්ත දැක්වූයේය. කැස්ත්‍රෝ කියා තිබූ බවට පලව ඇති කාරණයක් වන්නේ ඔහු තමන්ගේ ඊළඟ ආත්මයේදී ලේඛකයකු වන්නට සිතා සිටි බවය. ආත්මය ගැන, පුනරුත්පත්තිය ගැන කතා කළත්, කැස්ත්‍රෝ අදේවවාදී අදහස් දැරූවෙකි. ඔහු වරෙක කියා තිබූ ප්‍රසිද්ධ ආන්දෝලනාත්මක කියමනක් වන්නේ ජේසුතුමන්ද කොමියුනිස්ට් කාරයෙක් යන්නය. කැස්ත්‍රෝ යනු ඒ තරම්ම තමන් ගරුකළ කොමියුනිස්ට්වාදය වෙත කැපවූ විශිෂ්ට යුගයක අවසන් විප්ලවවාදියාය.
♦ සුගත් පී. කුලතුංගආරච්චි