මාතලේ නගර මධ්‍යයේ රජවීදියේ පිහිටි ප්‍රසිද්ධ බැංකුවක් ඉදිරිපිට නැවැත්වූ වැගන් මාදිලියේ මෝටර් රථයකි. රියැදුරු අසුනෙන් නැගිට රිය පසුපසට ඇවිද ආවේ වැදගත් පෙනුමැති මහත්මයෙකි. ඔහු ආ සැණින් මෝටර් රථයේ පසුපස දොර (ඩිකිය) විවෘත කරනවාත් සමඟ ඉන් බිමට පැන්නේ අවුරුදු 11ක තරමේ කුඩා පිරිමි දරුවෙකි.
අසල රුඳීසිටියවුන්ට මේ දසුන නුපුරුදුය. දුටු පමණින් සිත් සතන් කම්පා කරවන සුළුය. වහා ක්‍රියාත්මක වූ ඔවුහු විමර්ශනශීලී වූහ. මෝටර් රථය අසලින් පිටත්ව ගිය දෙදෙනා නැවත පැමිණෙන තෙක් බලා උන්හ. එක් අයෙක් සිදුවන දෑ මොහොතින් මොහොත ඡායාරූපයට නැගුවේය.
මෝටර් රථයේ හිමිකරු වන අය ඉදිරියෙන් එන අතර පසුපසින් පාවහන් රහිත අපිළිවෙළට ඇඳගත් දරුවා බර පිරවූ මල්ලක්ද රැගෙන එයි. මෝටර් රියේ ඩිකිය යළි විවෘත කළ සැණින් පසුපස ආ දරුවා ඊට අපහසුවෙන් මෙන් නැඟගත් සැණින් හිමිකරු ඩිකිය වසා දැමුවේ කූඩුකළ සතකු ඇතුළට දැමූ විලසින්ය.
කම්පාවට පත් පිරිස වහාම සිද්ධිය මාතලේ මූලස්ථාන පොලීසියට දැනුම් දුන්හ. පසුව හඳුනා ගැනුණේ මෙහෙකාර දරුවා වාහනයේ ඩිකියට නැංවූ තැනැත්තා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු බවය. මේ අතර ලබාගත් ඡායාරූප ජනමාධ්‍ය වෙත නිකුත් කරන්නටද ඔවුන් කටයුතු කර තිබූ බැවින් පසුදින මාධ්‍ය ඔස්සේ එම ඡායාරූප සමඟ සිදුවීම ප්‍රසිද්ධ විය. අනතුරුව මාධ්‍ය මගින් හෙළිකළ සිදුවීම පිළිබඳව පොලීසිය විමර්ශනයක් ආරම්භ කළේය.
හඳුනාගත් මෝටර් රථය අනුව පොලිස් නිලධාරීන් පිරිසක් පිටත්ව ගියේ මාතලේ කූඹියන්ගොඩ මාර්ගයේ පිහිටි අතුරු මාර්ගයක් වන මීගස්තැන්න පාර ඔස්සේය. එහි සුවිසල් වත්තක පිහිටි වළව්වක් වෙත ගිය පොලිස් නිලධාරීන්ට මාධ්‍ය ඔස්සේ පළකළ ඡායාරූපවලට සමාන වැගන් වර්ගයේ මෝටර් රථයක් දකින්නට ලැබිණ. ඒ වනවිටත් වලව්වේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයා රැඳී සිටියේය.
සුවිසල් වත්ත කෙළවරක ඉදිකළ තරමක නිවසකි. ඒ අසලින් පෙනෙන්නට සිටියේ පෙර කී මෙහෙකාර සේවයේ සිටි බව කී දරුවාය. ඔහුගේ මව හා පියා සමඟින් ඔවුන් පදිංචිව සිටින්නේ එම නිෙවසේය. නිවෙස විශ්‍රාමික පොලිස් නිලධාරියා විසින් ඉදිකර දෙන ලද්දක් බවත් දරුවාගේ මවුපියන් වළව්වේ කම්කරුවන් ලෙස කටයුතු කරමින් ජීවත්වන බවත් ඔවුන්ගේ නිවෙසට අවශ්‍ය සියලුම පහසුකම් සපුරා දෙන්නට වතුහිමිකාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කර ඇති බවත් සොයාගැනීමට පොලීසියට හැකිවිය.
මෙහෙකාර පවුල මහනුවර අලවතුගොඩ පදිංචිව සිට ඇති බවටත් දරුවාගේ පියා දමිළ ජාතිකයකු වන අතර මව සිංහල කාන්තාවක වන බවද ඔවුන්ට ජීවත්වීමට ආදායමක් හෝ නිවෙසක් නොවීම නිසා කම්කරුවන් ලෙස මීගස්තැන්න වළව්වේ සේවයට පැමිණ ඇති බවද කියැවිණි. ඔවුන් එම වළව්වට එන්නට පෙර ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙමින් සිටි බැවින් දරුවා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ පරිවාස භාරයට පත්කර සිටි බවද වැඩිදුරටත් දැනගත හැකි විය.
