2017 ජුනි 03 වන සෙනසුරාදා

ලොක්කෙකුට කොක්කක්

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 110

2017 ජුනි මස 3 වන ශනි දින රාත්‍රි 7 පසුවී විනාඩි 53  ට බුධ ග්‍රහයා තමාට මිත්‍ර රාශි භවනක් වූ වෘෂභ රාශියට පිවිසේ. එසේ පිවිස රවිට අයත් වූ කැති නැකතේ දෙවන, තුන්වන  හා හතරවන පාදවලත් සඳුට අයත් වූ රෙහෙණ නැකතේ සම්පුර්ණවත් අඟහරුට අයත් වූ මුවසිරස නැකතේ ප්‍රථම හා දෙවන පාදවලත් 2017 ජුලි මස 03වන සඳු දින දක්වාම ගමන් කරනු ඇත.

අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී විදේශිය සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට මෙන්ම විදේශ ආයෝජන ලබාගැනීම පිණිස රාජ්‍ය නායකයින් ඵලදායි වූ විදේශිය සංචාරවල යෙදෙන වකවානුවක් වන බව පෙනේ. තවද අධ්‍යාපන කටයුතු ආශ්‍රිතව නව නීති ඇතිවනු ඇත. භූමිය ආශ්‍රිතව අශුභ වූ සිදුවීම් වාර්තා වීම වැඩිවේ. නායයෑම් වාර්තාවනු ඇත. කෘෂිභෝග වලට සිදුවන හානිය වැඩිවන අතර එළවළුවල සහ සියලු කෘෂිභෝගවල හිඟයක් ඇතිවීම හේතුවෙන් මිල ගණන් ඉහළ යාම සිදුවේ. උසස් තනතුරක් දරන අයකු අවමානයට ලක් වන්නාවූත් කාල වකවානුවක් වේ. 

විදේශිය වශයෙන් විමසා බැලීමේදී චිත්‍රපටයකට හෝ කලා නිර්මාණයකට නීතිමය ප්‍රශ්නයක් ඇතිවනු ඇත. අධ්‍යාපනික ආයතනයකට විනෝදස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන අතර ඒ හේතුවෙන් තරුණ හා ළමා පිරිස් විශාල ප්‍රමාණයක් මිය යනු ඇත. ජන මාධ්‍ය වේදියකුට මාරක ඇති වනු ඇත. 

මේෂ - ඉගෙනීමට හොඳයි

ඔබට යහපත් ඵල උදාවනු ඇත. විශේෂයෙන් නීති ක්ෂේත්‍රයේ කටයුතු කරන අයකු නම් ඔබගේ හැකියාවෙන් විශිෂ්ට ඵල අත්කරගත හැකිවේ. අධ්‍යාපනික කටයුතුවල නිරත වන අයටත් තම ඉගෙනීම් සාර්ථිකව කරගත හැකි වකවානුවකි. 

වෘෂභ - බාධා දුරුවේ

ඔබට ශුභ ඵල අත්වන අතර ඔබගේ කටයුතුවලට පැවතියා වූ බාධාවන් දුරුවී යන්නාවූත් වකවානුවක් වේ. හදිසි ධනලාභ අත්වනු ඇත. නව ඉඩමක්, වාහනයක් මිලදී ගැනීමට අපේක්ෂා කරන්නේ නම් මෙම වකවානුව යහපත්ය. 

මිථුන - සමගියට බාධා

ඔබගේ කටයුතු වලට විවිධ වූ පාර්ශව වලින් බාධා කිරීම් ඇතිවන්නාවූත් වකවානුවක් වේ. පවුල් දිවියේ සමගියට බාධා වීම් ඇතිවිය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න.

කටක - දැනුමට අලුත් දේ

ඔබට මිශ්‍ර ඵල අත්වන අතර භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට යහපත් වේ. විශාල අන්දමේ මුදල් යොදා කටයුතු කිරීමෙන් වැළකීම වැදගත්ය. තම දැනුමට අලුත් දේ එක්කරගත හැකි වනු ඇත. 

සිංහ - අධ්‍යාපනයට යහපත්

තම මතයට අනුව කටයුතු කරමින් තමාගේ වැඩ රාශියක් සාර්ථක කරගන්නාවූත් වකවානුවකි. නව රැකියාවක් අපේක්ෂා කළ අයකු නම් තමාගේ බලාපොරොත්තුව ඉෂ්ට වනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත වන අයටද යහපත්වේ.

කන්‍යා - අලුත් දේපොල

ඔබටද යහපත් පළ අත්වනු ඇත. ඔබ කරන කටයුතුවල සාර්ථකත්වයක් අත්වන මුත් ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශව වලින් බාධා එල්ලවනු ඇත. නව දේපලක් මිලදී ගැනීමට උත්සුක වන්නාවූත් වකවානුවකි. 

තුලා - තැන්පත් ධනය වැය වේ

වෙනදාට වඩා උනන්දුවෙන් ඔබගේ කටයුතු සාර්ථක කරගැනීමට උත්සහ දැරුවද ඔබගේ කටයුතු සඳහා විවිධ බාධා ඇතිවනු ඇත. තැන්පත් ධනය වියදම් වන බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. 

වෘෂ්චික - ලාභ ඉහළට

හවුල් කටයුතුවල නිරත වන අයට යහපත් ඵල වර්ධනය වනු ඇත. ව්‍යාපාරිකයන්ට ලාභ අත්වන අතර තම සහකරුට හෝ සහකාරියට හදිසි ශරීර පීඩා ගෙන දෙන්නාවූත් කාල වකවානුවක්වේ. 

ධනු - කිට්ටු සගයකු එරෙහිවේ

ඔබ සේවා කරන ස්ථානය ඔබටම එපාවෙන තත්ත්වයක් ඇතිවනු ඇත. ඔබගේ කටයුතුවලට විවිධ බාධා කිරීම් ඇතිකරයි. තමන්ගේ ළඟින් සිටි අයකු තමාට එරෙහි වීමක් විය හැකි බැවින් අවධානයෙන් සිටින්න. 

මකර - උදවු උපකාර

ඔබට යහපත් ඵල අත්වන අතර ඔබගේ කටයුතු සාර්ථක වන්නාවූත් වකවානුවක් වේ. විශේෂයෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ඉතා යහපත් වනු ඇත. තම හිත මිතුරන්ගෙන් උදව් උපකාර අත්වනු ඇත.

කුම්භ - නව රැකියා

ඔබටද යහපත් ඵල අත්වන අතර ඔබගේ කටයුතු සාර්ථක කරගත හැකිවූත් වකවානුවක් වනු ඇත. උරුම හිමිකම් ලබාගැනීමට යහපත් වකවානුවක් වන අතර නව රුකියාවක් බලාරොත්තුවෙන් සිටි අයටද යහපත් වේ. 

මීන - ලේඛනයට හොඳයි

ඔබට ඔබගේ හැකියාවෙන් ප්‍රයෝජන ලබා ගත හැකි වකවානුවක් වන අතර ඔබගේ දැනුමට නවදේවල් එක්කරගත හැකිවනු ඇත. ලේඛන කටයුතුවල නිරත වී සිටින අයටද යහපත් ඵල අත්වනු ඇත. 

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ 
ඔලබොඩුව, ගෝනපල

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00