2023 ජුලි 15 වන සෙනසුරාදා

ලේසියෙන් ඉංග්‍රීසි කතාකරන්න ක්‍රමයක් - ජනප්‍රිය ඉංග්‍රීසි දේශක පූජිත විජේසිංහ

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:02 156

♦ තවමත් අපේ විශාල සිසු පිරිසක් සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉංග්‍රීසි අසමත් වෙනවා. මේක එම සිසුන්ගේ අනාගතයට බලපාන්නේ කෙසේද?

විභාග සමත්වීමයි සාර්ථකත්වයයි කියන්නේ දෙකක්. උදාහරණයක් හැටියට විභාග සමත් වුණා කියලා භෞතික වශයෙන් සාර්ථක වන්නේ නෑ. සාමාන්‍ය පෙළ අසමත්වුණු අය සාර්ථක වෘත්තීය ජීවිතයට එළඹුණු අවස්ථා අපට ඕනැතරම් හමුවෙනවා. ඔවුන්ට නිරතවීමට අවස්ථා රාශියක් තිබෙනවා. ලංකාවේ විශ්වවිද්‍යාලයට යනවා කියන්නේ යම්කිසි අච්චුවක අධ්‍යාපනයට කොටුවීමක්. මේ නිසා තරුණයන්ගේ අවස්ථා සීමා වෙනවා. 

දේශපාලන විද්‍යාවෙන් උපාධියක් තිබුණත් ප්‍රාදේශීය දේශපාලනයටවත් එන්න බැරි අය කොච්චර ඉන්නවාද? මේ අධ්‍යාපන ක්‍රමය සොබාදහමට අනුගත වෙන්න ඕනෑ. අපට අතීතයේ ඒ වගේ අධ්‍යාපනයක් තිබුණා. ජපානය වගේ රටවල්වල අධ්‍යාපනයේ මේ වගේ තරගයක් නෑ. අපේ අධ්‍යාපන තරගය නිසා  අපි සීමා වෙලා. අපේ රටේ වෙනත් ජාතින් දිහා බලන්න. ඔවුන් ව්‍යාපාරවලින් ඉහළට යන්නේ ඉගෙනගෙනද? අපි හොඳට ඉගෙනගෙන පිටරටවල වෙනත් ජාතින්ට සේවය කිරීමට යනවා. දැන් වෛද්‍යවරු පිටරට යන්නේ ඒවාගේ. 

♦ හුඟ දෙනෙකුට ඉංග්‍රීසි ඉගෙන ගැනීම අපහසු වන්නේ ඇයි?

ඉංග්‍රීසි ඉගෙන ගන්න වැඩි දෙනෙකුට බැරිවන්නේ ඉගෙන ගැනීමට සිතට බරක් දමා විශේෂ උත්සාහයක් ගන්නා නිසයි. දැන් අපි සිංහල ඉගෙන ගන්න වැඩිපුර උත්සාහ කරන්නෙ නෑනේ. අපට සිංහල නිකම්ම පුරුදු වෙනවා. ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා හිතාගෙන හිටියොත් වන්නේ ඒක අමාරු වීමයි. මේක ස්වභාවික රිද්මයට  අනුව උගන්වන්න ඕනෑ. 

♦ වැඩිදෙනෙක් ඉංග්‍රීසි කතාකරන්න බයයි නේද?

ගහක් වුණත් හැදෙන්න කාලයක් යනවා. ගහ හැදුණට පස්සෙ තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඒ වගේ ඉංග්‍රීසි කතා කිරීමට බියවීමට හේතුව හදිසියයි. අපි මේක ඉක්මනින් කරන්න යනවා. 

♦ ලේසියෙන්ම ඉංග්‍රිසි කතාකරන්න නම් කළ යුත්තේ කුමක්ද?

ඒ සඳහා සාර්ථක පියවරක් වන්නේ ඉංග්‍රීසි පරිසරයක් තමා වටා නිර්මාණය කර ගැනීමයි. අපට සිංහල කතාකරන්න ලේසි වෙලා තියෙන්නේ සිංහල පරිසරයක ජීවත් වෙන හින්දනේ.  සමහර ඉන්ටර්නැෂනල් ස්කූල්වල ළමයින්ට ඉංග්‍රීසි පහසුවෙන් ඉගෙන ගන්න හැකිවී ඇත්තේ ඒ හින්දයි. ඒවයේ නිර්මාණය කර තියෙන්නේ ඉංග්‍රිසි වටපිටාවක්. ඒක තමයි සාර්ථකම ක්‍රමය. 

♦ ඉංග්‍රීසි දන්නැතුව දියුණූ වෙන්න බෑ කියලා මතයක් සමාජයේ තියෙනවා.

ඉංග්‍රීසි කියන්නෙ එක් ජාත්‍යන්තර භාෂාවක් විතරයි. මට ලංකාවේ චීන හොඳට ඉගෙනගත් යාලුවො, ජපන් ඉගනගත් යාලුවො ඉන්නවා. ඔවුන්ට ඉංග්‍රීසි බෑ. නමුත් ඔවුන් ඉතා සාර්ථකත්වයට පත්වෙලා ඉන්නවා චීනෙට ජපානෙට ගිහින් ඒ භාෂා මාධ්‍යෙයන් කටයුතු කරලා. කෝටිපතියන් වෙලා ඉන්නවා. අපට ඉංග්‍රිසි වෙනුවට වෙන භාෂාවක් ඉගෙන ගන්න පුළුවන්. දැන් රටේ ජනාධිපතිට වුණත් ඉංග්‍රීසි අත්‍යවශ්‍ය නෑනේ. ඔහුට පුළුවන් අවශ්‍ය නම් භාෂා පරිවර්තකයකුගේ සේවය ලබාගන්න. 

♦ ඉංග්‍රීසි ඉගෙන ගැනීමට කොපමණ කල් ගතවෙනවාද?

ඕනෑම කෙනකුට යම් පමණක සාර්ථකත්වයට පත්වීමට මාස 6-7ක් ගතවෙනවා. 

♦ ඔබ මේ වනවිට කොපමණ පිරිසකට ඉංග්‍රීසි උගන්වා තිබෙනවාද?

අතිවිශාල සංඛ්‍යාවකට මම අධ්‍යාපනය ලබාදී තිබෙනවා. ඉන් වැඩිදෙනෙක් ඉන්නේ පිටරටවල රුකියා කරමින්. සාමාන්‍යයෙන් පනස් දහසත් ලක්ෂයක් අතර සංඛ්‍යාවක් මගේ සිසු පිරිසේ සිටිනවා.

I කුසුම්සිරි

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00