පසුව වළව්වට පැමිණ ටික දිනකින් අධිකරණ ක්‍රියාමාර්ගයක් ඔස්සේ නැවත දරුවා තමා භාරයට ගැනීමට මවුපියන් කටයුතු කර ඇති බවත් දරුවා මාස තුනකට පමණ පෙර එසේ පැමිණ ඇති බවත් විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීහු පැවසූහ.
දරුවා පිළිබඳව අවධානය යොමුකළ බව කියන විශ්‍රාමික පොලිස් නිලධාරීවරයා දරුවාට කිසිදු සාක්ෂරතාවයක් නොමැති බව සොයාගෙන තිබිණි. අවුරැදු 11ක් වනතුරැම දරුවා පාසල් නොයාම ඊට හේතුව බවද දැනගත් ඔහු ප්‍රදේශයේ පාසලකට දරුවා ඇතුළත් කිරීමට කටයුතු සූදානම් කර තිබූ බවද කියති. නමුත් ඒ වනවිටත් එකම අකුරක් හෝ නොදන්නා දරුවා පාසලට ඇතුළත් කරගැනීමට එම පාසලේ විදුහල්පතිවරයා එකඟ නොවීම හේතුවෙන් එළැඹෙන වසරේදී හෝ පාසලට ඇතුළත් කරගන්නට පහසුවීම සඳහා නිවසේදී දරුවාට මූලික අකුරු උගන්වන්නැයි උපදෙස් ලැබී තිබූ බවද කියයි.
විශ්‍රාමික පොලිස් නිලධාරී මහතා දරුවා වෙනුවෙන් ගුරුවරියන් දෙදෙනකුට මුදල් ගෙවා නිවසේදී අකුරු ඉගැන්වීමට කටයුතු සලස්වා ඇතැයි කියති. විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන්ට එම දරුවා අධ්‍යාපනය ලද පොත්පත් කීපයක් සහ උපකරණ කීපයක්ද හමුවී තිබිණි. ඉගැන්වීමට පැමිණි ගුරුවරියන් දෙදෙනාගෙන් කටඋත්තර ලබාගත් බවද පොලීසිය පවසයි.
දරුවා ඇතුළු පවුලේ අයට වාසය සඳහා පහසුකම් සහිත නිවසක් ලබාදී මවට සහ පියාට සේවය සඳහා අයෙකුට රුපියල් 12000ක් බැගින් වැටුපක් ගෙවන බවද වාර්තා වී ඇත.
ඉකුත් 2 වැනි සිකුරාදා පස්වරු 1ට පමණ ඉහත සිදුවීම වාර්තාවෙද්දී වැරහැලි ඇඳුමක් ඇඳ සිටි දරුවා සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙමින් සිට ඇති අතර විශ්‍රාමික පොලිස් නිලධාරියා සමඟ මාතලේ නගරයට පැමිණ දෙදෙනාම කොණ්ඩය කපා, හෝටලයකින් ආහාරද භුක්ති විඳ නිවෙසට ගෙනයාම සඳහා දරුවාට තෝසේ සහ වඩේ සහිත පාර්සලයක්ද රුගෙන දී ඇති බවත් මාධ්‍යවල පළවූ ඡායාරූපවල දැක්වෙන පරිදි දරුවා තනිවම රැගෙන යන්නේ එම බෑගය බව විමර්ශනවලින් අනාවරණය වූ බවත් පොලිසිය කියයි.
විමර්ශනවලින් හෙළිවන කරුණු අනුව විශ්‍රාමික පොලිස් නිලධාරියා දරුවා වෙත කරත්වයකින් තොරව සළකා අවශ්‍ය පහසුකම් සපයා ඇති බව පෙනුණද මාතලේ නගර මධ්‍යයේදීම මෝටර් රථයේ ඩිකියෙන් දරුවා බැස්සවීම සහ නැවත නැංවීම විශාල ගැටලුවකට හේතුවිය. නමුත් දරුවා කියා ඇත්තේ පසුපස දොරින් ඇතුළු වී පසුපස අසුනේ වාඩි වූ බවත් එම ස්ථානයේ ගමන් කිරීමට ආසාවෙන් සිටි බවත්ය. ඒ අතරතුර එහි රැඳී සිටිමින් නගරයේ තිබූ දසුන් අතර ඔරලෝසු කණුව, දැන්වීම් පුවරුව සහිත මාර්ගය දරුවා සිතුවමට නගා ඇති බවත් එම සිතුවම පොලිස් නිලධාරීන්ට පෙන්වූ බවත් පොලීසිය පැවසීය.
අධිකරණ නියෝග මත මව්පියන් වෙත දරුවා බාර කළද නිතිපතා පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසි අධීක්ෂණය මත දරුවා ජීවත්වන බවද පොලීසිය කියයි. එසේ වූවද වසර 11ක් තිස්සේ දරැවා පාසල් නොයෑම හෝ අකුරු ඉගෙනීමට නොයාම ගැටලුවක් බව බොහෝදෙනා කියති.
මාතලේ කොට්ඨාස බාර පොලිස් අධිකාරි සුගතපාල මහතාගේ උපදෙස් මත විමර්ශනය සිදු කෙරිණි.
♦ සමන්ත ප්‍රදීප් විල්තෙර
(පසුබිම් වාර්තා සහ ඡායාරූප
මාතලේ ඇම්.ඩබ්. සෝමරත්න)