සචින් ටෙන්ඩුල්කාර් ගැන නොදන්නා කෙනෙක් ක්‍රිකට් ලෝකයේ නැත.
ක්‍රිකට් පිටියෙන් සමුගත් පසු ක්‍රීඩකයෝ නොයෙක් දෑ කරති. සමහරු ව්‍යාපාර අරඹති. තවත් සමහරු දේශපාලනයට බසිති.
ටෙන්ඩුල්කාර්ද දැන් විශ්‍රාමික ක්‍රීඩකයෙකි. එහෙත් ඔහුට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලෙන් ගරු තනතුරක් පිරිනැමුණි. ඔහු දකුණු ආසියානු කලාපයේ 'යුනිසෙෆ්' තානාපතිය.
තම කලාපය තුළ දරිද්‍රතාවයෙන් පෙළෙන ළමුන් හා දෙමව්පියන් පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක යෙදෙන සචින්, මේ දිනවල අපේ සිරි ලංකාවේය.
ඔහුගේ පැමිණීම ඇසූ මට සතුටක් මෙන්ම බියක් ද දැනුණි.
සචින් අපේ මිනිසුන්ගේ ආදරයට ලක් වූ ක්‍රිකට් මහත්මයෙකි. එළිසබෙත් රැජන පවා ඔහු බකිංහැම් මාලිගයට ගෙන්වා ගරු සම්මාන දී සංග්‍රහ සත්කාර කළේ ඔහුගේ ක්‍රීඩා කෞෂල්‍ය මෙන්ම මහත්මා ගුණය නිසා විය යුතුය. එබඳු කෙනෙක් (අපේ අසල්වැසියෙක්) අපේ දුක සැප බලන්නට පැමිණීම සතුටට හේතුවකි.
සචින් මෙරට නැවතී සිටින්නේ කොහේදැයි මම නොදනිමි. එහෙත් සංචාරක හෝටලයක ටෙනිස් පිටියක සිට, කිසියම් පිරිසක් අමතන ඡායාරූපයක් මාධ්‍ය මගින් දුටුවෙමි. මට බියක් ඇතිවූයේ ආර්ථික අර්බුදයෙන් බැට කන දිළිඳු ළමුන් කන බොන හැටි සොයා බලන්නට පැමිණි සචින්ට තරුපහේ හෝටල්වලින් කන බොන සුපිරි සිරි ලාංකිකයන් කොටසක්ද මෙරට සිටින බව පෙනෙනා, දැනෙනා බැවිනි.
කොළඹ නගරයට හිරු බැස ගිය පසු දවස නිමා නොවේ. සුපිරි හෝටල් හා සමාජ ශාලා ආශ්‍රිතව තවත් ඉරක් පායයි. එකී රූ ඉරපාන පිළිබඳ මට ද කිසියම් අවබෝධයක් ඇත. ඒ මා නයිට් ක්ලබ් යන්නකු නිසා නම් නොවේ. මා නිතර කැබ් රියවලින් ගමන් යන්නකු නිසාය.
කැබ් රියැදුරෝ රුය පුරා අවදිව ඒ මේ අත දිව යන්නෝය. ඔවුන්ගෙන් සමහරු කොළඹ රෑ ඉරපානේ කෙරෙන කියන දේවල් පිළිබඳව මා සමඟ පුදුමාකාර දෑ පවසයි. මම ඒවා ඔබ සමඟ කියන්නට නොයමි.
කෙසේවෙතත් එක් රියැදුරු මහත්මයකු කී දෙයක් අමු අමුවේම සඳහන් කරතොත්, රාත්‍රියේ ඇතැම් හෝටල්වලින්, නයිට් ක්ලබ්වලින්, 'මන-මත්ව' පිටතට එන තරුණ තරුණියන් කැබ් රිය තුළදී නොකරන්නේ 'එක දෙයක්' පමණි. ඉදිරියේ සිටින රියැදුරාද සිත් පිත් ඇති මිනිසකු මිස, රොබෝ කෙනකු නොවනා බව ඔවුනට නොහැඟේ.
මෙහිදී මට වඩාත් වැදගත් වන්නේ ඔවුන්ගේ අනඟ රැඟුම් නොව, රාත්‍රී ජීවිතය සඳහා වියදම් කරන මුදල්ය. රාත්‍රියට මොනවා හෝ පොඩි දෙයකින් කුසගිනි මැඩගෙන, පැදුරු කඩමළුවල නිදන මිනිසුන්ද අඩුවක් නැති රටක, මේ සුපිරි රාත්‍රී ජීවිතය, නාස්තිකාරකමක් හා ආත්මාර්ථකාමීකමක් නොවන්නේද?
මේ මිනිසුන් දකිනා සචින්ට මොනවා සිතෙනු ඇද්ද? ඉන්දියාවේ මෙන්ම සිරි ලංකාවේද අන්ත දෙකක, සමාජ දෙකක් පවතින බව ඔහු වටහාගනු ඇත. දිව්‍යලෝකය මෙන්ම නරකාදියද පිහිටා ඇත්තේ මිහිපිටම බව පසක් වනු ඇත. යුනිසෙෆ් තානාපතියකු ආ පමණින් මේ අර්බුදය නොවිසඳෙන බවද ඔහුට හැඟෙනු ඇත.
සිරි ලංකාවේ තානාපතිවරයෙක් මරණයෙන් පසු අපායට ගියේය. යමරජු, ඔහු කවරකුදැයි දැන මෙසේ ඇසීය.
''ඔබතුමා අපාගත වෙන්න කරපු වැරුද්ද මොකක්ද?''
''යම රජතුමනි, මම තානාපති වෙලා හිටපු රටවල්වලදි හොඳට කාල බීලා, ළමයින්ට උගන්නගෙන හිටියා මිසක්, මගේ රටට කිසි වැඩක් කෙරුවෙ නෑ. ඒකයි මට මෙහෙට එන්න වුණේ.''
''ඉතින්, ඔහේ නිකමෙක්. කවුද ඔය තානාපතිකමට පත් කෙරුවෙ?''
''අපේ මාමා. එයා ඒ කාලේ විදේශ ඇමැති.''
''දැන් කෝ මිනිහා?''
''එයා දිව්‍යලෝකේ ගියානෙ.''
''මොනවා? ඒ කොහොමද?''
''එයා ශක්‍ර දේවේන්ද්‍රයා එක්ක ප්‍රොජෙක්ට් එකක් කරන්න යනවා. අපායේ ඉඳන් දිව්‍යලෝකෙට කේබල් කාර් දුන්නා.''
''යකඩෝ! මගෙන් අහන්නෙ නැතුව එහෙම කරන්නෙ කොහොමද?''
''අපේ මාමා එහෙ ඉන්නෙ, ඔබතුමාගේ තානාපති කෙනෙක් හැටියට.''
''යකෝ, සිරි ලංකාවේ එවුන් මාවත් විකුණන් කනවනෙ.''
යමරජු, කටු ඉඹුලේ හිස ගසා ගත්තේය. හිතාදර සචින්! ඔබ පරිස්සම් විය යුතුය. ඔබ ආපසු ඉන්දියාවට යාමටත් පෙර සිරි ලංකන් කෙනෙක් ඔබවත්, ඔබේ යුනිසෙෆ් තානාපතිකමත් විකුණා ගැනීමට ඉඩ ඇත. පේර් මිලෙංගේ සංචින් ජී!
I කපිල කුමාර කාලිංග