2023 අගෝස්තු 19 වන සෙනසුරාදා

ඉගෙන ගන්න අබ්බැහි වෙන හැටි තිස්ස ජනනායක සර්ගෙන් උපදෙස්

 2023 අගෝස්තු 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 92

හොඳ දේට පුරුදු වෙන්නත් පුළුවන්. නරක දේට පුරුදු වෙන්නත් පුළුවන්. අපට එක අච්චුවකට ළමයාව දාන්න බැහැ. මොළයට හොරෙන් කිසි දෙයක් කරන්න බැහැ. මුල ඉඳන්ම විභාගෙට හුරු කරගත්තාම ඒක පුරුද්දක් බවට පත් වෙනවා. මුළ ඉඳන්ම නිකම් බලාගෙන හිටියම නිකම් බලාගෙන සිටීම පුරුද්දක් වෙනවා.

කෙනෙක් සිගරට් බොන්නෙ මවගෙ ගර්භාෂයේ ඔහු ඉන්නකොට තාත්තා සිගරට් බීපු නිසාද? පුරුදු එහෙම හැදෙන්නෙ නැහැ. දවසකට සිගරට් 10ක් විතර බොන අය ඉන්නවනේ. වැඩි දෙනෙක් සිගරට් බීම පටන්ගෙන තියන්නේ කොහේ හරි ගියාම යාළුවෙක් එක්ක එකතුවෙලා ඔවුන්ගේ පෙළඹවීමෙන් තමයි. මුලින්ම සිගරට් උගුරක් බීල පුරුදු වුණු කෙනා පසුව යාළුවො නැතුව තනිවම බොන්න පුරුදු වෙනවා. ටිකෙන් ටික කාලය ගතවන විට දවසකට බොන සිගරට් ගණන වැඩි වෙනවා. නමුත් සිගරට් බීමෙන් සිදුවන ආදීනවත් ඔහු දන්නවා. සිගරට් බොන වෛද්‍යවරුත් ඉන්නවා. එහෙම බොන ගමන් ඒ වෛද්‍යවරුත් කියන්නේ මේ කාලකන්නි පුරුද්දට නම් ඇබ්බැහි වෙන්න එපා කියලයි. එයාට ඒකෙන් ගැලවෙන්න ඕනෑ වුණත් පුරුදු වෙලා නිසා ඒකෙන් ගැලවෙන්න අමාරුයි.

මේ විදිහට කාට වුණත් හොඳ දේවල්වලට පුරුදු වෙන්නත් පුළුවන්. පේපර්වලට ලියල ලියල පුරුදු වුණාම පේපර්වලට ලියන්න ආසාවක් ඇතිවෙනවා. ඒක තමන්ට තෘප්තියක්. එහෙම ලියන්නෙ නැතුව කට්ටි පනින්න පුරුදු වුණ අයත් ඉන්නවා. ඔවුන්ට කට්ටි පනින එක තෘප්තියක්. මුලින්ම පේපර්වලට ලියන්න හුරුවෙනවා. පසුව පුරුද්දක් බවට පත්වෙනවා. පුරුද්ද තවත් දුරදිග ගියාම සිදුවන්නේ ඇබ්බැහිවීමයි. මට එක් අවස්ථාවක තේරුණා මම උගන්වන්න ඇබ්බැහිවෙලා කියලා. ඒ කොවිඩ් කාලෙදි. ශිෂ්‍යයො ඉදිරිපිට පන්ති කරන්නෙ නැතුව ඔන්ලයින් පන්ති කිරීම තිත්ත වෙලා හිටියේ.

දැන් ටියුෂන් පන්ති කරන ගුරුවරුන්ට සල්ලි ගොඩක් හම්බ කරගෙන අවුරුදු 55ක් 60ක් වෙනකොට ඕනෙ නම් පන්ති නවත්වන්න පුළුවන්නේ. ඒත් නවත්වන්නෙ නෑ. නවත්තපු ගමන් ලෙඩ වෙනවා. ඒ උගන්වන්න ඇබ්බැහිවෙලා නිසයි.

දැන් ඔය දරුවන් ඉගෙනගන්න ඇබ්බැහි වුණොත් කොහොමද? හැබැයි සමහරුන්ට පන්තියකට ගිහින් ඉඳගෙන ඉන්නවත් හුරුවක් නෑ. ඉතින් ඇබ්බැහි වෙන්නෙ කොහොමද? අර කැලේ ඉන්න වඳුරු රංචුවක් ගෙනත් තිබ්බ වගේ.

දවසක් අම්ම කෙනෙක් ළමයෙක් එක්කගෙන මා ළඟට ඇවිත් කිව්වා මේ ළමයා ගොඩදාල දෙන්න කියලා. ළමයා පාන්දර 2.00 – 3.00 වෙනකම් ඇහැරලා ඉන්නවලු. ඒ කොම්පියුටර් ගේම් ගහන්න. ඉතින් පාඩම් කිරීමක් නෑ. කොම්පියුටරේ ඉදිරිපිට සිටීම නිසා ටික කාලයක් යනකොට ඇස් පෙනීම දුර්වලතා ඇතිවෙනවා. ඒ වගේම තමන්ගේ හැකියා වර්ධනය, පෞරුෂ වර්ධනය නැතිවෙනවා. අන්තර් පුද්ගල සම්බන්ධතා නැහැ. බකමූණෙක් වගේ රෑට ඇහැරගෙන ඉන්නේ. ලෝකෙ මිනිස්සු නිදාගෙන ඉන්නකොට මිනිහා ඇහැරිලා ගේම් ගහනවා. අපේ මොළේට හොරෙන් කිසි දෙයක් කරන්න බෑ. විනෝදජනක දේවල්වලට තමයි මොළේ කැමති. පොඩ්ඩක් පාඩම් කරගෙන යනකොට මොළය අපව ඉන් වළක්වන්න හදනවා. හැමදාම මොළය කියන දේවල් කරන්න ගියොත් නන්නත්තාර වෙනවා. ඒ නිසා ඔබට ඉගෙනගැනීම ඇබ්බැහියක් කරගන්න පුළුවන් නම්... එහෙම වෙච්ච සමහර ළමයි ඉන්නවා. එයාලට ගුරුවරු උගන්වන දේවල් මදි. ඒ ළමයි තව විස්තර හොයාගෙන ඉගෙන ගන්නවා. එහෙම අය විශිෂ්ටයො බවට පත් වෙනවා. ඔවුන්ගේ අනාගතය සුපිරි මට්ටමට පත්වෙනවා. ගේම්වලට ඇබ්බැහිවෙච්ච අය ඒකෙන් වළක්වන්න ක්‍රමයකුත් තිබෙනවා. ගේම්වලට ඔවුන් කැමතියිනේ. අනුන් හදපු ගේම් ගහනවා වෙනුවට තමන්ට ගේම් හදන්න ඉගෙනගන්න ඔවුන් යොමුකරන්න ඕනේ.

Youtube ඇසුරිණි.

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00