2023 ජුලි 22 වන සෙනසුරාදා

මුතුගල සර්ගෙන් පාඩම් කරන හැටි ගැන පාඩමක්

 2023 ජුලි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 317

- ප්‍රකට උසස් පෙළ ජීවවිද්‍යා දේශක දිනේෂ් මුතුගල

පාඩම් කරන කාලය නොවෙයි වැදගත්. පාඩම් මතක හිටින්න පාඩම් කළ හැකි කාලයයි. එක ළමයකුට පැය දහයකින් කරන්න පුළුවන් දේ තව ළමයකුට පැය දෙකකින් කළ හැකි වෙනවා. උදේට නැගිට්ටම පාඩම් කරන විෂයය කොටස් ගැන තීරණය කරන්න. අපේ මොළය නිතර හැඩගැහිල තියෙන්නේ අමාරු දේ මුලින්ම අමතක කරන්න.දැන් ඕපාදුප කතාවක් ගනිමු. ඒකෙ ඉලක්කම් ගැනත් කියවෙනවා. පස්සේ අර කතාව මතක් කරන කොට කතාව ඔක්කොම මතකයි. ඉලක්කම් ටික අමතකයි. මොළයේ හැටි එහෙම තමයි. 

එක ළමයකුට රසායන විද්‍යාව ලේසියි. ජීව විද්‍යාව අමාරුයි. එතකොට ඒ ළමයට මුලින්ම ජීව විද්‍යා පාඩම් අමතක වෙනවා. එක දවසකට උපරිමව පාඩම් කළ යුත්තේ විෂයයන් දෙකයි. වඩාත්ම හොඳ එක දවසක් එක් විෂයයකට වෙන්කිරීමයි. මේක සමහරවිට  ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. අද රසායන විද්‍යා පන්තියක් තියනවා කියමු. 

අද ගෙදර ගිය ගමන් පාඩම් කළ යුත්තේ අද පන්තියේ උගන්නපු දේවල්. එවිට එව්වා ඉක්මනට මතකයට එනවා. මතකය අලුත්නේ. ඒවා මතකද කියල බලන්න කටු කොළයක මතකයෙන් සටහන් කරන්න පුළුවන්. ඉන්පසු පොතක් තියලා වහලා ආයෙත් මතකද කියල පරීක්ෂා කරන්න. කටුසටහන් කොළ නැත්නම් වයිට් බෝඩ් එකක වුණත් ලියන්න පුළුවන්. මේකට වැඩි වෙලාවක් යන්නේ නැහැ. පැයක් දෙකක් යාවි. ඉන් පසු ඒ විෂයය පැත්තකින් තියන්න. හෙට පන්තියෙ තියෙන්නෙ රසායන විද්‍යාව නම් ඒකෙ හෙට කරන පාඩම අද මුල ඉඳන් කියවන්න. ඊට පසු හෙට පාඩම කරන තැනට පැමිණියාම නවත්වන්න. පන්ති ගිහින් හවස ඇවිත් එදා කරපු රසායන විද්‍යා පාඩම බලලා ඉවර කරන්න. පහුවදා රසායන විද්‍යා පන්තියක් නැත්නම් වෙන රසායන විද්‍යා පාඩමක් බලාගන්න. එදා දවසම ළමයට වෙන් වෙලා තියෙන්නේ රසායන විද්‍යාවට. එත්කොට මොළේ මේ මතක පිළිගන්න කැමතියි. 

ඔයාල කරන්නෙ චීස් කොත්තුව වගේ විෂයයන් තුනම එකට අරන් පාඩම් කරන එකනේ. එතකොට පැටලෙනවා. සමහර ළමයි විවිධ උපක්‍රම යොදාගෙන මේකට වෙනස් විදිහට පාඩම් කර සාර්ථක පල නෙලා ගන්නවා. ඒක එයාලට ගැලපෙනවා නම් ඒක නවත්වන්න එපා. 

youtube ඇසුරිනි..