2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා

මාළු බෝට්ටුවකින් ත්‍රිකුණාමලේ මුහුදේ ත්‍රාසජනක ගමනක්

 2016 දෙසැම්බර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 12:00 187

ත්‍රිකුණාමලය කියන්නේ දේශීය විදේශීය සංචාරකයන් බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගත් සංචාරක පාරාදීසයක් කිව්වොත් නිවැරදියි. ත්‍රිකුණාමලයට යන ඔබ සාමාන්‍යයෙන් කරන කියන දේවල් පෙළගැස්වූවොත්, නිලාවැලි හෝ මාබල් බීච් හිදී මුහුදේ නෑම, ස්නෝක්ලින්, කොරල් බැලීම, කෝනේෂ්වරම් වැඳීම, කොටුව බලන්නට යාම, සී ෆුඩ් වගේ ජාති ලැයිස්තුවක් කියන්න පුළුවන්. හැබැයි මෙදා ගමන ත්‍රිකුණාමලයට ගිය අපි කිහිපදෙනෙක් අමුතු අත්දැකීමක් අත්හදා බලන්න හිතුවා. ඒ තමයි මාළු බෝට්ටුවකට නැඟලා මූදු යන එක. 

ට්‍රින්කො ටවුමෙ තියෙන ග්‍රීන් පාක් හෝටලයෙන් දවල් කෑම ගත්ත අපි හෝටලයේ පිටිපස්සේ දොරටුවෙන් මුහුදු වෙරළට ගියා. ඉංග්‍රීසියෙන් දෙමළෙන් විවිධ නම් ලියපු එක එක පාට මාළු බෝට්ටු පෙළක් වෙරළ දිගේ නවත්තලා තියෙනවා. වෙරළ අයිනක ධීවරයෝ කියලා හිතන්න පුළුවන් කිහිපදෙනෙකුත් මාළු දැල් වගයක් එක්ක මොකක්දෝ කර කර ඉන්නවා. එතැනට කිට්ටු වෙලා අපි අපේ ආසාව හෙළිකළා. අන්න අතනින් අහලා බලන්න මහත්තයෝ කියලා අපිට කැඩිච්ච බිත්තියක් අස්සෙන් පෙනුණු ගොඩනැගිල්ලක් දිහාවට එක් අයෙක් ඇඟිල්ල දික් කළා. 

එතැනට ගිහින් බලපුවහම එතැන තිබුණෙ වෙනම ලෝකයක්. අපි විසිතුරු මසුන් කියලා හඳුන්වන කොරල් ආශ්‍රිතව ඉන්න පාට පාට මාළු පොලිතින් බෑග්වලට දාලා ඉන්නවා. ඔවුන් කියපු හැටියට අවට මුහුදින් අල්ලගන්න මේ මාළු කෙළින්ම යන්නෙ ඒරොප්පෙ.

කොහොම නමුත් අපිට වුවමනා වෙච්ච දේ මෙතැන හිටි කෙනෙක් ඉෂ්ට කරලා දුන්නා. ඒ මුහුද මැද්දෙ හිටපු මාළු අල්ලන කෙනෙක්ට ෆෝන් කෝල් එකක් දීලා. මිනිත්තු කීපයක් යද්දී උන්දෑ වෙරළෙ. එක්කෙනෙක්ගෙන් පන්සීයයි කියලා අපිව දාගත්තු සුරේෂ් අන්නා හෙවත් මාළු බෝට්ටුව පදවන්නා බෝට්ටුව යද්දි සිටිය යුතු විදිහ ගැනත් කිව්වා. නිකම්ම නිකම් මාළු බෝට්ටුවක් නිසා ඒකෙ හරිහැටි අල්ලා ගන්න තැනක් තිබුණෙත් නෑ. යන්තම් ෆයිබර් ගැට්ටක් අල්ලගෙන හිටපු අපි ගමන පිටත් වුණා. 

සුරේෂ් අන්නා ලෑල්ලටම පෑගුවේ අපේ ජීවිතාසාව පැත්තකට විසිවෙද්දි. ලයිෆ් ජැකට් එකක් තියා මුහුදට වැටුණොත් අල්ලා ගන්න නූල් පොටක්වත් තිබුණෙ නැහැ. කොහොම නමුත් මේ ත්‍රාසජනක ගමන යද්දි මුහුදේ ටිකක් දුරට වෙලා ගල් පර අස්සේ ඉන්න බෝල්ලු රෑනක් අල්ල අල්ල හිටපු ධීවරයෝ ටිකකුත් මුණගැහුණා. එයාලා බිලී පිතිවලින් තමා මාළු බාමින් හිටියෙ. හැබැයි අපි එතැන කැරකෙන එකට ඒ අයනම් එච්චර කැමැත්තක් පෙන්නුවේ නැහැ. දැනගන්න ලැබුණු විදිහට එතැන බෝල්ලු කිලෝ ලක්ෂයක් විතර තියෙනවලු. ඉන් පස්සෙ අපි ගියේ කෝනේෂ්වරම් කෝවිලෙන් පහළ තියෙන ගල්පර මුහුද ළඟට. දැවැන්ත කෝනේෂ්වර දේව ප්‍රතිමාවත් එක්ක ඒ අවට තියෙන අන්ධකාරය මුසු පරිසරය හින්දා අමුතු හැඟීමක් තමයි ඒ වෙලාවෙ දැනුණෙ. එතැන තිබුණු ගල් ගුහාවක් වගේ තැනකටත් බෝට්ටුවෙන් යන්න පුළුවන් කියල සුරේෂ් අන්නා කිව්වත් ඒ වෙනකොටත් හොඳටම ත්‍රාසයෙන් ඇළිලා ගැලිලා හිටපු අපි කෙළින්ම ගොඩටම යං කියලා කිව්වේ බය හින්දම තමා. කොහොම වුණත් කිසිම ආරක්ෂාවක් නැතිව හරියට ධීවරයො වගේ ගිය මේ ගමන නිසා මෙදා ට්‍රින්කො ගමන ගොඩක් ලස්සන වුණා කියල නම් කියන්න පුළුවන්. 


රජිත

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00